ඇඹිලිපිටියේ තීන්දුව !

9

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තිය –

නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබු ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තකු මරණ දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය. එහෙත් විමර්ශනයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තකු සිරභාරයට ගැනීම, අත්අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඬුවමක් නොවන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය –

කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්⁣තේය.

නියෝගය

‘සැඟවූ ආයුධ පෙන්වීමට ගොස්’ 2010 වසරේ දී වෙඩි තබා මරා දැමූ ඇඹිලිපිටියේ අජිත් ප්‍රසන්නගේ බිරිඳට වන්දි ගෙවන්නැයි එවකට ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකුටත්, ශ්‍රී ලංකා රජයටත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 17 දා නියෝග කළේය. මිය ගිය තරුණයාගේ බිරිඳට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන්, පොලිස් සැරයන් සුරවීර ආරච්චිගේ වසන්ත සුරවීර, කොස්තාපල් හේවා සිංගප්පුලිගේ චමින්ද සහ කොස්තාපල් 20527 පුෂ්කුමාර යන නිලධාරීන්ට (මූලික අයිතිවාසිකම් නඩුවේ 01 – 04  වගඋත්තරකරුවන්ට) ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් නියෝග කරන ලදී.

ඊට අමතරව වගකීම් පැහැර හැරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවේ පස්වැනි, හයවැනි සහ හත්වැනි වගඋත්තරකරුවන් වූ ඇඹිලිපිටිය පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක පීටර්, හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක විජිත කුමාර සහ ඇඹිලිපිටිය පොලිසිය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ පෞද්ගලික මුදලින් රුපියල් විසිපන් දහස බැගින් මිය ගිය තරුණයාගේ බිරිඳට ගෙවන ලෙසයි.

මිය ගිය තරුණයාගේ මූලික අයිතිවාසිකම් රැකීමට රජය අපොහොසත් වී ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මිය ගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට ද නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ, මිය ගිය අජිත් ප්‍රසන්නගේ බිරිඳ විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමිනි.

නඩුව

සැඟවූ ආයුධ පෙන්වීමට යාමේ දී අජිත් ප්‍රසන්න විසින් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ බවත්, ඒ අවස්ථාවේ කළ වෙඩි තැබීමකින් මෙම මරණය සිදු වූ බවත් පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

2010 සැප්තැම්බර් 16 වැනිදා අජිත් ප්‍රසන්න නම් මිය ගිය තරුණයා නිවසේ සිටිය දී නඩුවේ පළමු වගඋත්තරකරු වන ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නිරෝෂන් අබේකෝන් සමඟ පැමිණි පොලිස් කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කළ බවත්, සැකකටයුතු කිසිවක් හමු නොවූව ද, තම සැමියා අත්අඩංගුවට ගෙන වාහනයකින් රැගෙන ගිය බවත් පෙත්සම්කාරිය අධිකරණයට ප්‍රකාශ කර තිබිණි. අත්අඩංගුවට ගැනීමට හේතුව විමසූ අවස්ථාවේ ප්‍රකාශයක් ලබා ගැනීමට සැමියා රැගෙන යන බව පොලිසිය ප්‍රකාශ කළ බව පෙත්සම්කාරිය පවසා ඇත.

පසු දින, එනම් 2010 සැප්තැම්බර් 17 වන දින පෙත්සම්කාරිය තම සැමියා බැලීමට ඇඹිලිපිටිය පොලිසියට ගිය ද, ඇයට සැමියා බැලීමට අවසර දී නැත. 2010 සැප්තැම්බර් 18 වන දින පෙත්සම්කාරිය නැවත වරක් පොලිසියට ගොස් තිබේ. එහි දී ඇයට දැනුම් දී ඇත්තේ අජිත් ප්‍රසන්නව නිවසට රැගෙන ගිය බවයි. පෙත්සම්කාරිය නැවත නිවසට පැමිණි පසු ඇගේ මව ඇයට දැනුම් දී ඇත්තේ පළමුවන වගඋත්තරකරු ඇතුළු පොලිස් කණ්ඩායමක් සැමියා නිවසට රැගෙන ආ බවකි.

අජිත් ප්‍රසන්නගේ දරුවා හඬමින් තම පියා බැලීමට ඉල්ලා සිටින විට “අප්පච්චි බලන්න එන්න එපා, අප්පච්චිව බලන්න දෙන්නෙ නැහැ” යනුවෙන් පොලිසිය ප්‍රකාශ කළ බව ද ඇයගේ ප්‍රකාශයේ සඳහන් ය. පෙත්සම්කාරියගේ (මිය ගිය තරුණයාගේ බිරිඳගේ) නැන්දනිය (මිය ගිය තරුණයාගේ මව) ප්‍රකාශ කර ඇත්තේ තම පුතාට තමන් සමඟ කතා කිරිමට පවා ඉඩ නොදුන් බවත්, එක් අවස්ථාවක පළමුවන වගඋත්තරකරු “හා උඹලා උයනවා නේද? අද උඹට අන්තිම කෑම කාලා යන්න පුළුවන්” යැයි පුතාට ප්‍රකාශ කළ බවත්ය.

අජිත් ප්‍රසන්නට එහි දී ආහාර ගැනීමට අවසර දුන් බවත්, ඔහුට මාංචු දමා තිබියදීම ආහාර ලබා දුන් බවත් මිය ගිය තරුණයාගේ මව සඳහන් කර තිබේ. “මට කන්න බෑ. කෑම උගුරෙන් පහළට යන්නෙ නෑ. මට හොඳටම ගහලා තියෙන්නෙ. මට හොඳටම අමාරුයි, මාව මරයි, මාව බේර ගන්න” යනුවෙන් ඔහු ආහාර ලබා දෙන අතරතුර ප්‍රකාශ කළ බව ද පෙත්සමේ සඳහන්ය.

අජිත් ප්‍රසන්නට වෙඩි තබා ඇති බවත්, ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් 2010 සැප්තැම්බර් 19 වැනි දින පෙත්සම්කාරියට (ඔහුගේ බිරිඳට) අජිත් ප්‍රසන්නගේ සහෝදරයා දැනුම් දී තිබේ. තම සැමියා පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගොස් ඇති බැවින්, ඔහුගේ මළ සිරුර භාරගැනීම ඇය මුල දී ප්‍රතික්ෂේප කර තිබේ. මීට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය 2010 සැප්තැම්බර් 21 වැනි දින පවත්වා තිබේ. පෙත්සම්කාරිය වැඩි දුරටත් කියා සිටින්නේ, මරණ පරීක්ෂණයට පෙර ඇගේ ප්‍රකාශ සටහන් කර ගත්ත ද, මරණ පරීක්ෂණය අවස්ථාවේ ඇයට පෙනී සිටීමට අවසර නොදුන් බවයි.

පෙත්සම

තම සැමියා අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස නිවසින් රැගෙන ගොස් පොලිස් නිලධාරීන් විසින් ඝාතනය කරන ලද බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13 (1) වගන්ති යටතේ දක්වා ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාරිය (මිය ගිය තරුණයාගේ බිරිඳ) පෙත්සමෙන් පෙන්වා දී තිබේ. අදාළ පෙත්සමේ සඳහන් පහත කරුණු මෙසේ උපුටා දැක්විය හැකිය.

(අ) මිය ගිය තැනැත්තා කිසිදු විශ්වාස කළ හැකි කරුණක් හෝ හේතු දැක්වීමකින් තොරව සහ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගැනීම.

(ආ) මිය ගිය තැනැත්තා නීතියෙන් ස්ථාපිත කරන ලද නියමිත ක්‍රියාපටිපාටියෙන් තොරව සහ කිසිදු සාධාරණ කරුණු දැක්වීමකින් තොරව අත්අඩංගුවේ තබා ගැනීම.

 (ඇ) මියගිය තැනැත්තාට වධහිංසා පැමිණවීම, කුරිරු සහ අමානුෂික ලෙස සැලකීම සහ පහර දීම

 (ඈ) මියගිය තැනැත්තා අත්අඩංගුවේ සිටිය දී පොලිසිය විසින් ඝාතනය කිරීම.

පොලිසිය

මිය ගිය පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු වූ කංකානම්ගේ ආනන්ද සුනිල් ශාන්තගේ ඝාතනයට සම්බන්ධ බවට ලැබුණු විශ්වාසදායක සාක්ෂි මත පදනම්ව 2010 සැප්තැම්බර් 17 වන දින අත්අඩංගුවට ගත් බව වගඋත්තරකරුවන්ගේ පාර්ශ්වයෙන් සඳහන් කර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී  ඔහුගේ නිවසේ තිබී සජීවී පතොරම් සොයා ගත් බව ද ඔවුන් පවසා ඇත. නමුත්, අත්අඩංගුවට ගත් භාණ්ඩ නිසියාකාරව මුද්‍රා තබා නොමැති බව නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන්ය.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා මඟින් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළ බවත්, රැඳවුම් නියෝගයක් ලබා ගත් බවත් වගඋත්තරකරුවන් වැඩි දුරටත් පෙන්වා දී ඇත. මේ හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීත්‍යනුකූලව සිදු වී ඇති බව ඔවුන් ඉදිරිපත් කර ඇති තර්කයයි.

තීන්දුව

“අප ඉදිරියේ ඇති සියලු‍ කරුණු සලකා බැලීමේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් 11 සහ 13 වන වගන්ති වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව අධිකරණයේ මතයයි. විශේෂයෙන් 1, 2, 3, 4 වගඋත්තරකරුවන් මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට තනි තනිව වගකිව යුතුය. එම නිසා ඔවුන්ගේ පෞද්ගලික ආදායම්වලින් පෙත්සම්කාරියට (මිය ගිය තරුණයාගේ බිරිඳට) රුපියල් 2,50,000.00 බැගින් ගෙවීමට නියෝග කර සිටී.

පවතින සාක්ෂි අනුව 5, 6, 7 වගඋත්තරකරුවන් ඔවුන්ගේ වගකීම් ඉටු කර ඇති බව පෙනී යන්නේ නැත. එබැවින්, ඔවුන් ද මෙම උල්ලංඝනය කිරීමට වගකිව යුතු බව පෙනී යයි. එම නිසා රුපියල් 25,000.00 බැගින් ඔවුන්ගේ පෞද්ගලික ආදායමෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවට ද නියෝග කර සිටී.

මේ රටේ සෑම පුරවැසියකුම ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. මෙම නඩුවට අනුව රජය සිය වගකීම ඉටු කිරීමට අපොහොසත් වී ඇති අතර, මිය ගිය පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇත. එබැවින්, මිය ගිය අයගේ බිරිඳට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට රජයට මෙයින් නියෝග කර සිටී.”

එල්. ටී. බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වෙනුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලසිත සචින්ද්‍ර පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියහ.

ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තිය –

නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබු ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තකු මරණ දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය. එහෙත් විමර්ශනයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තකු සිරභාරයට ගැනීම, අත්අඩංගුවේ තබාගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඬුවමක් නොවන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය –

කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.

වගකීම

මෙසේ ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තැබීමට උත්සාහ කිරීම සහ පලා යාමට උත්සාහ කිරීම නිසා වෙඩි තැබූ බව පවසමින් පසුගිය කාලයේ දී සැකකරුවන් රැසක් ඝාතනය කෙරිණි. ඊට අදාළව අධිකරණවලට කරුණු වාර්තා කෙරුණු අතර, එකදු අධිකරණයක් හෝ ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ වගකීම භාර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කැඳවා ප්‍රශ්න කිරීමක් කළ බව වාර්තා වූයේ නැත.

1994 කෘර, අමානුෂික සහ අවමන්සහගත සැලකිලිවලින් ආරක්ෂා වීමේ පනතට අනුව යම් සැකකරුවකු අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඔහුගේ සම්පූර්ණ වගකීම එම පොලිස් ස්ථානයේ  ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතු වේ. එසේම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රැසකට පාදක කරගෙන ඇති එලෙන්බරෝ න්‍යායේ මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන්ය. “අත්අඩංගුවට ගැනීමේ දී නිරෝගීව සිටින පුද්ගලයකු අත්අඩංගුවෙන් එළියට පැමිණෙන විට, තුවාළ ලැබූ තත්ත්වයක සිටී නම්, එයට අදාළව එම තුවාළකරු රඳවා ගැනීම පිළිබඳ වග කියන නිලධාරීන් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කළ යුතුය.”

එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරන ලද SC/ FR /559/03 කමල්ඩීන් එදිරිව එම්. ඒ. එම්. සාර්ජුන් මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ ද පැහැදිලිව සඳහන් කර ඇත්තේ ඉහතින් සඳහන් කළ ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ වැදගත්කමයි. කිසිදු පුද්ගලයකුට දඬුවම් කිරීමේ බලයක් අධිකරණයට හැර, වෙනත් ආයතනයකට නැති බව එහි දක්වා ඇත. එවැනි අමානුෂික සහ කෲර හිංසනයක් සිදු වන්නේ නම්, එය බරපතළ තත්ත්වයක් බව ද අදාළ තීන්දුවේ සඳහන්ය.

එසේ ම මෙවැනි අවස්ථාවල දී පොලිසිය පාර්ශ්වයෙන් දක්වන කරුණු කොතරම් සාධාරණ සහ පිළිගත හැකි තත්ත්වයේ පවතී ද යන්න සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟින් පැහැදිලි කර තිබේ. ීක්‍/ත්‍ඍ/343/99 කේමසිරි කුමාර කල්දේරා එදිරිව සෝමසිරි ලියනගේ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ මෙසේ පැහැදිලිව ඒ සම්බන්ධයෙන් දක්වා ඇත. “පොලිසිය විසින් පවත්වාගෙන යන පොත්වල සටහන් වෙනස් කිරීමට පොලිසියට හැකියාව ඇතිවාක් මෙන්ම, එසේ වෙනස් කිරීම් නිතර ම කරන බවට ඇති දැනීම මත එවැනි සටහන් ඒ ආකාරයෙන්ම සත්‍යය ලෙස පිළිනොගත යුතුය.”

පාඩම

අජිත් ප්‍රසන්න තරුණයා ඝාතනය කිරීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙන් පැහැදිලි වන්නේ සටන් කිරීමේ වැදගත්කමයි. සටන් නොකරන තාක් අපරාධකරුවන් යහතින් සිටිය ද, සටන්වල දී ඔවුන් පරාජයට පත් කළ හැකි බවයි. ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කළ නොහැකි බවයි.

මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තම ආධිපත්‍යය පවත්වාගෙන යෑමට බාධාවක් ලෙස සලකන ආණ්ඩුවක් පවතින අවස්ථාවක, ඒ ආණ්ඩුව වින්දිතයන්ගේ අයිතිවාසිකම් නොසලකා හරිමින් අධිකාරි බලය මුදාහරිමින් සිටින අවස්ථාවක, මානව හිමිකම් සම්බන්ධයෙන් ජනප්‍රිය තලයේ වැඩ කළ කණ්ඩායම් හෙමින් සීරුවේ පීලි මාරු කරමින් සිටින අවස්ථාවක, අජිත් ප්‍රසන්නගේ බිරිඳගේ සහ ඇයට සහාය වූ නීතිඥ කණ්ඩායමේ සටනට ආචාර කළ යුතුය.

■  ශාලික විමලසේන

Previous articleනුඹ ගැන මතකයත්, ඉතිරි කර ගිය කවි ටිකත් හොඳටෝම ඇති
Next articleඉන්දියාව උණුසුම් කළ නව පුරවැසි නීතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here