Shyam Singha Roy බල්ටිය (පෑන පෙන්නා කඩුවෙන් කෙටීම)

16

මේ වෙනකොට ලංකාවෙ වගේම ඉන්දියාව ඇතුළෙත්, දකුණු ඉන්දීය සිනමාවට විශාල ජනප්‍රසාදයක් ඇති වෙලා තියනවා. චිත්‍රපට විචාරකයො බොලිවුඩ් චිත්‍රපටිවලට දරුණුවට පහර දෙන ගමන් මලයාලම් තෙලිගු චිත්‍රපට ගැන ඉතාම සොෆ්ට් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ට්‍රෙන්ඩ් එකක් හැදිල තියනවා. ප්‍රේක්ෂකයොත් බොලිවුඩය සහ බොලිවුඩ් තරුවල මහපොළොවෙ නැතිකමෙන් හෙම්බත් වෙලා වෙන්න ඇති, අනවශ්‍ය තරම් වෛරීය හැසිරීමකුත් පෙන්නනවා. මේක දකුණු ඉන්දියානු සිනමාවට ස්වර්ණමය යුගයක්. කොටින්ම එන ඕනෑම චිත්‍රපටියක් අවිචාරයෙන්ම වැළඳගන්න මට්ටමට ප්‍රේක්ෂකයා දකුණු ඉන්දීය සිනමාවෙන් අන්ධ වෙලා වගේ පේනවා.
ශ්‍යාම් සිංහා රෝයි කියන්නෙ, පෝස්ටර් එකක ඉඳලම විශාල ආකර්ෂණයක් ඇති වෙන චිත්‍රපටයක්. තදබල සවුත් ඉන්ඩියන් ෆෑන් කෙනෙක් නොවුණත් ඒකෙ පෝස්ටර් එකක්, සින්දුවක් දැක්කොත් ෆිල්ම් එක නොබල ඉන්න බැරි වෙනවා. ඒ තරමට හැම දර්ශනයක්ම ලස්සනයි. Cinematographyවලින් ඉතාම පොහොසත් චිත්‍රපටයක්. බන්සාලි මූවි එකකටත් වඩා ලස්සනයි කියන්න පුළුවන්.
හැබැයි ෆිල්ම් එක පටන් අරන් ටික වෙලාවකින්ම යම් කලකිරීමක් ඇති වුණා. අනවශ්‍ය rush එකක් පෙනුණා. මලයාලම්වල වගේ හෙමින් ගලාගන යෑමට වඩා දමිළ චිත්‍රපටිවලට සමාන, තෙලිගුවලටත් අනන්‍ය කලබල ගතිය සහ overdoing ගතිය තදින්ම දැනුණා. ඒත් අතාරින්න හිතුන්නෑ. ෆිල්ම් එක බලන්න හේතු වුණ පල්ලවී film එකට enter වෙනකල් බලාගන හිටියා. එතනින් එහාට ඉතින් ඇහැට මී පැණි වක්කරනව වගේ තමයි. සායි පල්ලවී කියන්නෙ කොතන හිටියත්, මොන චිත්‍රපටියෙ වුණත්, තමන්ටම අවධානෙ ඇදල බැඳල තියාගන්න කෙනෙක්. ඒක මාරම හැකියාවක්, වාසනාවක්. කසිකබල් චිත්‍රපටියක වුණත්, moral එකට එකඟ වෙන්න බැරි තැනක වුණත්, සීමිත දර්ශන ප්‍රමාණෙක හිටියත්, වීරයාගේ සහයිකාව චරිතය කළත්, පල්ලවී හිටිය නම් ඒ චිත්‍රපටියෙ මතක හිටින්නෙ, චිත්‍රපටිය හරි අනෙක් චරිත හරි වීරයා හරි නෙවෙයි, සායි පල්ලවී. මොන චරිතෙ කළත් හිතේ පතුලට කිඳා බහිනවා. ශ්‍යාම් සිංහා චිත්‍රපටියෙත් ලස්සනම දේ සායි. මනුස්සයෙක්ද goddess කෙනෙක්ද කියල හිතෙන තරම් ලස්සන නැටුම්. ඊළඟට ලස්සනම දේ cinematography. දිව්‍යලෝකයක් වගේ මනස්කාන්තයි.
හැබැයි කතාව ගැන ඇත්තටම “හයියෝ” feeling එකක් තමයි ඉතුරු වුණේ. ශ්‍යාම් කියන්නෙ ලේඛකයෙක්. කුලය, ලිංගිකත්වය වගේ discriminations පිටුදකින කරන කෙනෙක්. එයාම එක තැනකදි කියනවා, සාහිත්‍යයට තමයි ලෝකෙ වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම, සන්නද්ධ විප්ලවකාරීන් ඒ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඒගොල්ලො එක්ක එකතු වෙන්න කියල ශ්‍යාම්ට ආරාධනා කළාම ඔහු දෙන පිළිතුර තමයි, “එක උණ්ඩෙකට ගන්න පුළුවන් එක ජීවිතයයි. ඒත් අකුරුවලට ලක්ෂ ගණනක් මිනිස්සු වෙනස් කරන්න පුළුවන්,” කියන එක. ඒ වගේම ඔහු තමන්ව අදේවවාදියෙක් විධියටත් හඳුන්වගන්නවා. ආගමික උත්සවවලට සහභාගි නොවී ඉන්නවා. ආගමේ නාමෙන් මිනිස්සු අනුගමනය කරන මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් හාස්‍යයට ලක් කරනවා. අවි අයුධත් ප්‍රතික්ෂේප කරනවා. ඒත් දෙබස්වලින් එහෙම ගොඩනගන චරිතය, practically මුල ඉඳන්ම, චිත්‍රපටිය පුරාම හැම අවස්ථාවකම, දිනන්නෙ පෑනකින් හෝ ලිවීමකින් නෙවෙයි, අතින් පයින් සහ ආයුධවලින්. පහරදීම්වලින්, මිනී මැරුම්වලින්. ඒ වගේම කතාවෙ තියෙන්නෙ ඔහුගෙ පුනරුප්පත්තියක් ගැන.
කලා කෘතියක් යථාර්ථවාදී වෙන්න ඕනෙ හරි අවිහිංසාවාදී වෙන්න ඕන හරි කියල දෙයක් නෑ. නිර්මාණකරුවෙකුට නිදහස තියනවා තමන්ගෙ නිර්මාණෙ ඇතුළෙ ඕනෑම දෙයක් ගොඩනගන්න, විනාශ කරන්න, තමන්ට අවශ්‍ය විධියට චරිත හසුරුවන්න. රියලිස්ටික් වෙන්න හෝ ෆැන්ටසියක් ගොඩනගන්න නිර්මාණකරුවෙකුට පූර්ණ නිදහස, අයිතිය තියනවා. ඒක රසවින්දනයට බාධාවක් නෙවෙයි. ආනන්දයෙන් ප්‍රඥාවට කියන ගතානුගතික අපේක්ෂාවට බාධාවකුත් නෙවෙයි. හැබැයි, නිර්මාණයක් ඇතුළෙ උඩුපෙළින් එකක් කියන ගමන් යටි පෙළින් වෙන දෙයක් පෙන්නනව නම්, නිර්මාණකාරයට තහවුරු කරන්න ඕන වෙලා තියෙන්නෙ යටි පෙළේ තියන දේ. ඒකත් ප්‍රශ්නයක් නෙවේ. නමුත් ඒක යුක්තිසහගතව නොකළොත්, ප්‍රේක්ෂකයො වික්ෂිප්ත වෙන්න හෝ කලකිරෙන්න ඉඩ තියනවා.
මිත්‍යාව ප්‍රතික්ෂේප කරනවා යැයි කියන මිනිහාම මරා ඉපැද්දවීමෙන්,
“මම ආයුධ අතට ගන්නෑ, ලිවීමෙන්ම මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරනවා,” යැයි කියූ මිනිහාටම ජීවිතේ හැම සටනක්ම අතින් පයින් දිනන්න සිද්ධ කරවීමෙන්,
හැම අසාධාරණ අවස්ථාවකටම එරෙහිව පෑන වෙනුවට තමන්ගෙ ශරීර ශක්තිය පාවිච්චි කරන්න සිද්ධ කරවීමෙනුත් නොනැවතී, සාහසික ඝාතයෙක් බවටත් පත් කිරීමෙන්,
ඒ මිනිහාගේ වටිනාකම නැත්‍තම් විශේෂත්වය යැයි හැඳින්වූ ගුණයම, turning point එකකුත් නැතිවම අහෝසි කිරීමෙන්,
අහෝසි කිරීමකටත් වඩා, දෙබස්වලින් එකක් ගොඩනගන ගමන් භෞතිකව ඒකෙ පරස්පරය ස්ථාපිත කිරීමෙන්,
ඔහු තෝරාගන්නවා යැයි කියූ මාර්ගයේ අඩියක්වත් නොපෙන්නා, ඊට සම්පූර්ණෙන් ප්‍රතිවිරුද්ධ, ඔහුම වාචිකව ප්‍රතික්ෂේප කළ මාර්ගයේම වීරත්වයක් ආරෝපණය කිරීමෙන්,
සවිඥානික නරඹන්නෙකුගෙ ඇඟ කිළිපොලා යන්න පුළුවන්.
මොකක්ද මේ චිත්‍රපටියෙන් කියන්න උත්සාහ කළේ?
පොර ටෝක්ස් දුන්නට සාහිත්‍යයට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ, මැරීමෙන් කැපීමෙන් මිස survive වෙන්න බෑ, යුක්තිය ඉෂ්ඨ කරගන්න බෑ කියන එක?
“මම මිත්‍යාව ප්‍රතික්ෂේප කරනවා,” කිව්වට, අන්තිමට මැරිල ඉපදිලා තමයි තමන්ගෙ පහුගිය ආත්මෙට සැනසීමක් ලබාගන්න පුළුවන් වෙන්නෙ කියන එක?
අන්න ඒ ප්‍රශ්නෙ ඇතුළෙ මෙච්චර ලස්සනට නිර්මාණය කරපු සිනමා රූප විහිළුවට ලක් වුණා වගේ නිස්සාර හැඟීමක් ඉතුරු වුණා.
මේ චිත්‍රපටිය ගැන ඒ විදියෙ විවේචනයක් දකින්න නොලැබුණේ හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්.
එකක් මේ වෙලාවෙ දකුණු ඉන්දියාව පැත්තට ගහගන යන රැල්ල. මොනව හැදුවත් මිනිස්සු දොහොත් මුදුන් දීල පිළිගන්න වාතාවරණයක් තියෙන්නෙ. බොලිවුඩ්වල මේක කරා නම් සෑහෙන්න පතුරු ගහයි. අනිත් එක මේ සිනමාපට නරඹන ප්‍රේක්ෂක පිරිස තවමත් දකුණු ආසියාතිකයි. ස්වර්ණමය යුගයක් මලයාලම් සහ තෙලිගු සිනමාවට උදා වෙලා තිබුණත්, ඒ සිනමාව තවම දකුණු ආසියාවෙන් එහා ලෝකෙ ආක්‍රමණය කරල නෑ. දකුණු ආසියානු බහුතරය තවම ඉන්නෙ මේ හෝද හෝද මඩේ දාන මිත්‍යාව හරි, සිනමා කෘතියක හීන් නූලෙන් නෑ නෑ කියමින් යළි ස්ථාපිත කරන ප්‍රාථමික දේවල් හරි, ප්‍රශ්න කරන තැනක නෙවෙයි. එහෙම කියවීමක් තියන ඕඩියන්ස් එකකට මේ සිනමාපටය ගියා නම්, මේ දකින්න ලැබෙන ප්‍රශස්තිවලට වඩා ගොඩක් දේවල් මේක ගැන කියන්න, අහන්න, තියෙන්න තිබුණා. කොහොම වුණත් බැලුවට පාඩු නැති චිත්‍රපටියක්. එච්චරට ලස්සනයි, සිනමාත්මකයි.

– අනුරාධා තිඹිරියාගම
Previous articleආණ්ඩුව වට්ටන්නේ පිටතින් නොව ඇතුළෙන්මය!
Next article‘තෙත් ඉමක පිපුණ කවි’ – රේණුකා තලතා කුමාරි ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here