හේමසිරි – පූජිත නිදොස් කිරීමයි, ‘නීතිපති’ මල්ලේ ‘සියඹලා’ නොතිබුණේ ඇයි ?

33

පාස්කු ඉරුදින මිලේච්ඡ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා 855 ක් යටතේ ‘නීතිපතිවරයා’ විසින් පනවා තිබූ නඩුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විත්තියේ ‘සාක්ෂි’ නොකැදවම්න්ම නිදොස් කොට නිදහස් කිරීමට ඒ සදහාම පිහිටුවා ඇති විශේෂ මහාධිකරණය 18 දා තීන්දු කළේ ය.
චෝදනා සනාථ කිරීමට ‘නීතිපති’ අසමත්…ලු
ඉහත නඩු විභාගය පැවැත්වූ විශේෂ මහාධිකරණ විනිසුරුවරුන්වන නාමල් බලල්ලේ , ආදිත්‍ය පටබැදිගේ , මොහොමඩ් ඉර්ෂඩීන් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වෙන් වෙන් වශයෙන් කරන ලද තීන්දුවේ සමාලෝචන ප්‍රකාශවල සාරාංශය නම් , නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා 855 අනුව එකී වරදවල් ‘චේතනාන්විතව’ සිදුකර ඇති බවට , සාක්ෂි මගින් සනාථ කිරීමට නීතිපතිවරයා අපොහොසත් වී ඇති බවයි.
මීට අමතරව , ඉහත විනිසුරුවරුන් තිදෙනාම එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් සිය රාජකාරිය නිසි ලෙස සිදුකර නැතැයි ද , දේශපාලන අධිකාරිය අතහැර ඉහත නිලධාරීන් දෙදෙනාට වරද පැටවීම යුක්තිසහගත නොවන බවද ප්‍රකාශ කර තිබුණි. විත්තියේ සාක්ෂි නොකැදවමින් ම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇත්තේ එකී හේතු පදනම් කරගෙන ය.
නීතිපතිවරයා ‘චෝදනා’ ගොනු කළේ ‘විත්තිකරුවන්’ නිදහස් කර ගැනීමේ චේතනාවෙන් ද ?
නීතිපතිවරයා කිසියම් නඩුවක් ගොනු කිරීමේදී , නඩුකරයක් පවත්වා ගෙන යාමට නොහැකි , බැලූ බැල්මටම නිශේධාත්මක , සනාථ කළ නොහැකි , පදනම් විරහිත චෝදනා සහිතව එකී නඩුකරය ගොනු කරනු ඇද්ද ? ඉහත විත්තිකරුවන් දෙදෙනාට ඉදිරිපත් කර ඇති අධි චෝදනා ප්‍රමාණය 855 කි. මේ සියලුම චෝදනා පදනම් විරහිත ඒවාද ?
ඉහත නිලධාරීන් දෙදෙනා සිදුකර ඇති “නොකර හැරීමේ” වරද සනාථ කෙරෙන ඔප්පු කළ හැකි සාක්ෂි එකක්වත් ඒ චෝදනා 855 තුළ තිබුණේම නැද්ද ? හරිම අපූරු ය. එසේ නම් , ලියුම්කරු පහත සදහන් කරන කාරණා සමග සැසදීමේදී රටේ ‘නීතිපතිවරයා’ සිදුකර ඇත්තේ මහා අපරාධයක් වළක්වා නොගත් බලවත් තනතුරු ඉසිලූ නිලධාරීන් දෙදෙනෙකුට හිමිවිය යුතු දණ්ඩනයෙන් ගලවා ගැනීම සදහා ‘චේතනාන්විතවම’ අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව අධිකරණයේ දී ඔප්පු නොකර සිටීම ය.
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ “නොකරහැරීම”
පාස්කු ඉරුදින මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ දේවස්ථානය අසළදී මාධ්‍යයට අදහස් දක්වමින් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ ” බෝම්බ ප්‍රහාරයක් පිළිබද තොරතුරු ලැබුණා. නමුත් මේතරම් බරපතල වේයැයි හිතුවේ නෑ. ලංකාවේ හෝටල් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් නොවෙයි. ඒක ඒ අයගේ කටයුත්තක්” යනුවෙනි.
දෙකෝටි විසි ලක්ෂයක ජනතාවක් සිටින රටක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු (ත්‍රිවිධ හමුදාව , පොලීසිය භාර වගකිව යුත්තෙකු) කරන ලද එකී ප්‍රකාශයෙන් කියවුණේ කුමක්ද ? බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැන සිටියත් මේතරම් බරපතල වනු ඇතැයි නොසිතූ බව කියන්නේ , බෝම්බයක් පුපුරා දහ දොළොස් දෙනෙක් මිය යනු ඇතැයි සිතුවත් , තුන්සියයක් පමණ මිය යනු ඇතැයි නොසිතූ බව නොවේද ? අපරාධයක් පිළිබද යමි තොරතුරක් ලැබී ඉන් එක් පුද්ගලයෙකුට හෝ සිදුවිය හැකි යම් අනතුරක් වගකිව යුත්තෙකු විසින් දැන දැනම වළක්වා නොගත හොත් , එය දඩුවම් ලැබිය යුතු වරදක් නොවේද ? එය චේතනාන්විතවම සිදුකර ඇති “නොකර හැරීමේ” වරදක් බවට අධිකරණ ඉදිරියේ නීතිපති විසින් සනාථ නොකළේ කාගේ උවමනාවට ද?
පොලිස්පති පූජිත ජයසුන්දර බබෙක් ද ?
පාස්කු ඉරුදින මිලේච්ඡ ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදුන් පූජිත ජයසුන්දර ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ලැබුණු තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ‘අවධානය’ පිණිස යැවූ බවයි. රටේ පොලිස්පතිවරයාට මහා අපරාධයක් පිළිබද තමන්ට ලැබුණු තොරතුරු සෙසු නිලධාරින්ගේ අවධානයට යොමු කර අත පිසදා නිසොල්මනේ සිටිය හැකි ද ? අවධානය පිණිස යැවූ එම තොරතුරු අනුව එවැනි සිදුවීමක් වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි එම සෙසු නිලධාරින් ගෙන් පෙරළා නොවිමසීම “නොකර හැරීමේ” වරදක් ලෙස අධිකරණය ඉදිරියේ සනාථ කිරීමට නීතිපතිවරයා ක්‍රියා නොකළේ කාගේ උවමනාවටද ? එය නීතිපතිවරයා විසින් චේතනාන්විතවම කරන ලද “නොකර හැරීමක්” නොවන්නේ ද ?
සිදුවෙමින් පවතින්නේ “වින්දිතයන්ට” කොකා පෙන්වීමේ ක්‍රියාවලියකි……!
තුන්සිය දෙනෙකුට පමණ මරු කැඳවා තවත් පන්සිය දෙනකු පමණ සදාතනික ආබාධිතයන් කළ මේ මහා අපරාධයේ ඇත්ත ශ්‍රී ලංකා භුමිය තුළ කිසිදා හෙළිදරව් නොවන වගට ඕනෑ තරම් කරුණු කාරණා සිදුවී ඇත. තව දුරටත් සිදුවෙමින් පවති. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කරමින් බරපතල චෝදනා එල්ල කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට නීතිපතිවරයා නඩු පැවරුවේ නැත.
මේ අපරාධය පිළිබද කල්තියා සියලු තොරතුරු දැන සිට එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම , අපරාධයට අනුබල දීමක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් අපරාධ චෝදනා එල්ලකර ඇති ඉහත නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂි කරුවකු කර ගත්තේ ඇයි ? හේමසිරි , පූජිත නිදහස් කොට නඩුකරය අවසන් වීමත් සමග නිලන්ත ජයවර්ධනද ඉබේම නිදහස් වී තිබේ. එතරම් චෝදනා ලත් පුද්ගලයකු පොලිස්පතිවරයාට පමණක් දෙවෙනිවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස තවමත් මධ්‍යම පළාතේ රාජකාරියේ නිරත සිටී.
මීට අමතරව පාස්කු ඉරුදින සිදුකළ මහා අපරාධය පිළිබද මෙතෙක් සොයාගත් වැදගත්ම තොරතුරු ඒකරාශී කළ , අපරාධයේ සුලමුල හොදින්ම දන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර නැවත වතාවක් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙවා කාගේ උවමනාවට සැලසුම් වන්නේ ද ?
හේමසිරි , පූජිත මේ මහා අපරාධයේ ඇත්ත නොදැන සිටින පුංචි බබාලා දෙන්නෙක් නොවේ. ඔවුන් දෙදෙනා ඒ සියල්ල දැන සිටින බව අපරාධ කරුවන්ද හොදින්ම දනී. ඔවුන් දෙදෙනා ද කාගේ හෝ උවමනාවට එය එලෙස සිදුවන්නට ඉඩදී බලා සිටි , නොකර හැරීමේ වරද සිදු කළ දෙදෙනෙකි. මේ ලියුම්කරු ඔවුන් දෙදෙනාගේ නිදහස් වීම දකින්නේ එකී අභිරහස් , අභිරහස් ලෙසම තබා ගැනීම සදහා සැලසුම් සහගත ක්‍රියාවක් ලෙසයි. ඔවුන්ට එරෙහිව නඩු පැවරීම දකින්නේ එය වින්දිතයන් ගෙන් එල්ලවන අපවාදයෙන් ගැලවීමට ‘පමණක්’ යොදා ගත් කූට උපක්‍රමයක් ලෙසයි.
අන්තර්ජාතික ස්වාධීන විමර්ශනයකින් හැර ඇත්ත අපරාධ කරුවන් හෙළිවනවා උගහටය
කාදිනල් හිමිපාණෝ ඇතුළු කතෝලික සභාව මේ අපරාධයට ගොදුරු වූ වින්දිතයන්ට අද නැත්නම් හෙට “යුක්තිය” ඉටු වනු ඇතැයි දෑස් දල්වා බලා සිටියද එය ශ්‍රී ලංකා භූමිය තුළ කිසිදා ඉටු නොවන සිහිනයක් පමණි. එසේ තිර අදහසක් ප්‍රකාශ කිරීමට තරම් හේතු සාධක දැන් ඕනෑවටත් වඩා සිදුවී හමාරය. තව දුරටත් සිදුවෙමින් පවතී. ඇත්ත අපරාධ සැකකරුවන් ඔප්පු කළ හැකි සාක්ෂි සහිතව අධිකරණය අභියසට ගෙන ඒමට මෙතෙක් ක්‍රියාකර තිබේ ද ? ඕනෑම අපරාධයක අපරාධකරුවන් ගෙන් දැන දැනම කව්රුන් හෝ “යුක්තිය” යදිනවා නම් , ඔවුන් හැදින්විය යුත්තේ කවර නමකින්ද යන්න මම නම් නොදනී…….!!!
– පෝද්දල ජයන්ත (fb)

Previous articleඋදය ගමාච්චි කාටූන් – ලංකා
Next articleඔස්ට්‍රේලියාව වසර දෙකකට පසුව සම්පූර්ණයෙන් විවෘත කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here