වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත්කිරීමෙන් උග්‍රවෙන පාරිසරික අර්බුද

10

තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වී අදවනවිට වසර 32 ක කාලයක් ගත වී ඇත. නමුත් මෙරට පුරවැසියා සතු ව්‍යවස්ථාදායක බලය භාවිත කර පාර්ලිමේන්තුවට තෝරාපත්කර යවන මන්ත්‍රිවරු හෝ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු හෝ කැබිනට් ඇමතිවරු හෝ මෙම සංකල්ප පිළිබඳ ව කිසිදු අවබෝධයක් ඇතිබවක් පෙනෙන්නට නැත. 2019 දෙසැම්බර් මස 03 වනදින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමෙන් මේබව ඉතා ම හොඳින් සනාථ වේ.

එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසම හෙවත් බෲඞ්ලන්ඞ් කොමිසම විසින් 1987 වසරේ දී සකස් කළ “අපේ පොදු අනාගතය” නම් වාර්තාවේ තිරසර සංවර්ධන මූලධර්මයට අදාළ සංකල්පය පළමු ව සමාජයේ සාකච්ඡාවට ගැනින. එම වාර්තාවේ සඳහන්වන ආකාරයට අනාගත පරපුරට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාවට බලපෑම් නොවන අයුරින් වර්තමාන අවශ්‍යතා සපුරා ගැනීම සහතික කිරීම සඳහා සංවර්ධනය තිරසර කිරීමට මිනිසාට හැකිය. මෙම සංකල්පය පදනම් කරගෙන රාජ්‍යයන් තුළ බොහෝ පාරිසරික අණ පනත් බිහිවිය.

1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත බිහිවන්නේ ද තිරසර භාවිතය යන සංකල්පය පදනම් කරගෙනය. එනම් ලංකාවේ සියලුම ඛනිජ සම්පත් තිරසර ලෙස භාවිත කිරීම පදනම් කරගෙනය. පනතේ මූලික අර්ථ නිරූපනයේ සඳහන් වන්නේ ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය කිරීම, පතල් කැණීම, ඛනිජ ප්‍රවාහනය කිරීම, සකස් කිරීම, වෙළෙඳාම් කිරීම හෝ අපනයනය කිරීම විධිමත් කිරීම අරමුණු කරගෙන මෙම පනත නීති ගත කළබවය.

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28(1) උප වගන්තියේ සඳහන්වන ආකාරයට ඛනිජ ද්‍රව්‍ය කැණීම, ගවේෂණය, ප්‍රවාහනය, වෙළඳාම, ගබඩාකිරීම හා අපනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. 2009 අංක 66 දරන පනතින් සංශෝධිත පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 63 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව ඛනිජ ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීමේ දී අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත්කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 50,000/- ත් ලක්ෂ පහත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකටම ලක්කළ හැකිය. එම වරද නැවත නැවත සිදුකරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ එකහමාරත්, ලක්ෂ 20ත් අතර දඩයකට හෝ වසර 2ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම ලක් කළ හැක.

මේ ආකාරයෙන් පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට වගන්ති එක්කර ඇත්තේ මෙරට ඛනිජ සම්පත්වල භාවිතය විධිමත් කිරීම නැතහොත් තිරසර භාවිතයක් ඇතිකිරීම සඳහාය. එලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක නෛතික ප්‍රතිපාදන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයකට වෙනස් කළ නොහැකිය. ඒ සඳහා කිසිදු නෛතික බලයක් නොමැති අතර එසේ කිරීම නීති විරෝධී ක්‍රියාවකි. ඒ මගින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන පරිච්ඡේදයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උපව්‍යවස්ථාවේ සඳහන්වන්නේ රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට, වැඩිදියුණු කළයුතු බවය. නමුත් කැබිනට් මණ්ඩලය විසින් පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කර වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර ඉවත්කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වන මෙම රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇත.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කළ “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අටවන කොටස යටතේ “තිරසාර පරිසර ප්‍රතිපත්තියක්” ලෙස සඳහන් කොටසේ, “ජෛවගෝලය කෘත්‍රිම වෙනස්කිරීමකට හෝ බලපෑමකට ලක් කිරීමෙන් පරිසරයේ සමබරතාව බිඳවැටීම සැලකෙන්නේ පරිසර දූෂණයක් ලෙසය. වර්තමානයේ සිදුවන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන විනාශය අතිවිශාලය. එමනිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ. තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීමටය” යනුවෙන් සඳහන් වේ.

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ආකාරයෙන් සඳහන්වූව ද වැලි, මැටි හා පස් ප්‍රවාහන බලපත්‍ර ඉවත්කිරීම තුළින් නීති විරෝධී කැනීම් කටයුතු වර්ධනය වී තිරසර ක්‍රමවේදයක් යටතේ කැණීම් බලපත්‍රවලට සාපේක්ෂව ප්‍රවාහන බලපත්‍ර ලබා දී තිරසර භාවිතයක් ඇතිකිරීම හා පසු විපරම් කිරීම පහසුකිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳදමා ඇත.

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ මෙම යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කර තිරසර භාවිතය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවට දේශීය කර්මාන්තවලට මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී දුෂ්කරතා පැනනැගී ඇති බවත්, අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ දී විවිධ අක්‍රමිකතා සිදුවන බවත් අමාත්‍යමණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙකු පෙන්වා දීම නිසා මේ තීරණය ගත් බවත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ දී ප්‍රකාශකර ඇත. වැලි, පස් හා මැටි ජාවාරමේ නිරත සහ ඒ සඳහා ආධාර හා අනුබල ලබාදෙන අමාත්‍යවරුන් විසින් බලපෑම්කර මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි, පස් හා මැටි ලැබෙන බව ඔවුන් විශ්වාස කිරීමම මිථ්‍යාවකි.

ඉන් පෙනී යන්නේ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම මත නොව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මත ඉදිකිරීම් අමුද්‍රව්‍ය ලබා ගැනීම සීමා වී ඇති බව ය. අමාත්‍යවරුන්ගේ සැබෑ යටි අරමුණ වන්නේ ප්‍රවාහන බලපත්‍ර ඉවත්කර ගැනීමෙන් නීති විරෝධීව හෝ කැණීම්කර ප්‍රමාණවත් පරිදි ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගත හැකි බවය. ප්‍රවාහන බලපත්‍ර මගින් මෙම සමස්ත ක්‍රියාවලිය පසුවිපරම් යාන්ත්‍රණයකට ලක්කර ඇති බැවින් නීති විරෝධී කැණීම් කටයුතු ද මේ ක්‍රියාවලිය නිසා නියාමනය වී පැවතුනි. ඒ ක්‍රියාවලිය එක්දිනකින් උඩුයටිකුරු කර ගංගා, ඇළ, දොළ ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති දැඩි අර්බුදයකට ලක්කර භූගත ජලය, භූමිය, ජනතාව ඇතුළු සියලු ජෛව ප්‍රජාව බලපෑමට ලක්කරමින් වැලි, පස් හා මැටි ජාවාරම නැවත වරක් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම වර්ධනය වෙමින් තිබේ.

වත්මන් තරුණ පරපුර නගර අලංකරණය සඳහා තාප්ප ඇතුළු සියලු අවකාශ සිතුවම්වලින් අලංකාර කරද්දී රටේ ස්වාභාවික සම්පත් සියල්ල වැලි, පස් හා මැටි ජාවාරම්කරුවන් විසින් වනසමින් තිබේ. නමුත් පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීමට 2019 දෙසැම්බර් 03 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය නීතිවිරෝධී තීරණයක් වන බැවින් බලපත්‍ර නොමැතිව වැලි, පස් හා මැටි ප්‍රවාහනය කරන පුද්ගලයන්ව අත්අඩංගුවට  ගැනීමේ බලය පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත ක්‍රියාත්මක කරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට ඇත. පනතේ 63 ඈ උපවගන්තියට අනුව 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහය පනතේ සාම නිලධාරීන්ට පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීමට මෙම කාර්යාංශයේ නිලධාරීන්ට ද පොලීසියට ද හැකියාව ඇත.

පනතේ 63(2)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී කැණීම් හෝ ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ දී බාධාකරන හෝ ඊට මැදිහත්වන පුද්ගලයකු වරදකරුවකු වන අතර මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමුකිරීමෙන් වරදකරුවකු කරනු ලැබූවිට රුපියල් පන්දහසකට නොඅඩු හා රුපියල් හැත්තෑදහසකට නොවැඩි දඩයකට හා වසරක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකටම ලක්කළ හැකිය.

මෙම නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන්නේ නම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් සිදුකරන්නේ වරදකි. ඊට එරෙහිව ජනතාව ක්‍රියාත්මක වියයුතුය. එපමණක් නොව කැබිනට් මණ්ඩලය විසින් නීති විරෝධී වැරදි පූර්වාදර්ශ ලබාදෙමින්, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කරමින් ස්වාභාවික සම්පත් සියල්ල විනාශ කිරීමට ඉඩ දී බලාසිටිය යුතු ද නැත. පුරවැසියන් ලෙස ඊට එරෙහිවද ක්‍රියාත්මකවීම අද වනවිට අත්‍යවශ්‍ය කරුණකි.

සජීව චාමිකර

  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Previous articleදෙසැම්බරයේ සමරන නොවැම්බරයේ මිනිසා මයිකල් රොද්‍රිගු පියතුමා
Next articleරත්තරන් නැති කළේ ප්‍රභාත් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here