තම තිස් දෙවැනි ජන්ම දිනයටත් මාසයකට පෙර ඝාතනය කළ රිචඩ් ද සොයිසා නම් සුන්දර මානවකයා

42

‘දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම’යැයි වෛද්‍ය මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. තිස් දෙවසරකට පෙර අද වැනි දවසක, එනම් 1990 වසරේ පෙබරවාරි 18 වැනි දා පෙ.ව. 3.30 ට වැලිකඩවත්ත නිවාස සංකීර්ණයේ නිවසට පැමිණෙන 32 ශ්‍රී 4748 දරන කොළ පැහැති ජීප් රථයෙන් ඇයගේ ආදරණීය පුතු රිචඩ් ද සොයිසා පැහැරගෙන යන ලදි. පසු දා, එනම් පෙබරවාරි 19 වැනි දා පස්වරුවේ ධීවර බෝට්ටු හිමියෙක් වන මාකස් ප්‍රනාන්දු සහ සොහොයුරු නිමල් ප්‍රනාන්දු හට මොරටුව කොරලවැල්ල මූදු තීරයේ පාවෙමින් ගොඩ ගසා තිබෙන ප්‍රාණය නිරුද්ධ නිරුවත් මළ සිරුරක් පමණක් හමු විය. ඒ රෑ පුරා දහස් සංඛ්‍යාත මුහුදු රැලි ඝෝෂා නගමින් නැගී බිඳෙන අතරේ මවකගේ ජීවනාභිලාස, ජීවිත පරමාර්ථ, සමස්ත කැපකිරීම් සමුදාය එක් නිමේෂයකින් එම නොගැඹුරු මුහුදේ ම ගිලී සැඟව ගොස් තිබිණ. හිස පසුපසටත්, උගුරටත් වැදුණු වෙඩි පහර දෙකක් සහ බිඳුණු හනුවක් සමග රිචඩ් ද සොයිසා නම් සුන්දර මානවකයා තම තිස් දෙවැනි ජන්ම දිනයට හරියටම මාසයකට පෙර කොරලවැල්ල දුම්රියපොළ පසුපස මූදු තීරය හරහා තම ස්වර්ගීය ගමන් මග අරඹා තිබිණ.
තිස් දෙවසරකට එහා අතීතයක වුව ද රිචඩ් ද සොයිසා සහ මනෝරානි සරවනමුත්තු යළි යළිත් සිහිපත් වීම වළක්වනු නොහැකි ය. කලන්දක ජාතකයයෙහි පැවසෙන්නේ මුහුදට වැටුණු ලේන් පැටවා බේරා ගන්නට තම වලිගයෙන් මුහුද සිඳලන්නට උත්සාහ කළ ලේන මවක් පිළිබඳව ය. මනෝරානි සරවනමුත්තු ද ඒ ලෙහෙනිය මෙන් ම සයුර කළඹවන දාරක ස්නේහයකින් තම පුතු රිචඩ් ද සොයිසා වෙනුවෙන් සටන් වැදුණා ය. සිය පුතු උදුරාගත් පසුව ද නොනවතින්නී ‘මව්වරුන්ගේ පෙරමුණ’ නමින් සංවිධානයක් බිහි කර ඒ භීම සමයේ රිචඩ් හා සමාන ඉරණමකට මුහුණ දුන් සියලු දරුවන් උදෙසා හඬ අවදි කළා ය.
ඇය, වෛද්‍ය මනෝරානි සරවනමුත්තු 1992 වසරේ දී ලක්දිව පුවත්පත ට මෙසේ ලීවා ය.
‘දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිනවා. මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා. ඔහු ඔහුගේ දේශයට එදා මෙන් ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන් ම ආදරෙයි. මිය ගිය බොහෝ දරුවන් ඔහු වගේ ම යැයි මා හිතනවා. සත්තකින් ම මා දන්නවා දිනයක් ඒවි. නිසැක ව ම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඩ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි. ඔවුන් මේ දේශයට ආදරෙයි. ඔවුන් මේ ජනතාවට ආදරෙයි. ‘අම්මා අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා’ යි කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි. රිචඩ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මා සටන් කරනවා.’
එනුමුදු රිචඩ් ද සොයිසා නැවත කිසිදිනෙක මේ සාපලත් දේශයට පැමිණියේ නැත. එදා මොරටුව පොලිසිය මගින් කළුබෝවිල රෝහල වෙත යොමු කරන ලද මළ සිරුර රිචඩ් ද සොයිසාගේ බව හඳුනා ගන්නේ ඔහුගේ ආදරණීය මව සහ ඔහුගේ සමීපත ම මිතුරෙක් වූ ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම් හෙවත් තාරකී ය. ඊට අවුරුදු පහළොවක් ගත වූ වහා එනම් 2005 අප්‍රේල් 28 වැනි දින බම්බලපිටිය පොලිසිය අසල දී වෑන් රියකින් පැහැරගත් මාධ්‍යවේදී තාරකී සිවරාම්ගේ මළ සිරුර පසු දින පාර්ලිමේන්තුව අසලින් හමු විය. පොලිසියක් අසල දී පැහැරගන්නා මිනිසෙක්ගේ මළ සිරුර පාර්ලිමේන්තුව අසල දී හමුවන රටක් !
එවකට පැවති විපක්ෂය පාර්ලිමේන්තුවේ දී රිචඩ් ද සොයිසා ඝාතනය අරභයා කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටිය ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න ප්‍රකාශ කර තිබුණේ සෑම මිනීමැරුමකට ම කොමිසමක් පත් කිරීම සිදු කළ නොහැක්කක් බව ය.
රිචඩ්ගේ වියෝවෙන් මාස කිහිපයකට පසු, එනම් 1990 මැයි මස 10 වැනි දා ජාතික රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය නරඹන මනෝරානි, එදා තම පුතු පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ සිටි පොලිස් නිළධාරියෙකුගේ රුව හඳුනාගෙන ඒ බව මහේස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා ය. ඒ එවකට පොලිස් පරීක්ෂකයෙක් වූ ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ නම් නිළධාරී තැනය. රෝහිණී පෙරේරා මහේස්ත්‍රාත්වරිය වහාම ඔහුව අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට ‍ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිව සිටි රන්ජන් විජේරත්න විසින් පොලිසියට නියෝග කර තිබිණ. 1991 මාර්තු මස 2 දා හැව්ලොක් ටවුන් බෝම්බයෙන් රන්ජන් විජේරත්න ඝාතනය වන විට එවකට පොලිස්‌ අධිකාරිවරයෙකු ලෙස මෙම ඝාතනයට අණ දුන් බව පසුව හෙළිදරව් වූ රොනී ගුණසිංහ ද 1993 මැයි 1 දා ආමර් වීදිය බෝම්බයෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස සමග ජීවිතක්ෂයට පත් විය.
1991 පෙබරාවරි 19 වැනි දා නව නගර ශාලාවේ දී පැවැත්වුණු ඉතිහාසගත පළමු ‘මව්වරුන්ගේ රැළිය’ ඇමතූ මනෝරානි සරවනමුත්තු එයට පෙර බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවක දී මේ ඝාතන සංස්කෘතිය පිළිබඳ සිය හැඟීම් මෙලෙස බෙදා ගත්තාය.
‘අපගේ ළමා කාලයේ නම් සියල්ල යහපත් ය. සියල්ල සුන්දර ය. අපි මුහුදු වෙරළේ කෙළි සෙල්ලම් කළෙමු. කිසිවෙක් නොආහ. අපි කඳුගැට අතරේ දුවපැන ඇවිද්දෙමු. සිනාසුනෙමු. දැනුවත් වූයෙමු. කිසිවෙක් අපි මරන්නට නොආවේය. අපි එවැනි තරුණ කාලයක් ලැබූ හෙයින් අපගේ දරුවන්ටත් එවැනි කාලයක් ලබා දෙන්නට අපි නැගී සිටිය යුත්තෝ නොවෙමු ද ? එවිට ඔවුන් බල්ලන් මෙන් මරා නොදැමෙනු ඇත. ඔවුන්ගේ සිරුරු ගංගාවල් දිගේ පහළට නොයනු ඇත. මුහුදු වෙරළට ගොඩනොගසනු ඇත’
බලහත්කාරයෙන් නිහඬ කර මිලින කළ තුරුණු ජීවිතයක ඉතිහාසගත රහසක් සිඳු ගැඹරේ සඟවාගත් කොරළවැල්ල මුහුදු තීරය අදටත් දුම්රියපොළ මානයේ සිට ශෝකීව වැලපේ. පුරා පසළොස් වසක් අලුත්කඩේ මහාධිකරණයේ දිගෑදෙමින් පැවති නඩුව 2005 ඔක්තෝබර් 09 වැනිදා අවසන් වන්නේ සාක්‍ෂියකරුවන්ගේ සාක්‍ෂි එකිනෙක පරස්පරය යන පදනම මත විත්තිකරුවන් සියල්ලන් ම නිදොස් කොට නිදහස් කිරීමෙනි. ඒ වනවිට මනෝරානි සරවනමුත්තු සිය ජීවන ගමනට නැවතුම තබා රිචඩ් තුරුලට පියමං කර වසර හතරක් සහ මාස අටක් ම ඉක්ම ගොස් තිබිණ. මනෝරානි සමග කළුබෝවිල රෝහලට ගොස් රිචඩ් ද සොයිසාගේ දේහය හඳුනාගත් සිවරාම් තාරකී ද නඩු තීන්දුවට මාස හයකට පෙර නිහඬ කර රිචඩ් සිටිනා දේශයට ම පිටමං කර තිබිණ. 2015 වසරේ දී වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ ජිවිත කතාව ඇසුරෙන් නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ‘ They Danced Alone’ චිත්‍රපටය, රූ ගත කිරීම් සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා නොදුන් හෙයින් සදාකාලික ම වැළලී ගියේ ය.
1991 වස‍රේ මාර්තු මාසයේ දී මනෝරානි සරවනමුත්තු රාවය පුවත්පතට ‘ආදරණීය රිචඩ් පුතේ’ යන ශීර්ෂයෙන් සංවේදී ලිපියක් ලීවාය. එය මෙසේ අවසන් කළා ය.
‘සිනාසෙමු අපි එකට එදා මෙන්
අප අතර වූ පුංචි විහිළුවලට
ජීවිතය ඇත තවමත් එදා මෙන්
අප අතර අප අවට
බලා සිටිමි ඔබ එනතුරා
අත ළඟම ඇති මද විරාමයකට
සියල්ල යථා පරිදි හොඳින් පවතී ‘

  • මනෝරානි අම්මා –
මනෝරානි සරවනමුත්‍තු ඒ ලිපියේ පැවසූ පරිද්දෙන්ම අදටත් මේ මොහොත දක්වා ම සියල්ල යථා පරිදි හොඳින් පවතී. නමුත් රිචඩ් ද සොයිසා නම් තරුණ මානවකයාගේ රුව සහ නාමය කිසිලෙසකින් හෝ අමතක කළ නොහැකි තරම් වරදකාරීව අප මතකයේ රැඳී ඇත.
– සහන් කසීර වික්‍රමසිංහ


(පහත කොටස jds  වෙබ් අඩවියෙන් උපුටගනිමක්) ප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බව’ පොලිස්පතිවරයා වාර්තා කර ඇති හෙයින්, රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන නිපදවීමට සැලසුම් කර ඇති චිත‍්‍රපටය රූ ගත කිරීම අනුමත කළ නොහැකි බව, අදාළ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දී තිබේ.
‘මෙම චිත‍්‍රපටය පාදක කරගෙන ඇති වෘත්තාන්තය අනුව පසුගිය කාලවකවානුවේ රට තුළ පැවැති කලබලකාරී වාතාවරණය නැවත ඉස්මතු වීමට ඉඩඇති බව’ ද පොලිස්පතිවරයා වාර්තා කර ඇතැ’යි, ආරක්ෂක අමාත්‍යාංශය ඉහත තීරණය දැනුම් දෙමින් ‘දේ ඩාන්ස් අලෝන්’ (They Dance Alone) චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ නිලේන්ද්‍ර දේශප‍්‍රියට යවන ලද ලිපියෙන් කියා සිටී.
එසේම ‘මෙම චිත‍්‍රපටයෙහි පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ චරිත, රංගන, දෙබස් රූගත කරීම සිදුකරනු ලබන බැවින්, මෙම චිත‍්‍රපටය රූගත කිරීම’ පොලිස් දෙපාර්තමේන්තුව ‘නිර්දේශ කර නොමැති’ බව ද, ආරක්‍ෂක ලේකම් වෙනුවට උක්ත ලිපියට අත්සන් කර ඇති නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බි‍්‍රගේඩියර් ඒ එස් ආරියසිංහ පවසා තිබේ.

Previous articleවිනී හෙට්ටිගොඩ ‘ලංකා’ කාටුන් 2022 – 02 -20
Next articleවිදුර ඩයස් අභයගුණවර්ධනගේ “සරැළි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here