සේවාදායකයකු මඟහරින්න නීතිඥයකුට සදාචාරමය අයිතියක් නැහැ

නීතිඥ චරිත් ගල්හේන

නීතිඥවරුන් නඩුවලට පෙනී සිටීම අභියෝගයට ලක්කරමින් පසුගිය දිනවල විවිධ ප්‍රකාශයන් නිකුත් විය. ඒ අතුරින් ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක සම්බන්ධ නඩුවට පෙනී සිටි නීතිඥවරුන්ට එරෙහිව විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අවලාද නැගූ අතර මාධ්‍ය මගින් ද ඒවා ප්‍රචාරය කරනු ලැබීය. එසේ නීතිඥවරයෙකු යම්කිසි සේවාදායකයෙකු වෙනුවෙන් ඉදිරිපත්වීම වෙනත් පිරිසකට අභියෝගයට ලක් කළ හැකිද? නඩුවකට පෙනී සිටීම සම්බන්ධයෙන් නීතිඥවරයෙකුට ඇති අයිතිය කුමක්ද?

නීතිඥ චරිත් ගල්හේන සමග මේ කතාබහ ඒ පිළිබඳවය.

■  යම්කිසි නීතිඥවරයෙක් නඩුවකට පෙනී සිටීමේදී ඔහු විසින් සැලකිය යුතු කරුණු මොනවද?

තමන්ව සොයාගෙන එන ඕනෑම සේවාදායකයෙකුට සේවය සපයන්න නීතිඥවරයෙකු බැඳී සිටිනවා. එහෙම නොකර ඉන්න නීතිඥයෙකුට සදාචාරමය අයිතියක් නැහැ, සුවිශේෂී අවස්ථාවකදි හැරෙන්න. ඒ වගේ සුවිශේෂී අවස්ථාවන්වලින් එකක් තමයි තමන්ට පුද්ගලික සම්බන්ධයක් තියෙන කාරණාවක් අදාළ වෙනව නම්. දෙවැනි එක තමයි බැඳියාවන් පිළිබඳ ගැටුමක් තියෙන අවස්ථාවක්. ඒ හැරෙන්න නීතිඥවරයෙකුට සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී නොසිටින්න හැකියාවක් නැහැ.

■  ඒත් ඇතැම් අවස්ථාවල නීතිඥවරුන් කිසිවෙකු කිසියම් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටින්න තීරණය කරන අවස්ථා අපි දැකල තියෙනවා. එහෙම වෙන්නෙ කොහොමද?

එහෙම තත්ත්වයක් ඇති වෙනව නම් ඒක වැරදියි. අනෙක් පැත්තෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයකදි විතරයි. එතැනින් එහාට, මහාධිකරණය තුළ විභාග වෙන කිසිම නඩුවකට නීතිඥ නියෝජනයක් නැතිව පවතින්න බැහැ. එහිදී යම් පාර්ශ්වයකට නීතිඥ නියෝජනයක් නැත්නම් හෝ නීතිඥවරයෙකුගේ සේවාව ලබා ගැනීමට හැකියාව නැත්නම් රජය විසින් මුදල් ගෙවල නීතිඥවරයෙකු පත් කරනවා.

■  යම් නඩු කටයුත්තක් සඳහා නීතිඥවරයෙකු පෙනී සිටීම අත්‍යවශ්‍ය වෙන්නෙ ඇයි?

සාමාන්‍ය ජනතාවට අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හොඳම අවබෝධයක් නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද, බොහෝ දෙනෙක් අධිකරණයක් ඉදිරියට යන්නෙ ජීවිත කාලයටම එක් වතාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අධිකරණ ක්‍රියාදාමයත් එක්ක සාමාන්‍ය ජනතාවගේ ලොකු සම්බන්ධයක් නැහැ. එහෙම තත්ත්වයක් ඇතුළෙ නීතිඥ නියෝජනයක් නැතිව ගියොත් මොකක්ද වෙන්නෙ? එහෙම වුණොත් සිදුවෙන පළවෙනි දේ තමයි එතැන සාධාරණ නඩු විභාගයක් සිදුනොවෙන එක. එහෙම සාධාරණ නඩු විභාගයක් නැතිවෙන එකෙන් වෙන්න පුළුවන් දේ තමයි මිනිස්සු නීතිය තමන්ගෙ අතට අරගන්න එක. එහෙම වුණොත් සරල දික්කසාද නඩුවක් විසඳ ගන්නත් මිනිස්සු ගහමරා ගන්න තැනට පත්වෙන්න පුළුවන්. නීතිය මගින් දඬුවම් දීම වගේම වින්දිතයන් ආරක්ෂා කිරීමත්, යුක්තිය පසිඳලීමත් සමාජයකට අත්‍යවශ්‍ය වෙන්නෙ ඒ නිසයි. ඒ ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යන්න නම් නීතිඥ නියෝජනයක් අත්‍යවශ්‍යයි.

■  ඒත් මේ දිනවල විශාල කතාබහකට ලක්වෙලා තියෙන ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක සම්බන්ධ නඩුවට පෙනීසිටි නීතිඥවරුන්ට එරෙහිව ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කරනවා අපි දැක්කා. එවැනි තත්ත්වයකදී නීතිඥවරයෙකුට තියෙන රැකවරණය මොකක්ද?

එවැනි තත්ත්වයකදී නීතිඥවරයෙකුට පෞද්ගලිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග නැහැ. මොකද, නීතිඥවරුන් බොහොම තියුණු කොන්දේසිවලින් තමන්ගේ වෘත්තියට බැඳිල ඉන්නවා. ඒ නිසා නීතිඥවරයෙකුට අඩුම ගානෙ මාධ්‍ය ඉදිරියට ඇවිත් අධිකරණයේ විභාග වෙමින් තියෙන නඩුගැන ප්‍රකාශයක් කරන්නවත් බැහැ. තමන්ගේ සේවාදායකයා විසින් හෙළි කරන කරුණු ගැන ප්‍රකාශ කරන්න බැහැ. එහෙම නීතිඥවරයෙකුට සීමාකම් තිබුණත් අධිකරණයට හැකියාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. ඒකට හේතුව තමයි අධිකරණයෙන් විභාග වෙමින් තිබෙන නඩුවක් සම්බන්ධයෙන් තීරණ හෝ පූර්ව ප්‍රකාශ කිරීමට ජනතාවට හෝ මාධ්‍යයට අයිතියක් නොතිබීම. එවැනි නීතිමය වටපිටාවක් ඇති කරල තියෙන්නෙ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය තහවුරු කරන්න. ඒ නීතිය උල්ලංඝනය කරමින් යමෙක් කටයුතු කරනව නම් ඒක අධිකරණයට අපහාස කිරීමක් විදිහට සැලකීමේ හැකියාව අධිකරණයට තියෙනවා.

■  මෙවැනි තත්ත්වයකට මැදිහත් වෙන්න නීතිඥ සංගමයට තියෙන හැකියාව මොන වගේද?

නීතිඥ සංගමය මෙවැනි අවස්ථා සඳහා හොඳ මැදිහත්වීමක් කරනවා. විශේෂයෙන් ස්විස් තානාපති කාර්යාල නඩුවට පෙනීසිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ගැන නීතිඥ සංගමය පළමු අවස්ථාවේම ප්‍රකාශයක් නිකුත් කළා. ඒ වගේම පවතින නඩු විභාග සම්බන්ධයෙන් බලපෑම් සහගත ප්‍රකාශ කළ නීතිඥවරුන්ට විරුද්ධව යම් යම් විනය ක්‍රියාමාර්ග ගන්නත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පසුගිය මහා සභා වාරයෙදී තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම අපේ මේ කතා කරන ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීමට අදාළ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩු කටයුත්තක් නිසා නීතිඥ සංගමය ඉන් එහාට මැදිහත්වීමක් කරන්නෙ නැහැ.

■  මේ සියලු තත්ත්වයන් තිබියදී වුණත්, අද වෙනකොට මාධ්‍ය හරහා අධිකරණ කටයුතු පිළිබඳ අදහස් පළ කිරීම සිදු වෙනවා නේද?

ඔව්. මේ තත්ත්වය ලංකාවේ පමණක් නෙමෙයි, ලෝකය පුරාත් දිගින් දිගටම කතාබහට ලක් වුණු කාරණාවක්. ඒකෙදි මූලිකව කතාබහ වුණේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය භාවිතා කිරීම කියන පැත්තෙන්. ගොඩක් රටවල මාධ්‍යවේදීන්ට සිදු වුණා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීතිය නියාමනය කරන්න කියල. ඒ කියන්නෙ අදාළ නීතිය පනතකින් ගේන්න කියල. ඒකෙදි ඔවුන් බලාපොරොත්තු වුණේ මාධ්‍යයට තියෙන භාෂණයේ නිදහස අවහිර නොවෙන විදිහට අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිශ්චිත කරල, අධිකරණයෙන් අභිමතය සීමා කරන්න කියන එකයි. ඒත් දැනට ලංකාවේ ඒ විදිහට අධිකරණයට අපහාස කිරීමේ පනතක් නැහැ. දැනට නීතිය මගින් වර්ධනය වුණු අධිකරණයේ අභිමතය තමයි ඒකෙ සීමාව වෙන්නෙ. ඒත් ලංකාවේ අධිකරණය ඒ නීතිය බොහොම ප්‍රවේශමෙන් තමයි භාවිතා කරන්නෙ, මාධ්‍යයට තියෙන ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහසට බාධා නොවෙන විදිහට. ඒත් අද වෙනකොට මාධ්‍ය විසින් ඒ සදාචාර සීමාවන් සහ නීතිමය සීමාවන් ගැන කිසිදු තැකීමක් නොකර වාර්තාකරණයේ යෙදෙන බවක් පේන්න තියෙනවා. සමහර නඩු කටයුතුවලදි මාධ්‍ය විසින් ඔවුන්ට හිතවත් පාර්ශ්වයන්ට වාසිදායක වන අයුරින් ඒ පිළිබඳ වාර්තා කරනවා අපි දැකල තියෙනවා. ඒ විතරක් නෙමෙයි මාධ්‍ය ආයතන විසින් නියෝජනය කරන පාර්ශ්වයන්ට විරුද්ධ පාර්ශ්වයන් නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥවරුන් පසුකාලීනව එම මාධ්‍ය ආයතනවල ඉලක්ක බවට පත් වෙනවා. එවැනි තත්ත්වයක් තුළ, අධිකරණ තොරතුරු වාර්තා කිරීම යම් ව්‍යවස්ථාපිත නියාමනයක් සහිතව පවත්වාගෙන යා යුතු තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කළයුතු වෙන්නේ මාධ්‍ය විසින් සාධාරණ නඩු විභාගයක් සඳහා ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි.

■  මොකක්ද එතැනදි මාධ්‍යයට තියෙන කාර්යභාරය?

සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සම්බන්ධ කතිකාවත සමාජය තුළ ගොඩනැගෙන්නෙම මාධ්‍ය විසින් එය සමාජගත කරන ප්‍රමාණයට සාපේක්ෂවයි. ඒත් අද සමාජය තුළ එවැනි කතිකාවතක් නෙමෙයි තියෙන්නෙ. ඒකට හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ පශුවෛද්‍යවරියක් දූෂණයට ලක්කර, ඝාතනය කිරීම සම්බන්ධ සිදුවීමෙදී ලංකාවේ බහුතර මතය වුණේ පොලිසිය විසින් එහි චූදිතයන් මරා දැමීම හරි කියන එකයි. ඒ වගේම කාන්තාවන් ලිංගික අපහරණයට ලක් කරන්නන්ට මරණ දඬුවම දිය යුතුයි කියල මතයකුත් නිර්මාණය වෙනවා. ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවත් එවැනිම සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කරනව. ඒත් ඒකෙදි සමාජයේ බහුතර මතවාදය ඒකට විරුද්ධවයි තියෙන්නෙ. ඒ කියන්නෙ සමාජය තුළ මතවාදයන්ගේ පරස්පරයක් තියෙනවා. මේ කියන පරස්පරය නැති කරගන්න තමයි සාධාරණ නඩු විභාගයක් අවශ්‍ය වෙන්නෙ. එවැනි සාධාරණ නඩු විභාගයකින් යුක්තිය පසිඳලීම කියන කාර්යය වෙනුවෙන් පෙනී සිටින සමාජයක් නිර්මාණය කිරීමේදී මාධ්‍යයට විශාල වැඩකොටසක් තියෙනවා.

සංවාද සටහන – චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

fifteen + 20 =