ඉන්දියාව උණුසුම් කළ නව පුරවැසි නීතිය

පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක් වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී නැහැ.

මෙම පනතින් සිදු වී තිබෙන්නේ අසල්වැසි රටවල් තුනක මුස්ලිම් නොවන ජනතාවට පුරවැසිකම ලබා දෙන්නට මෙම පනතින් හැකි වීමයි. මෙය මුස්ලිම් විරෝධී හින්දු ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රයේ කොටසකැයි ඉන්දියාවේ මුස්ලිම් ජනයා කියනවා. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200ක්. ඒත්, බලයේ පවතින්නේ මුස්ලිම් විරෝධී, හින්දු ජාතිකවාදී ආණ්ඩුවක්. නරේන්ද්‍ර  මෝදිගේ කැබිනට්ටුවේ ඉන්නේ එක් මුස්ලිම් ජාතිකයකු පමණයි.

මුස්ලිම් සමාජය තුළ මෙම පනත සම්බන්ධයෙන් භීතියක් පැතිර තිබෙනවා. එරටට අනවසරයෙන් රිංගාගෙන ඇතැයි සැලැකෙන අන්තවාදී බලවේග මුලිනුපුටා දැමීමේ අරමුණින් යුතුව පුරවැසියන්ගේ සම්භවය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මේ භීතිය තවත් වර්ධනය වී තිබෙනවා. මෙම පරීක්ෂාව මඟින් බලාපොරොත්තු වන්නේ, නීති විරෝධීව ඉන්දියාව තුළට රිංගාගෙන සිටින අනවසර සංක්‍ර‍මණිකයන් 2024 වන විට රටින් පිටුවහල් කිරීමයි.

‘ජාතික පුරවැසි ලියාපදිංචිය’ නම් වන මෙම වැඩසටහන මේ වන විටත් නැඟෙනහිරදිග ඇසෑමයේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, සිය සම්භවය හා පුරවැසිභාවය ඔප්පු කිරීමට අසමත් වූ 19 ලක්ෂයක් වැසියන් රටක් නැති මිනිසුන් බවට පත් වී සිටින බව වාර්තා වෙනවා. ඉන්දීය ග්‍රාමීය, දිළිඳු ජනයා අතුරින් සැලැකිය යුතු පිරිසකට ලියාපදිංචිය සඳහා රජය බලාපොරොත්තු වන ලේඛන හා වෙනත් සාක්ෂි සැපයීමේ හැකියාව නැහැ.

මේ අතර මෙම ජාතික පුරවැසි ලියාපදිංචිය නිසා රටක් නැති පුරවැසියන් බවට පත් වීමේ ඉඩ ඇති පිරිස අතර සැලැකිය යුතු ජනගහනයක් භාරතීය ජනතා පක්ෂයට සහාය දෙන හින්දු බෙංගාලි ජාතිකයන්. ඒ නිසා දැන් ඒ ලියාපදිංචි ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම අත්හිටුවා තිබෙනවා. බංග්ලාදේශයෙන් සිදු වන අනවසර සංක්‍රමණ ඇසෑමයේ දිගුකාලීන ප්‍රශ්නයක්.

මෝදි කියන්නේ මෙම නීතිය ඉන්දීය පුරවැසියන්ට බලපාන්නේ නැති බව හා විපක්ෂය මේ සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන බවයි. මතු වන අභියෝග හමුවේ තමන් මෙම නීතිය සම්බන්ධයෙන් පසුනොබසින බව අගමැති මෝදි හා ඔහුගේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද පවසනවා. භාරතීය ජනතා පක්ෂයට බහුතර බලයක් නැති උත්තර සභාවේත් මෙම පනත මෑත දී සම්මත වුණා. පහළ මන්ත්‍රී  මණ්ඩලයේ එය සම්මත වුණේ 2016දීයි.

මෙම පනත මඟින් පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් පැමිණ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට පොදු සමාවක් පිරිනැමෙනවා. 64 වසරක් පැරැණි ඉන්දීය පුරවැසි පනතට කරන ලද සංශෝධනයක් මඟිනුයි එය කරන්නේ. මීට පෙර නීති විරෝධී සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් සැලැකුණේ අනවසරයෙන් පදිංචිව සිටින විදේශිකයන් ලෙසයි. නව සංශෝධනය අනුව, හින්දු, සික්, ජෛන, ක්‍රිස්තියානි, බෞද්ධ සහ පාසි යන ආගමික සුළුතරයන්ට අයත් ජනවර්ග හයට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔවුන් මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හෝ බංග්ලාදේශය යන රටවලින් සංක්‍රමණය වූවන් බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සංක්‍රමණිකයන් වසර 11ක් ඉන්දියාවේ සිටිය යුතු බවට පැවැති නීතිය වසර හය දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව, 2014ට පෙර පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙමඟින් ආගමික පළිගැනීම්වලට ලක් වූ සරණාගතයන්ට සහන සැලැසෙන බව ඉන්දීය රජය කියනවා. එහෙත්, විවේචකයන් කියන්නේ මෙමඟින් මුස්ලිම්වරුන් කොන් කිරීමට භාරතීය ජනතා පක්ෂ රජය උත්සාහ කරමින් සිටින බවයි. ජාතික පුරවැසි ලියාපදිංචියත්, පුරවැසි පනතට ගෙන එන ලද සංශෝධනයත් එකිනෙක අතර සම්බන්ධයකින් යුක්තයි. එක පැත්තකින් රටට මැනැවින් හැඩගැසුණු සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාදෙන ගමන් අනවසරයෙන් රිංගාගෙන සිටින්නන් පිටුවහල් කිරීම මෙහි අරමුණ බව ඉන්දීය රජය පවසනවා. මේ ඔස්සේ ඉහත දක්වන ලද බෙංගාලි හින්දු ජාතිකයන්ට මෙම පනත මඟින් පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නට පුළුවන්. ඒත්, මුස්ලිම් ජනතාව ප්‍රශ්න කරන්නේ ද මෙම තෝරා ගැනීමේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයයි. පුරවැසිභාවය ලබා දීමේ දී ආගම පදනම බවට පත් කර ගැනීම ඉන්දියාවේ දිගුකාලීන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය මූලධර්මවලට හා අනාගමික ව්‍යවස්ථා සංකල්පයට පටහැණියි. එසේ ම, එය වාර්ගික වෙනස්කම් කිරීමක් හා නීතිය ඉදිරියේ සමානත්වය අභියෝගයට ලක් කිරීමක්.

අසල්වැසි මුස්ලිම් රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් සුළුතරයන් මෙම නීති සංශෝධනයෙහි දී නොතකා හැර තිබෙනවා. පාකිස්ථානයේ සුළුතර මුස්ලිම් ප්‍රජාවක් වන අහමඩියා මුස්ලිම්වරුන් රැසක් ඉන්දියාවේ සරණාගතයන් ලෙස ජීවත් වෙනවා. පාකිස්ථානයේ සුන්නි මුස්ලිම් බහුතරයේ පළිගැනීමට මෙම ප්‍රජාව ලක් වී තිබෙනවා. බුරුමයෙන් සංක්‍රමණය වී සිටින රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ආපසු යැවීමට ඉන්දීය රජය උත්සාහ කරමින් සිටින්නේත් මේ අතරමයි.

මේ අතර, රට පුරා සියලු‍ විරෝධයන් එක හා සමාන නැහැ. නිදසුනක් ලෙස පාකිස්ථානයට, ඇෆ්ගනිස්ථානයට සහ බංග්ලාදේශයට මායිම් වන ප්‍රාන්තවල ජනතාව විරෝධය දක්වන්නේ අලු‍තෙන් සංක්‍රමණය වීමට ඉඩ ඇති ජනයා හේතුවෙන් තමන්ට ඇති විය හැකි ගැටලු‍වලට විරුද්ධවයි. මේ අතර, ශිෂ්‍ය උද්ඝෝෂණ ද පැවැත්වෙනවා. ඒවාට පසුබිම් වන්නේ බොහෝ විට පොලිස් මර්දනය වැනි කාරණායි. ශිෂ්‍ය උද්ඝෝෂණ හා පොලිස් පහරදීම් නිසා පසුගිය සතියේ දිල්ලිය උණුසුම් වුණා. භාරතීය ජනතා පක්ෂයට වඩා ලිබරල් දේශපාලන පක්ෂයක් වන කොන්ග්‍රස් පක්ෂයත් මෙම සංශෝධනයට විරුද්ධයි. එය බල දේශපාලනික හේතුවක්.

මේ අතර, විස්මයට තුඩුදෙන හා තමිල්නාඩුවේ දෙමළ ජනයා අතර විරෝධයට තුඩු දෙන කාරණයක් වන්නේ ඉන්දියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික යුද සරණාගතයන්ට පුරවැසිභාවය ලබා ගැනීමේ අවස්ථාවක් මෙම පනත හරහා හිමි නොවීමයි. එහෙත්, ජයලලිතාගේ දැක්ම අනුව කටයුතු කරන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මන්ත්‍රී පිරිස පුරවැසි සංශෝධන පනත සම්මත කර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට සහාය දී තිබෙනවා. 60,000කට වැඩි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙනවා. ඔවුන් අතුරින් 30,000ක් පමණ දෙනා වාර්ගික ප්‍රචණ්ඩත්වයන් නිසා රටින් පලා ගිය කඳුරට දෙමළ වැසියන්.

අජිත් පැරකුම් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

one × two =