‘මානුෂික ආණ්ඩුව’ සහ ප්‍රකෝපකාරී ජනතාව

98

“උද්ඝෝෂකයන්ට හා වැඩ වර්ජකයන්ට එරෙහිව කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර එල්ල නොකරන” ලෙස ජනාධිපති විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරට පැවැසූ බව මාධ්‍ය තුළ වාර්තා විය. කැබිනට්
රැස්වීමේ දී “උද්ඝෝෂකයන්ට, වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු” යැයි මහජන ආරක්ෂක (සිනා වීම හෝ නොවීම ඔබ සතු ය) ඇමැති සරත් වීරසේකර විසින් කරනු ලබන ප්‍රකාශයකට පිළිතුරු ලෙස එසේ පැවැසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ. දේශපාලකයන්ගේ වචනවලට ද ව්‍යංගාර්ථ තිබේ. එසේ නමුත්, මෙහි ව්‍යංගාර්ථයක්, සැඟවුණු අර්ථයක් වේ දැයි පැවසිය හැක්කේ ආණ්ඩුවේ ඉදිරි භාවිතාව අනුව ය.

ජනතාව පාඩම් ඉගෙන ගන්නේ අත්දැකීම්වලිනි. ඔවුහු තමන් අයත් පන්තිය තේරුම් ගනිමින් සිටිති. තමන් පාලනය කරන පන්තියේ සැබෑ ස්වරූපය තේරුම් ගනිමින් සිටිති. එතැන් සිට ජනතා ක්‍රියාකාරිත්වයන් පැනනඟින්නේ පාලකයා නිරුවත් බව දැනගෙන ය. එසේ දැනුම්වත් වූ ජනතාව සංවිධානය වූ කල ඔවුන්ගේ ඉදිරිගාමී අරමුණු ඉටු කර ගැනීම කුමන පාලකයකුටවත් නවතාලිය නොහැකි ය. මානව ඉතිහාසයේ වැදගත්ම පාඩම එයයි. බහුතර බලය තමන් යැයි අවබෝධ කර ගත් සංවිධානාත්මක හා සටන්කාමී ජනතාවක් හමුවේ රාජ්‍ය මැර බලය යනු කෝඳුරු, මැසි, මදුරු උවදුරක් පමණි.

මක් නිසා ද යත්, උද්ඝෝෂකයන් සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන් කර දුන්නේ ද මෙම ජනාධිපතිම ය. එම ස්ථානයේම කූඩාරම් ගසා උපවාසයේ සිටි පිරිසක් බලහත්කාරයෙන් පන්නා දැමුවේ ද මෙම ජනාධිපතිවරයාගේ පොලීසියම ය. ඔවුන් විසින් ම වෙන් කර දෙනු ලැබූ ස්ථානයට යමින් සිටි පෙළපාළිකරුවන්ට මඟ දී බාධා කළේ ද උද්ඝෝෂණ ස්ථානයක් වෙන් කළා යැයි පැවැසූ ජනාධිපතිගේ ආණ්ඩුවම ය. තෙල් ටැංකි විකිණීමට එරෙහි ජවිපෙ උද්ඝෝෂණ පා ගමනට තම අතිජාත මිතුරු ඇවන්ගාඩ් හරහා බිත්තර ගැසුවේ ද මෙම ආණ්ඩුව ය. ඇමැති අනුග්‍රහයෙන් ද, ඇවන්ගාඩ් අනීතික කල්ලියේ සම්පත් දායකත්වයෙන් ද ජාතික ජන බලවේගයට බිත්තර ගැසූ පසු ජනතා සහායෙන් අත්අඩංගුවට ගත් මැරයන් නිදහස් කළේ ද මෙම ආණ්ඩුව ය. හොඳයි, ජනාධිපතිගේ ප්‍රකාශය දෙස ජනතාව උපේක්ෂාවෙන් බලා සිටිනවා ඇත.
මූලික මිනිස් අයිතිවාසිකම් යැයි වචන පෙළක් රටේ නීති පොතේ තිබේ. එහෙත්, මෙම අනීතික දේශපාලන බල සංස්ථාවන්ට එය අදාළ නැත. “නීතිය යන්න පාලක පංතියේ කැමැත්ත” යනුවෙන් අර්ථදැක්වෙන්නේ එබැවිනි. දැනටමත් ආණ්ඩුව නුරුස්සන ප්‍රකාශවලට, ආණ්ඩුව ප්‍රශ්න කිරීම්වලට එරෙහිව පවා සිවිල් ඇඳුමෙන් පැමිණෙන පොලිසිය විසින් පුරවැසියන් බලහත්කාරයෙන් රැගෙන යාම පාලකයන්ගේ සදාචාරය  බවට පත් වී තිබේ. තමන්ට බලයට ඒම සඳහා ප්‍රබල ඉනිමඟක් බවට පත් කර ගත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට සාධාරණය ඉටු කරනු වෙනුවට එය අවධාරණය කරන්නන් ද පැහැර ගැනීමට පාලකයෝ නිර්ලජ්ජිත වී ඇත.
මෙම කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ “වර්ජකයන් හා උද්ඝෝෂකයන් ගැන ජනතාව තීරණයක් ගනු ඇත” යන්න ය. ජනතාවගේ වේශයෙන් පාලකයන් විසින් හැමදාම ජනතාවට ම මෙවන් පහර දීම් කරනු ලැබීම ලංකා දේශපාලනයේ අලුත් දෙයක් නොවේ. මෙවන් පාලකයන්ට ජනතාව යනු තමන් වටා මුර ලා සිටින අනීතික දඩබල්ලන් පමණක් ය. සැබෑ ජනතාව පාලකයන්ට වහකදුරු ය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු සැබැවින්ම සීතාම්බර පටසළුවකි. එය වියන්නා ද, සළුව අඳින්නා ද පුන පුනා පවසන බැවින්, එවැන්නක් ඇතැයි ජනතාව සිතන්නට හුරුවෙති. එහෙත්, සැබැවින්ම එවැන්නක් නැත. දැන් දැන් ජනතාව අවදි වන තරමට රජු සෙලුවෙන් බව ද මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය මුළාවක් බව ද ඔවුහු තේරුම් ගනිමින් සිටිති.
ජනතා විරෝධය හමුවේ අසමත් පාලකයා තර්ජනය, ගර්ජනය, මර්දනය තම වේවැල කොට ගනී. ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. කළේ ද, ජේ.ආර්. රටට එපා වීමෙන් ලද අවසරයෙන් ලංකා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයකින් බලයට පත් ජනාධිපති, ආර්. ප්‍රේමදාස කළේ ද අනීතික ලෙස ෆැසිස්ට් පන්නයේ මැර කල්ලි, මිනීමරු කල්ලි යොදා ජනතා විරෝධය මැඬලීම ය. මර්දනයයි, ඝාතනයයි පාලන ක්‍රමය විය. එතැන් සිට ආපස්සට ඉංග්‍රීසීන් දක්වා ද, එතැන් සිට ඉදිරියට ගෝඨාභය දක්වා ද අඩුවැඩිකම් මිස මෙවන් රාජ්‍යවල මර්දනීය හා කඩාකප්පල්කාරී ක්‍රියාවල වෙනසක් නොමැත. බලයට ඒමේ දී “ඔබ තමුන්නාන්සේලා” වන ජනතාවම බලයට පත් වූ පසු පාලකයාට “තමුන්ලා” යන්න පමණක් ය. උන්, මුන් පමණක් ය.
ජනතාව පාඩම් ඉගෙන ගන්නේ අත්දැකීම්වලිනි. ඔවුහු තමන් අයත් පන්තිය තේරුම් ගනිමින් සිටිති. තමන් පාලනය කරන පන්තියේ සැබෑ ස්වරූපය තේරුම් ගනිමින් සිටිති. එතැන් සිට ජනතා ක්‍රියාකාරිත්වයන් පැනනඟින්නේ පාලකයා නිරුවත් බව දැනගෙන ය. එසේ දැනුම්වත් වූ ජනතාව සංවිධානය වූ කල ඔවුන්ගේ ඉදිරිගාමී අරමුණු ඉටු කර ගැනීම කුමන පාලකයකුටවත් නවතාලිය නොහැකි ය. මානව ඉතිහාසයේ වැදගත්ම පාඩම එයයි. බහුතර බලය තමන් යැයි අවබෝධ කර ගත් සංවිධානාත්මක හා සටන්කාමී ජනතාවක් හමුවේ රාජ්‍ය මැර බලය යනු කෝඳුරු, මැසි, මදුරු උවදුරක් පමණි. පරාජිතව සිහසුනෙන් කානුපල්ලට වැටෙන තුරු පාලකයා අවබෝධ කර නොගන්නා සත්‍යය ද එයයි. පාලකයාගේ අපරිණත භාෂාවට ජනතාවගේ පරිණත පිළිතුරු භාෂාව සත්‍යය වටා සංවිධානය වීමයි●
 
 

Previous articleආයෙත් ගැහැනු රවටන්න හදන බැසිල්ගේ උපාය
Next articleආයිබොවන්ඩ ජනක..,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here