විදුර ඩයස් අභයගුණවර්ධනගේ “සරැළි”

11

විවිධ රසික පර්ෂදයන්හී හමුවන, සංවාදයන්හී හවුල්කරුවකු වන විදුර කවි ලියයි. නැත, හේ කවි නෙලයි. එ කවි ඇඟිලි තුඩින් ගෙන මේ යයි අපට පෙන්වයි. ඉදින් අපට ඇත්තේ ඒ කව් විඳුම ය.
ඔහුගේ පළමු කවිය කළුවන් පිටකි. කවියට නමකි. ‘ඉක්බිති ගොළු මුහුද‘. ඉන්පසුව ඇරඹෙනුයේ රළ නගනා සමුදුර විය යුතුය. විදුරගේ කවි එකතුව ඔහුගේ පළමු කාව්‍ය කෘතිය වුවද එය අභ්‍යාසවෘද්ධ බවින් යුක්තය. බසින් පොහොසත්ය. සංවේදීබවින් සරුය. බහුඅරුත්දනවන ගුණයෙන් යුක්තය. ඒ කව් විඳුම යනු අවධානය දල්වන්නකි. පේලි අතර කියවන්නට කරන තර්ජනයකි. කවිය යනු නව අත්දැකීම් කෙමෙන් අඩුව යන එකම අත්දැකීම විවිධ කවියන් අතර අභ්‍යාස වන බිමකි. එහෙයින් කවියාගේ හැකියාව කැපී පෙනෙනුයේ ඔහු පොදු අත්දැකීම වුව අතිශය නවීන ආකාරයකින් ගෙන එන්නට දක්වන සමත්කමෙහිය. විදුර එහිදී බෙහෙවින් සාර්ථක වෙයි. ඔහුගේ දෙවන කවිය අතීතාවලෝකනයක් හරහා සිය කවි උල්පත සොයා යාමකි.

උගැන්වූ ඔබ එදා හෝඩිය
උකුළු පුටවේ වාඩි කරගෙන
අහෝ ඒ අකුරින් ගොතන්නට
කප්පරක් කවි තියේ තැන තැන

මව්-පිය උකුල යනු සුවසුනකි. එසේම පැටි වියෙහි එය ලොව සරන්නට අපට ලැබෙනා යානාවකි. ඒ ඉමිහිරි සැරිය ජීවිතය කෙතරම් පොහොසත් කරන්නේද යන්න කවියා අපට පසක් කරවයි. ඉදින් ඒ කවියා තම උරුමය ඊළඟ පරපුරට පවරනුයේ මෙලෙසිනි.

දිනෙක මම- වෙමි නතර
නො කියාම
යා යුතු යැ උඹ එතෙර
තනියෙන්ම

පැටි වියෙහි සිට විවාහ වන දින දක්වාම ඊටත් පසුව පවා අලුත උපන් බිළිඳුන් සේ ගෙන තම දරුවන් පොරක් කරන්නට පෙළඹෙන සමාජයක කවියා සිට උරුමය පවරනුයේ පරිණත වැඩිහිටියෙකු ලෙසිනි. එය ජීවිත පාඩමකි.

උඹට තරුවක් නොදෙන
හිස් අහසේ
ඉර හඳ සේ පළඳන්න
මදහාසේ
හද ගැඹර උඹැ හීන
මුතු බඳින
රිදෙන වැලි ඇට තදින
ඉඹ ගන්න

මේ නම් ජීවිතයෙහි විසල් බව කියාපාන කවියකි. එය පටු බැමි වලින් ජීවිතය සිරකර ගැනුම වෙනුවට බැමි බිඳ පුළුල් මිනිසකු විය යුතුය යනුවෙන් කරනා මගපෙන්වීමකි.
ගල් කොරියෙ අම්මා නම් කව විදුරගේ පරිකල්පනයෙහි පොහොසත් බව විදහන කවියකි. ගල් කඩන මවක්, පාරිසරික සාධක සහ සෙල්මුවා බුදුපිළිමයක් රූපක සේ ගෙන ඔහු මතු කරනා අරුත් තියුණුය. සංක්ෂිප්තබවත්, හැඟුම්බරබවත් කදිමට මුහු කරන ඒ කවිය කවියාගේ දැක්මද මතුකර දක්වයි. රාජෝද්‍යානයේ අමදින්නියට නම් කව මේ එකතුවේ එන වෙසෙසින්ම අගය කළ යුතු කවියකි.
මලක් උයන අමදින කතක අමතන ආකාරයෙන් නිර්මාණය කෙරුණු මේ කව හුදු මලක් සහ කතක අතර වන සංවාදයක් ඉක්මවා ජීවිතයෙහි අරමුණ කුමක්ද යන්න විමසා බලන්නකි. මලක් පිපෙනුයේ ප්‍රභූ දනන්ගේ මනදොල පුරවන්නද? පුදසුනක වියලී යන්නද?

ඉන්න තිබුණත් තව කලෙක් හිනැහී
එන්න හිතුණා නටුවගින් ගිලිහී
දන්න හඳුනකම් ඇතැත් සිත් හී
ලන්න අතුගා කමක් නෑ මව්නී

කුසුම නටුවගින් ගිලිහී වැටෙනුයේ උයද අමදින්නියගේ දෙපා මුලටය. ඒ ඇගේ ඉදලට හිස නමන අදහසිනි. එහෙත් නටුවෙහි එල්ලී සිටියේ නම් මලෙහි ඉරණම කුමක් වනු ඇතිද?

සෙබළු අවුදින් පෙකණි සිඳ දිනෙක
සනුහරය ගෙනැ යාවි වට්ටියෙක
හිසින් ගෙනැ රජු- වඳිත දළදාව
ඉන්නෙ කොහොමදැ විරිත්තා හැඩ ව
ඉදින් මලෙහි පැතුම නම් මෙයම ය.
මා මියැද යා යුතුම නම් දිනෙක
කුමට රජු අස නො සිඹි ඔබැ දෝත
ගැඹර පොලවේ මා හොවනු මැනව
පොහොර දිය දුන් ඔබේ පා ගැටෙන

තමන් සියළු හැකියාවන් එ සැණ සිඳ දමමින් රාජ සභාවන්හී වරදානයන් අභිමුව දණින් වැටී පා සිඹින්නට නොපැකිලෙන බොහෝ දැවැන්තයන් සුලබ දසුනක්ව ඇති වත්මන් සමාජයට විදුර කවියා මලක පැතුම හරහා ගෙනෙන යෝජනාව අතිශය වැදගත් ය.
කවියා ප්‍රේමය නමින් රචනා කරන කවියද අගය කළ යුතු නිර්මාණයකි. පෙමට තරම් නිර්වචන ඇති තවත් දෙයක් මිහිපිට නැති තරම් ය. ඊට නිර්වචන සැපයීමෙන් මිනිස්සු කිසිදා වෙහෙසටද පත් නොවෙති. ඉදින් විදුර එය දකිනුයේ නැවුම් යෙදුම් ඇසුරෙහි පෙමෙහි පරිත්‍යාගී ගුණයද, අහිමිවීමද, ගැටුමද මතුකර දක්වමිනි.

නාන විට මීහරක්
පිට අතුල්ලන රළක්
නිලන නිල් පැහැය දී
දුගඳ මඩ පැහැ ගනී

මේ කවියට එතරම් හුරු යෙදුමක් නොවේ. එහෙත් විදුර ඒ අපූරුවට කවියක් බවට හරවයි.

ඉදුණු පත්අත් තදින් අල්ලා
කැන්ද ගස නොම යනු යි අයදී
හැලප නො හදන බිමක කුමකට
පය ට පෑගෙනු පිණිස ගිලිහී?

විදුර කවියා තුළ පෙම්වතෙකු සිටී. ඒ පෙම්වතා හිමිවීම මෙන්ම අහිමිවීමද ඉවසිලිවන්තව විඳගන්නට දන්නා පෙම්වතෙකි. මේ ඒ පෙම්වතා වියෝගය දකිනා ආකාරයයි.

ඉමක් නොපෙනෙන ඈත දුරු කතර
ඇවිද යන්නම් තනිව ඈ අතැර
මෙතෙක් පියවර ලකුණු ළවැලි මත
පැවරුවෙමි ඕනෑම සුළඟකට

මේ පෙම්වතුන්ට පෙම්වතියන්ට ලෙහෙසි කටුයත්තක් නොවේ. පෙම යනු අත්කරගැනීමම අරමුණු කරගත්තකි. ඉදින් ඒ වෙනුවට අහිමිවීම විවෘත හදකින් දකින්නට හැකි නම් එය ජීවිතය දිනා ගැනීමක් නොවන්නේද?

මතකයණි යන්න දෙමි ඉගිල්ලී
කවුළු හැරැ හදවතේ නිදහසේ
කැමැති පෙදෙසෙක ගිහින් වසන්තේ
කවියකට නිමිති වෙනු ආදරේ
– චූලානන්ද සමරනායක



Previous articleතම තිස් දෙවැනි ජන්ම දිනයටත් මාසයකට පෙර ඝාතනය කළ රිචඩ් ද සොයිසා නම් සුන්දර මානවකයා
Next articleදිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here