චිරන්තන කවිබසින් සුපෝෂිත, ‘ත්‍රිවේණි සංගමම්’

17
: ඉවසුම් කාලය :
ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ නිර්මාණ අප පළමුව කියැවූයේ බූන්දියෙනි. පසුව පොතෙනි, අනතුරුව මුහුණුපොතෙනි. කෙසේ හෝ ඈ ‘සඳ මුදුව මැවෙන්නැති’ කාව්‍ය සංග්‍රහය පළ කර, සිය දෙවන කවි නිකුතුව, ‘ත්‍රිවේණි සංගමම්’ පළකිරීමට ඉක්මන් නොවෙයි. ඈ ඒ සඳහා වසර අටක කාලයක් ඉවසයි ; මේ ඉවසීම් කාලය ඇය තත් විශයෙහි වඩාත් තත්පර වන්නට යොදා ගනී ; ලියූ සියල්ල එලෙසින් පොතට නොගනී ; ඒවා යලි යලි සංස්කරණය කරයි ; එක් තේමාවකට අසුරයි ; ඒ කෙරෙහි ම ඇලී සිටී. කිසියම් නිර්මාණකරුවෙකුගේ කවියක්, කතාවක්, කියැවූවිට ඔහු/ ඇය කෙතරම් කියවා ඇත්ද, ඒවා පණ ලබන යුගය කුමක්ද, පසුබිම කුමක්ද, හදාරා ඇත්ද, ඒ අරා කොතෙක් කලක් සිට ඇත්ද, ඇසූ පිරූ තැන් ඇත්තෙක්ද යන මේ සියල්ල අවධානයෙන් කියවන්නාට වැටහෙයි. තමා විසින් තමාව ම ප්‍රචාරය කරනු වෙනුවට, තම නිර්මාණයට එම කාර්යය බාරදෙන්නෝ දුලබ ය. එබැවින්, තම නිර්මාණයට මහන්සි වන, ඒ මහන්සිය වැඩදායි ලෙස ඇයට ම ලැබෙන ලකුණක් මේ කව් කෙරෙන් පෙනේ.

සැකැස්ම :

‘ත්‍රිවේණි සංගමම්’ එකිනෙක බැඳතබන ලද ව්‍රතයන්ගෙන් සැකැසුණු කාව්‍ය ආවලියකි. චිරන්තන සිංහල පද්‍ය සාහිත්‍යයේ සහ භාරත සංස්කෘත සාහිත්‍යයේ එන කාව්‍ය ඇසුරින් පෝෂණය ලැබූ යම් සංවිධානාත්මක බවක් එහි වෙයි. ඈ කාව්‍ය පන්තීන් පුරා, සෘතු විපර්යාස, භාව විරේචන, පුර – දන – මග – වැනුම් බහාලයි.
ගංගා සහ යමුනා එක්වන තැන උපදින අදිසි ත්‍රිවේණිය, රසභෝගී දෙදෙනෙකුගේ සම්භෝගය සංඛේතවත් කරයි. අනතුරුව, උපතේ සිට මරණය දක්වා වූ අවධි – සංසිද්ධි – පසුබිම් ඇසුරේ කවි අතුරයි. මේ ව්‍රත බහුතරය කාන්තා දෘෂ්ටියෙන් ලියැවී ඇති නිසා, සරෝජිනී නායිදුගේ “සන්නාලියනේ” සේ, ළඳකගේ දිවියේ ඇරඹුමේ සිට අවසන දක්වා වූ කතාවක් කවි කර ඇතැයි සිතීමට පුලුවන. එක් ව්‍රතයකින් තවෙකකට පනින කල, මැවෙන රස වෙනස් වෙයි. ඇතැම් ව්‍රතයක දී ඈ දැඩි වෙයි. අනෙකක දී කෝමල වෙයි. තවෙකක දී සිනමාරූපී වෙයි. කාලිදාසගේ ‘සෘතු සංහාරය’ සේ ය. දිවි සෘතුවෙනස් කරමින් කවිසැරියේ යයි. නමුත් ඇතැම් ව්‍රතයක වාර්තා බව පෙනේ. ස්වභාවෝක්තියට මුල් තැන දුන් නිසා විය හැකි ය.
‘ත්‍රිවේණි සංගමම්’ කෘතිය ම ඒ ආකෘතිය දරද්දී, ඒ තුළ අනු ආකෘතියක් ද වෙයි. එය ප්‍රබන්ධය ඇතුළේ ඇති පාර ප්‍රබන්ධයක් මෙනි. එය නම්, ‘ගමන් ව්‍රතය’යි. මෙය, සංදේශ කාව්‍යයක ‘මග වැනුම්’ සිහිකරවයි. නගර විස්සක් එහිදී කෙටි වැනුමකට ලක් වෙයි. දුම්රියක යන අතරතුර ස්ටේසමක් ගානේ පෙනෙන නගර නාම පුවරු කියවන්නාට ද දිස්වෙන්නාක් මෙනි. “ඩක ඩකස් ඩක ඩකස්” රිද්මය ඇසෙන්නාක් මෙනි. සමස්ත කෘතියෙන් මා ප්‍රියකරන ම ව්‍රතය ද එය ය.

“ගිල ගිල විසිකරයි
වෙහෙස වගුරන සාරි කලිසම්
බේරෙන් මෙපිටට
කොල්ලුපිටියෙන් එපිටට
කොටුව”
බස :

ධනුෂ්කා නිශාදි භාෂා කප්පිත්තෙකි. ඈ කවිය අතට ගත් තැනදී ඒවා උල්පතකින් මෙන් උනන්නට ගනී. එබැවින්, එක්තැන කරකැවෙමින්, එකම දෙය යලි යලි කියමින්, කවියට අයිසිං ගාමින්, අනවශ්‍ය අකුරකුදු යොදමින්, ආයාසයෙන් කවිකම් මවන්නට ඇයට වුවමනා නොවේ. මධුර අකුරු, කොමළ අකුරු, කඨොර අකුරු මොනවාදැයි ඈ දනී. මධුර අකුරු යෙදිය යුතු තැනට කඨොර අකුරක් යොදා මුළු කවිය කාබාසිනියා කර නොගන්නට ඈ සමත් ය.
සංස්කෘත, මිශ්‍ර සිංහල පද මුසු ‘කුමර ව්‍රතය’ බැංගලෝරයේ කර්ණාභරණ පැළඳි තරුණයන් ගැන ය. ධනුෂ්කා, මුළු බැංගලෝරය ම ඔසොවා ලංකාවේ තැබුවාක් වැන්න. සම්භාව්‍ය බසකින් පොහොසත්; මේ කව, රසවත්!
“සුවණ්ණ කුණ්ඩල
බැන්ගලෝර ඇකඩමියාව
උත්තර ප්‍රාන්ත තිළිණය
සිනා වගාවකින් වෑහෙන
මුව මී මදිරාව ඔබ
නටවා නිල් දෙබැම
ශ්වේතයට හැරවෙයි මුව
පෙනී නොපෙනී සැඟවෙයි
ජවි වණ්ණ කනක කුණ්ඩල”
ආරියවංශ රණවීර ‘සංස්කෘතිය හා ගොඩ්සිලාකරණය’ කෘතියේ ලිපියක දී කව් බස ගැන බටහිර කවියෙකුගේ සඳහනක් උපුටා දක්වමින් පවසන දෙය මෙහි ලා සිහි වේ. එම උපුටනය මතු දැක්වේ.
“රොබට් ෆ්‍රොස්ට් කවියා වරෙක කීවේ ‘වචන – පුදුම එළවන දෙයකි – (ඒවා සතු) සැඟවුණු දිවවල් දහසකි. ඒවා බෙනවීම හරි අපහසු ය’ කියා ය. ඇත්තෙන් ම කවියාගේ කාර්යය විය යුත්තේ වෙන අනෙකක් නොව, මේ අපහසු කාර්යය භාරගෙන, වචනය විසින් සිය මුව තුළ සඟවා වසාගෙන ඇති දිවවල් දහස ම බෙනවීම ය.”
ධනුෂ්කාට මේ දිවවල් දහස හිමි බැවින් ඇගේ ලලිත වාග්කොසුව, එහි ඵල ලබයි. මේ බස සීගිරි ගීයෙන් ද, හටන් කවියෙන් ද, සංදේශ කවියෙන් ද, ප්‍රශස්ති කවියෙන් ද, ජාතක කවියෙන් ද, රති කවියෙන් ද, මහා කාව්‍ය – චූල කාව්‍ය – වීර කාව්‍ය – ඛණ්ඩ කාව්‍ය ආදියෙන් ද, අධ්‍යතන කවියෙන් ද, නූතන කවියෙන් ද පෝෂණය වූවකි. ඒවායේ මුදුන් මුල් පොළොවට දුවයි. ගීත ගෝවින්දය, මේඝ දූතය, සෘතු සංහාරය සහ තවත් භාරත කව්ලකුණු ද වෑහේ. හයිකු කවියක, එලියට්ගේ කවියක, චීන කවියක සියුම් මාත්‍රාවන් ද මෙහි හමු වේ. අත දිගහැර බස හතර අත ඇය නොබියව වණනුයේ එබැවිනි. ‘සාහිත්‍ය නිර්මාණකරුවෙකු සාර්ථකවන්නේ, සම්ප්‍රදායික සාහිත්‍ය ග්‍රන්ථත්, විදෙස් සාහිත්‍ය ග්‍රන්ථත් යන දෙක ම, (පෙරපර දෙදිග) ඇසුරුකිරීමෙනැයි සුචරිත ගම්ලත් කී ලිපියක් වරෙක කියැවූවා මතක ය.
“රළු පරළුව එන ජල කඳ බල නැසුව
බැමි බැඳ කෙත් සරු කළ ගොවිදුන් විසුව
තනි පියසකි සුලු නුවරක දුක ඇසුව
නම පවසමි ඉස්ටේසම දාරළුව”
(ගමන් ව්‍රතය)

මේ කවේ මුල් පෙළේ එන ‘ළු’ කාරය, සන්දේශ කාව්‍යයන්හි ‘ල’ කාරය අනුප්‍රාසයව යොදමින් ලියු, ‘දොළ දොළ හුරූ මුළු පළ කළ පබල දළ’ / ‘වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙස උලෙළ’ වැනි කව්පද හා නෑකමක් පෙනේ. ධනුෂ්කාගේ බස බණ්ඩක්කා මෙනි. කටට ගත් සැනින් තල්ලු කිරීමක් නැතිවම ලිස්සා යයි. එසේ යනුයේ, බස වඩාගත් බසක් නිසාය.
සුගායනීය බව :

කවිය රිද්මයක් ඉල්ලයි. මුද්‍රණ යන්ත්‍ර ඒමට පෙර කවි කියූවේ ගැයිය හැකි ලෙසිනි. එබැවින් ඒවා මධුර ගැයුමක් ඉල්ලා සිටියේය. අර්ථ රස මෙන් ම ශබ්ද රස ද කවියට අවැසිය. මේ දෙක ම යෙදීම අනිවාර්ය නැතත් යම් රිද්මයක්, කවියක යෙදේ. ‘ත්‍රිවේණි සංගමම්’හිදී කවි සුගායනීය වෙයි, සුඛෝච්චාරණයක් වෙයි. දත කට වසා සිතින් මුමුණනන්නට නොව, උචිත රිද්මයක් යොදා කටපුරා ගයන්නට පුලුවන.
“සාමිනි අප ග්‍රෙගරි ඉතින
අසා මෙ අප බස කුලුණින
ආ ගිය වගතුග සිහිකර
ගයනු මැනව සොව කව කර”
(වාපි ව්‍රතය)
මේ කව ඉක්මන්, ප්‍රීති රිද්මයක් අයැදියි. මේ රිද්මය ම ‘රුද්‍ර’ ව්‍රතයේත් වෙයි. ගජමන්-ඇලපාත දෙදෙනගේ කවි බස ‘වාපි’ ව්‍රතයේ කව් බසට අනුලෝමව සමානුපාත වේ.
“ගනඳුර නළවා වොරැඳෙන – එළි තිතකට සමව දිලෙන
දියෙහි ගිලෙනු ඇතිය එ’ළඳ – ළා සඳ අඳුරේ දියකර”
(මිත්‍ර ව්‍රතය)
මේවා, ගුණදාස අමරසේකරගේ හද බසෙහි කවි මෙන් සාම්ප්‍රදායික නාද රටාවන්ට අනුව, බෙර හඬට අනුව ගැයිය හැකිය. බොන් සම්මුතිය ගැන කියන්නට ‘අන්ත්‍ර’ ව්‍රතයෙන් සිතියම්ගත නොරට වෙත ඇදෙන ධනුෂ්කා ඒ ඒ නම් ගොත් අඹන අයුරු බලන්න.
“බිසිනා විලට
වොල්ග ඩෙල්ටාවට
ධ්‍රැව වලස් කලාපෙන්
රියෝ යාටාවට
ඔසිනියා බිම තෙත දුන්
ලැවිනියා රක්ෂිතයට”
ඈ එළිවැටෙන්, අනුප්‍රාසෙන් ප්‍රයෝජන ගනී.

“බජිරි කුඩමැට්ටා
පෙරළා පසෙන් වට්ටා
නොහැක දමනට දොට්ටා”
(පුත්‍ර ව්‍රතය)
“ලුණු මුහුව
මුණු මුණුව නොනවතා නගන
මහ මුහුද
පෙනෙන නොපෙනෙන දුරක”
(ජවන ව්‍රතය)
වාග් චිත්‍ර : චිත්ත රූප :

කවියට චමත්කාරයක් එක් කරන, දීපකයක්ව ඊට එළිය දෙන, වචනයක්, පැදියක් බොහෝ ව්‍රතවල හමුවෙයි. ඒවා චිත්ත රූප මැවීමට දායක වෙයි. “චිත්ත රූපයක් යනු නියං අහසක හදිසියේ කෙටෙන විදුලියක් වැනි සංවේදනාත්මක අත්දැකීමකැ”යි රණවීර පෙර කී ලිපියෙන් කියයි. මේ චිත්ත රූප බහු අරුත් උත්පාදනයට දායක වෙයි.
“කැරන්කොකු බීජාණු
කෝන්තාලන් මල් රේණු
කරු මුල් කයිරු මුල් රඳවා
ඈ වෙනුවෙන් ම කළ සයනේ
දිරා යයි මහ වගුරේ”
(උදම් ව්‍රතය)
බීජාණු – මල් රේණු ධ්වනිතාර්ථ නංවන්නකි. ඒ සම්භෝග ඇරඹුම ය. උද්භිත ලෝකයේ පුෂ්පයක පුම තිරි අංග ය. එකවර වාග්චිත්‍ර දෙකක් මැවේ. කඩොලාන කැලයක, වගුරක ය ප්‍රේමය උපන්නේ, හැදී වැඩෙන්නේ, රමන්නේ. මේ පරිකල්පනය අපූර්ව නොවේද ? කෝපි බොන අවන්හල්වල ආයාසෙන් මවන ප්‍රේම කවිවලට වඩා රසක්, මඩ වැකුණු කඩොලාන බිමෙන් ඇඟ තැවරෙයි. ප්‍රේමයේ සැටි එසේ ය. පරිසරයෙන් වුවමනා පමණට ඈ උද්දීපන විභාව වඩවයි. ආලය කේන්ද්‍ර කරගත් ‘ප්‍රේම ව්‍රතය’ ද නූතන කව්බසෙහි ලා ගෙන එන හෘදගෝචර නිමැවුමකි.
“සීයාගෙ සුළැඟිල්ල” මිත්‍තණියට පැණසර දීමෙහි සංඛේතයකි. කුමක්දෝ දෙයක් නිසා එය මට සිහි කළේ මහෞෂධ පඬිතුමා උපදිනවිට ගෙනා සඳුන් ලීය යි. විදුලිය යන හැමවරක ම සයිමන් සීයා පොඩි ළමයින්ට සිනාසෙමින් කවි කියාදුන් සැටි කියන්නට ඈ ‘පොඩි චිමිනි’ එළියට ගනී. ඉතින් අන්ධකාරයේ වුව, චිත්ත රූප නොඇඳේ ද?

“කවි කියනවිට අඬ සඳ
පොඩි චිමිනි තුන හතරට”
(හසිත ව්‍රතය)
තව කවි :

‘ත්‍රිවේණි සංගමම්’ හි පොදුවේ දැකිය හැකි ලක්ෂණය නම්, කිවිඳිය පෙරදිග, සංස්කෘත, චිරන්තන කාව්‍ය වෙත දරන ලැදියාවයි, නැමියාවයි. ඒ පරිසරය, වටාපිටාව, කාව්‍යෝක්ති, බස රිද්ම ඈ ප්‍රියකරන්නේ යම් සේ ද ඈට ම උචිත නිමැවුමක් බිහිකිරීමට ද සමත් වෙයි. හුදෙක් නූතන කවි ම නොහදාරා, අතට අසුවන සියල්ල පඨනය කිරීමේ ලකුණ මේ පොතෙන් පෙනේ. එබැවින් අංකුර කවියන්ට, නූතන කවියන්ට සේ ම, කවි පොත් තුන හතර පළ කළ කවියන්ට වුවද ඇගෙන් උගෙනුමට දෑ තිබේ.
ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යය, ‘ඔෆීලියා’ ගැන ලියා ඇති කවියේ, මාතෘකාව නැති වූයේ නම්, එය ඔෆීලියා ගැනය කියා නොසිතෙන තරමට ඇය කවිය දේශීයකරණයට ලක් කර ඇත. ඈ ඔෆීලියාව ඔසොවා ගෙනවුත්, කිඳුරු ජාතකේ තබයි; ජද්දන්ත ජාතකේ තබයි ; සුර අසුරයන් මැද තබයි ; තබා ඈ ගැන සොව කියයි.
“අදත් අත් අතහැරුණු ගමනක
ළපැටි මතකය පාරවා
සදත් ඇත් සත් කුලේ මිතුරිය
යළිත් ඔබ හිත හීරුවා”
(මිත්‍ර ව්‍රතය)
සේකරගේ ‘දෑතේ කරගැට සිඹ සනසන්නට ලා ගොයමේ දලු පවන් සලයි’ සිහිවන, ගිලන් වූවෙකුට පණ දෙන, කව්පෙළක් මෙහි වෙයි. ගිලන් වූ සිත සුවපත් කිරීමේ ජීවගුණය මේ කව් බස සතුය. ‘වාසනා’ ය. කියැවූ පමාවෙන් ඔබට ද පණ ලැබෙයි.
“ලෙහී යන විට ලවන් අගුලින්
චුම්භනය වාසනා
මිදී පපු ගැබ රෑහි සුව දෙන
සොඳුරු දුක වාසනා”
(සප්‍රාණ ව්‍රතය)
(කොරෝනා ආසාදිතව සිටියදී මා මෙහි ව්‍රත තුනක් කියැවීමි. ගිලන් ව්‍රතය – භෂ්න ව්‍රතය සහ ශෝක ව්‍රතය ය ඒ. සප්‍රාණ ව්‍රතය කියැවූවා නම්, හිටියාට වැඩි පණක් ලැබෙනු ඇත) ජීවිතය ගැන පරිපාකයට පත් හෝ මධ්‍යස්ථ අදහසක් ගෙනෙන කවි ද වෙයි.
“මිතුරේ
ඔබ අවට
වට විසල් බිම් තීරු බොහොමයි
ජීවිතය යැයි ඔබ කියන්නේ එයටයි
කිසිවෙකුත් නම නොදන්නා දෙයටයි”
(වණික් ව්‍රතය)
දිය සීරාවකින් උනන සිහිල ධනුෂ්කා නිෂාදිගේ කවියේ ඇත. කවි මතු නොව, ඇගේ නිරහංකාර කව් පැවැත්ම දෙස අපි බලා සිටිමු. ඒවායින් අපිදු කුහුඹුන් සේ පෝෂණය ලබමු. ඇය සිය ප්‍රතිභා ශක්තියෙන්, පරිකල්පනයෙන් තව තව පල ලැබිය යුතුය.
– ඩිල්ශානි චතුරිකා දාබරේ
ත්‍රිවේණි සංගමම්’ : ධනුෂ්කා නිෂාදි කුලරත්න
සයුර ප්‍රකාශන

Previous articleදිනෙන් දින කොවිඩ් මරණ(26) සහ ආසාදිතයින් සංඛ්‍යාව(1,298) ඉහළ යයි
Next articleපූටින් යුක්‍රේනය අල්ලා ගනීද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here