ඔක්කොම කුණු ඔලිම්පික් බොක්කට

දකුණු ආසියාතික තරගාවලියේදී පරාජයවීම් අතපසුවීම් සම්බන්ධයෙන් සියලු කුණු ඔලිම්පික් කමිටුව වෙත පැටවෙමින් ඇත. මෙය ඉතාමත් සාමාන්‍ය තත්ත්වයකි. වසර ගණනක් තබා අදාළ ක්‍රීඩාව දකුණු ආසියාතික මට්ටමේ ජයග්‍රහණ කරා මෙහෙයවන්නේ කෙසේද යන්න සැලසුමක් ක්‍රීඩා සංගම්වලට ද තිබිය යුතුය. අදාළ සංගම් සියල්ලට ඒ ඒ ක්‍රීඩා සම්බන්ධයෙන් වන තාක්ෂණික කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට සත්කාරක රටේ අදාළ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රියාත්මක සංගමය සමග සම්බන්ධකම් තිබිය යුතුය. එසේම අදාළ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන තාක්ෂණික උපදේශනය අදාළ ක්‍රීඩා පරිපාලනය හෝ තරගාවලියට සහභාගිවන කළමනාකරු අවබෝධ කරගෙන නොමැති බව පෙනෙන්නේ ඊට දිය යුතු අවධානය නොදීමෙන් බව පැහැදිලි ය.

එසේම තරගාවලියේ සංවිධානය සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීම් බොහොමයක් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තමන් යටතට ගෙන කටයුතු කිරීමද මෙවර තරගාවලියේදී දක්නට ලැබුණු දෙයකි. ඉන් සිදු වූ අඩුපාඩු සහ අතපසුවීම්වලට ද ක්‍රීඩා අමාත්‍යාංශය බලය පවරා ගත්තද එවැනි තරගාවලියක නිල නියෝජිතයා ලෙස ඔලිම්පික් කමිටුවටද භාර ගන්නට සිදු විය. ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා ඒ ආකාරයට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලංකාවේදී නවාතැන් දීම, මූල්‍ය කළමනාකරණ නීති උල්ලංඝනය කරමින් මුදල් රැගෙන යාම ආදි පෙර වැරදි ගණනාවක් සමග එරටදී සිදු වූ දෝෂ ද සහිතව ජනමාධ්‍ය ඉදිරියට පැමිණි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් සිය සළුපිළි උනාගත් අයුරුද දකින්නට ලැබිණි. ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ඇතැම් පාර්ශ්ව ද ජාතික ඔලිම්පික් කමිටු දේහයටම අයත් ඉන්‍ද්‍රියන් බව ද මෙහිදී අමතක නොකළ යුතුය.

ඇතැම් ක්‍රීඩා ජාතික ඔලිම්පික් කමිටුවෙන් යම් යම් සහන ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබා ගැනීමේදී කෙතරම් වගකීමකින් ක්‍රියා කර ඇද්දයි යන්නද මෙහිදී අවධානය යොමු කළ යුතුය. ඇතැම් ක්‍රීඩාවලදී විදේශීය උසස් පුහුණු සඳහා එම ක්‍රීඩාවන්හී පරිපාලනයට සම්බන්ධ හිතවතුන් යොමු කිරීමෙන්ද, එසේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රදානයන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම් කිරීමේදී ක්‍රීඩා පරිපාලන ඒ ආකාරයෙන්ම කටයුතු කිරීමත් නිසා වන අසාර්ථකවීම් ද ඔලිම්පික් කමිටුව මත පතිතවීම් ද සුලබ තත්ත්වයක්ය. මලල ක්‍රීඩාවේ පදක්කම් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයාගේ ප්‍රකාශයට ලැබෙන තරමේ ප්‍රසිද්ධියක් අදාළ සංගමය දකුණු ආසියාතික රන් පදක්කමකට හෝ යා නොහැකි ක්‍රීඩිකාවක් 2020 ඔලිම්පික් අළලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ගෙවනු ලබන දීමනාවට නම් කර තිබීමට ප්‍රසිද්ධියක් නොලැබෙන්නේය. ජාතික ඔලිම්පික් කමිටුවද මෙවැනි අවස්ථාවල අදාළ ක්‍රීඩා සංගම් දැනුවත් කරන ආකාරයෙන් එවැනි දේ මාධ්‍යයට ද ප්‍රසිද්ධ කර සුදුස්සන්ට ඒ ක්‍රීඩා සංගම් හරහා අයදුම්පත් ඉදිරිපත් කරන්නට යැයි පවසා තවත් අපක්ෂපාති පරීක්ෂණයකින් සුදුස්සන් තෝරා ගැනීමට නොයෑම ලංකාවේ ක්‍රීඩාව රෑ වැටුණු වලට නැවත නැවත තල්ලු කිරීමක්ය. එසේ ප්‍රසිද්ධ කර කටයුතු නොකිරීමට හේතුව විය හැක්කේ නිලවරණයන්හි දී බලය සඳහා එම ඡන්ද සම්බන්ධයෙන් විශ්වාසය තැබීමද විය හැකිය.

නිශ්මං රණසිංහ

Leave A Reply

Your email address will not be published.

two + 12 =