සුද්දගෙ හැම දේම අරගෙන සුද්දගෙ පෙම්වතුන්ගේ දිනය විතරක් හෙලා දකින ලංකාවේ ඊනියා සංස්කෘතික මිනිස්සු

10

තරුණ පෙම්වතුනි හොඳින් විනෝද වෙයල්ලා
සුද්දගෙ හැම දේම අරගෙන සුද්දගෙ පෙම්වතුන්ගේ දිනය විතරක් හෙලා දකින ලංකාවේ ඊනියා සංස්කෘතික මිනිස්සු
මේක ලියන්න පටන් ගන්නකොට මට මතක් වෙන්නෙ මීට දශක ගණනාවකට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරලා, වික්ටර් රත්නායක ගායනා කරපු “ අපි ඈතට ඈතට පා නගලා.. අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ ” කියන ගීතය. මේ ගීතයේ එක තැනක තියනෙවා මෙහෙම .
“කාත් කවුරුවත් නෑ එන්නේ
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ”
පෙම්වතුන් දිහා මිනිසුන් ( වැඩිහිටියන්) බලන බැල්ම තවමත් ඒ වගේ රුදුරු ද? ලෝකය වෙනස් මේ කාලෙත් වැඩිහිටියන් එසේ විය යුතු ද? ඒ ක‍ාලේ වගේ අදත් පෙම්වතුන් වැඩිහිටියන්ට බියෙන් ආදරය කළ යුතු ද? හමු නොවී සිටිය යුතු ද? ලෞකිකත්වයේ පරම සුවය වුණු ආදරයට තහංචි දැමීම ශිෂ්ඨ සම්පන්න ද?
මේක ලියන්න හේතු වුණේ බුකිය පුරා ලංකාවේ සංස්කෘතික ගැහැණු-පිරිමි, ඇරියස් තියෙන පිරිමි හෙට ඔය ආදරවන්තයින්ගේ දිනය ගැන මාර කතා බුකිය පුරා කියන හැටි දැක්ක නිසයි. සමහර අය කියනවා “ කෙල්ලනෙ පරිස්සම් වෙයල්ල” කියලා, තවත් අය කියනවා “සුද්දගෙන් ආපු ඔය මගුලට රැවටෙන්න එපා.. පිංකමක් වගේ කරගෙන ඉඳපන් වගේ කතා.. තවත් අය කියනවා.. “ ඕක සමරන්න එපා .. අපේ අහවල් එක සමරපං” වගේ කතා ඇත්තටම මේවා තමයි ලංකාවේ තලෙබාන් වල මූලික ලක්ෂණ.
දැන් මේ මාර්ක් සකර්බර්ග් කියන ඇමරිකන් සුද්දා හදපු මුහුණු පොතේ නෙ මේ අපි කොටන්නෙ. ඒ විතරක් ද අපි අඳින පළඳින ඇඳුම්- පැළඳුම්, අපේ ආහාර රටාව, විද්‍යාව, තාක්ෂණය, බටහිර වෛද්‍ය ශාස්ත්‍රය, සංගීතය, මත්පැන් වගේ හැම දෙයක්ම ඔය සුද්දගෙන් ආපු දේවල් නෙ. ඒ මදිවට අවුරුද්ද පුරාම තියෙන ළමා දින, මව්පිය දින, අම්මාවරුන්ගේ දින.. අර දින මේ දින ඔය හැම එකක්ම ‍එන්නෙ බටහිරින්නෙ.. ඉතිං ඒ වගේ දින සමරන්න පුළුවන්නම් පෙම්වතුන්ගේ දිනය කියන එක සැමරුවාම මොකද වෙන්නෙ? පෙම්වතුන්ටත් අයිතිවාසිකම් තියෙනවානෙ.
ඉතිං ඇත්තටම .. හෙට වගේ දවසක පෙම්වතුන් වෙනදට වඩා ආදරයෙන් හමුවෙයි.. තාරුණ්‍යයේ මිහිරි ආදරය අත් විඳියි.. චිත්‍රපටයක්..නාට්‍යයක් බලයි…කෑමකට යයි. උණුන්ගේ හැඟීම් දැනීම් අනුව තවත් ලංවෙයි. ඉතිං ලංකාවේ සංස්කෘතික වැඩිහිටියන්ට මොකද මේ ගැන ඌයියා වෙන්නෙ. අනිත් එක ඔය පිරිමි වැඩි හරියක් රූපවාහිනියෙන්, චිත්‍රපට වලින්, නවකතා වලින් තරුණ ආදර කතා රස විඳින අය, ඔය දෙවන ඉණිම වගේ ජනප්‍රිය තරුණ ආදර කතා නරඹන අය. සමහර විට තමන්ගේ තරුණ වියේදී මේ විදිහටම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඒ තරුණ කාලේ ආදරය විඳපු අය වෙන්න ඇති. ඉතිං එහෙම අය දැන් හෙට තියෙන “ පෙම්වතුන්ගෙ දිනය” ගැන සමාජ මාධ්‍යයෙන් බිල්ලො මවනවා. ඇත්තටම ඒක සංස්කෘතික කුහකකමක් නේද?
ලංකාවේ පැරැණි පරම්පරාවේ බොහෝ දෙනාට ලෞකික ජීවිතයේ ඇරියස් තියෙනවා. ඒක ඊළඟ පරම්පරාවටත් පටවන්න තමයි මේ වගේ අදහස් වලින් තෙරෙන්නෙ. අනිත් එක ‍ඔය සුද්දට බැන බැන ඉන්න ලංකාවේ බොහෝ දෙනා නොදන්න දෙයක් තමයි. ඇතැම් විට සුද්දගෙ නිසා හැම දෙයක් ම අයින් ‍කළොත් අපිට ඉතුරු වෙන්නෙ අමුඩෙ වගේ දෙයක් විතරයි. ලෝකෙ දැන් තනි යායක්. බටහිර කියන දේවල් අපේ ජීවිත වලට, සමාජයට එකතුවෙලා තියෙන්නෙ, බද්ද වෙලා තියෙන්නෙ ඒවා අපේ ලෞකික ජීවිතයට ඕන නිසා. සුද්දා අපේ රටවල් යටත් කරගෙන සිටි බව ඇත්ත. ඒත් දැන් සුද්දගෙ නිසා හැම දෙයක්ම බැහැර කරන්න බෑ. එහෙම කරොත් ඉතුරු වෙන දෙයක් නෑ. ඒක නිසයි උපහාසාත්මකව කියන්නෙ “ බටහිර සුද්දගෙ නිසා අයින් කරගෙන අයින් කරගෙන ගියොත් අපට ඉතුරු වෙන්නෙ අමුඩෙ විතරයි” කියලා.
– අතුල දිසානායක
( සමාජ කතා)

Previous articleජනතාව බෙහෙත් ගැනීමට පෝලිම්වල සිටිද්දී ඇමැති ලොකුගේ වෛද්‍ය පරික්ෂණයට සිංගප්පූරු යයි
Next articleමාධ්‍ය ප්‍රජාව මෙම ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here