සුනන්ද කරුණාරත්නගේ ‘පැහැනද පහන්’

139

සුනන්ද කරුණාරත්න ගේ පුනරාගමනය පැහැනද පහන් යනුවෙන් සටහන්ව තිබේ. මේ ඔහුගේ තෙවන කවි එකතුවයි. 2010 වසරේ දූවිලි මිනිසා කැටුව ආ සුනන්ද සිය දෙවන කවි එකතුව නිකුත් කරනුයේ ‘කන්‍යා දියවරට එළඹ’ යනුවෙනි. ඒ 2012 වසරේදීය. දැන් ඔහු පැහැනද පහන් දල්වනුයේ ඉන් වසර නමයකට පසුව 2021 වසරේදීය.
පැහැනද පහන්හී කවි පහන් 30 කි. ඒ එකිනෙක පහනෙහි එළියෙහි ඇත්තේ විවිධ වූ ආලේක දහරාවන්ය. ඇතැම් පහනක් සුදීප්තිමත්ව බැබලෙන විට තවෙකකින් නික්මෙනුයේ සාමාන්යි ආලෝකයකි. තවත් පහනෙක තෙල් මදි බවක් හැඟෙයි. එහෙත් ඒ සෑම පහනකින්ම පාඨකයා හට ලැබිය හැකි ආලෝකය වෙනස් ය.
පැහැනද පහන් පුරා දැල්වෙන අතැම් ආලෝක දහරාවක් අතීතය කරා යන ගමනකි. ඒ ගමන සිය ළමාවියෙහි අත්දැකීම හා සමපාත වන වත්මන් දරුවන්ගේ අත්දැකීම් හරහා ජීවිතය දෙස කාංසිය මුසු බැල්මක් හෙලීමකි. ඒ අතරම එය ජීවිතයෙහි ස්වභාවයද දකින්නට දරන තැතකි. කඩදාසි ඔරු එවන් කවියකි. සිය පුතු කඩදාසි ඔරු තනා දෙන්නැයි කරන ඇවිටිල්ල හරහා පියා තම ළමාවියට එළඹෙයි. එහෙත් වත්මනෙහි ඇති බරබද්දල් මැද කඩදාසි ඔරුවක් තැනීම පවා අමතකව ගිය දෙයකි. එහෙත් ඒ සමගම ඔහු සිත අතීත වැසි දිනක් කරා අවදි වෙයි. ඒ ඔහු සිය ළමාවිය සොයා යන චාරිකවෙහි ඇරඹුමයි. ඉදින් පියා පුතගේ ඇවිටිල්ල හරහා සිය ළමා විය සොයා යයි.

එකල මහ වැසි වැටුණ දවසක
මිදුල සයුරක් මැවූ උදයක
නෙක කොදෙව් හා මහා දීපද
දික්විජය කරන මෙන් අණවා
පා කළෙමි මා සිඟිති ඔරු පෙල

එහෙත් ඒ කිසි දිනෙක ජයෙන් කෙලවර වූවක් නොවේ. වැසි දිය සැමවිටම ඔරුව ගිල්වා ලයි.නමුදු ඒ ඔරු දියත් කිරීම හරහා ළමා සිත තුළ ඇතිවන පරිකල්පනීය ලෝකය අමිලය. ළමයා තුළ දැල්වෙන මේ පැරිකල්පනීය ලොකය යනු අනාගත නිමැවුම්කරුවකුගේ ඇරඹුමකි. තම දරුවාද තමා මෙන්ම පරාජය පිලිනොගෙන නව නිම් වළලු සොයන්නට දරන තැත දෙස පියා බලා සිටිනුයේ සෙනෙහස මෙන්ම තමන්වම යළි සොයා ගන්නා අවබෝධයකින්ද යුතුවය. ඒ ආනන්දයේ මොහොතකි.

එහෙත් පතමින් අලුත් ඔරුවක්
සොයා යන මෙන් අලුත් මුහුදක්
මෙන්න දැන් මෙහි අලුත් නැවියෙක්
දිගෙන නෙතැතිව තිරව සිටගත්

ධීවරී ගිතය යනු අයිත්මාතොව්ගේ අම්මා සහ මිහිකත සිහගන්වන කවියකි. වෙරළට පැමිණ සයුර හා සංවාදයේ යෙදෙන ධීවරියකි. ඇගේ ජීවන පැස හිස්ව ගොසිනි. ඇය ආදර කළ සියල්ලෝම ඇය ගෙන් උදුරාගෙන හමාරය. ඔවුන් සියල්ලටම වෙරළ යනු නික්ම යාමේ තොට පමණි. ඉන් නිකම් ගිය ඔවුන් සයුරැ ගැබෙහි සැඟව ගොසිනි. කවියා මේ ධීවර කත සහ සමුදුර එකිනෙක සම්මුඛ කර දිගු ජීවන අන්දරයක් දිග හරියි. ඒ සතුට සහ දුක එකට මුසුවූ අන්දරයකි.

කිරි කවඩි සිනාරැළි මැවූයෙමි නුඹ වෙතම
ඔරු බඳට කොල්ලෑව වීමි මේ වෙරළසම
ඒ ඔරුව නුඹ වෙතින් යළි නොආදා සිටම
කැදැළි රැකි ළිහිණියෙමි හැපී නුඹෙ රළ මතම

පැටි වියෙහි පටන් සිය ජීවිතයේ සෑම අවධියක්ම ගෙවී ගිය අයුර කවියා නිමවන ආකාරය අපූරැය. ධීවරියගේ උපතේ සිට සියළු අවස්ථා යනු සමුදුර වෙරළ හා බැඳුනකි. ඇය ළමා විය ගෙවන්නේත්, විවා දිවියට එළඹෙන්නේත් වියෝගයේ සොව අත්විඳින්නේත් වෙරළ මතමය.
හයිඩ් පාක් හී මහා නුගය යනු පරිසර සාධක සමගින් වාණිජ ලෝකය අප මත කඩා පනිනා ආකාරය විනිවිදින්නට තැත් දැරීමකි. සෑම දෙයකටම මිලක් නියම වන වර්තමානයෙහි ස්වභාවය කවියා ගෙනහැර දක්වයි. ගමේ රසට චයිනීස් අගෙවි කරන අවන්හල්, කුස්සිය, සාලය, බිතක්කනය පවා ආහාර වෙළඳ පලෙහි සන්නාම වන තැනක අපේ ජීවිතය යනු වෙළඳ දැලෙක පැටළුණු මකුළු කෘමි දිවියකි.

කඩි ගුලක් සරි පුර මැද
අනවරත රිය වැල අස
නුබ නැගි ටවර පාමුල
නුග සෙවන- නුග ගම
නුග කැෆේ- මහ නුග ගාඩ්න්ස්
මෙසියල් නුග අතර
තොප තවත් පුර අලංකරණෙකි

කලෙක විසල් තුරක් වූ නුගය ඒ අස ඉදිවන අහස සිඹිනා මහල් ගොඩනැගිලි හමුවේ කුරුමිට්ටෙකුව යයි. එහෙත් අද ඊට වටිනාකමක් හිමිය. ඒ පහනක් දල්වනු පිණිස නොවේ. එය අද වෙළඳ නාමයකි.
කලකට පසු මහ ගෙදර පැමිණ යන කවියද අපේ ජීවිත සහ මහ ගෙදර යන චිත්ත රූපය සමග වන බැඳීම මෙන්ම එය කාලයත් සමග නෙස් වන ආකාරය දකින්නට තැත් දැරීමකි. මහ ගෙදර යනු කවරකුට වුව ජීවිතයේ අමිල සිහිවටනයකි. එය පැලක් වුව මහ මැදුරක් වුව මහ ගෙදරමය. මහ ගෙදර යනු හුදු භෞතික දේපලක් නොව සංකල්ප සමූහයකි. හැඟුම් කන්දකි. එහෙත් අප දිවියෙහි සැතපුම් ගණන් පසු කර වියපත්බව කරා ඇදෙන විට මහගෙදර වෙනස් වෙයි. නැත මහ ගෙදර නමින් අප තුළ වන සිත්තම වෙනස් වෙයි. එය භෞතිකව මෙන්ම මානසිකවද වන වෙනස්වීමකි. එහි සිටි අය නික්ම දසත යද්දී තවත් අලුත් අය එහි පැමිණෙති. ඒ සමග වෙනස්කම් හට ගනී.

මහගෙදර මිදුලෙහි
පැරණි තුරු ගොමු ඉඩ දෙයි
අලුත සිටවූ මල් ගොමුවලට
සුළඟින් අහස ගත පත්
ඒ මේ අත පලා යත
දැන් මහ ගෙදර අහසද
නොනගයි කැලුම් පෙර ලෙද

අරුණට පෙර නමින් එන කවිය කුටුම්භ දිවිය දෙස හෙලන නිවුණු බැල්මකැයි හැඟේ. ඒ දිවියෙහි සියළු බර බද්දල් බර දරාගෙන වුව ජීවිතය දෙස ඉවසීහෙමන් බලන්නට පෙළඹෙනා මොහොතකි. එය ශෝකය, විඳීම, විඳවීම, හිමිවීම අහිමිවීම මෙන්ම ජීවිතයෙහි පදම්වීමද නිරූපණය වන කවකි.
කෙසේ වෙතත් කකුල කැඩුනු ගොනෙකු දැක සහ ඒ කාලෙ තමයි කාලෙ යන කවි ද්විත්වය සුනන්දගේ කවි ඇසට යාන්තමින් හසුවුන නිමිති බව හැඟෙයි. සුනන්ද කවියාහට ඒ අත්දැකීම් ඊට වඩා ගැඹුරින් දකින්නට හැකියාව තිබෙන බව නිසැකය. එහෙත් ඒ කවි දෙකම පරිපූර්ණත්වයට නොපත් නිර්මාණ සේ ඉතිරි වෙයි. සුනන්ද ගේ කවි බස පරිණතය. එසේම අප කවියා හට පැහැනද පහන් තුළලු තවත් බොහෝ දීප්තිමත් කවි පහන් දැල්වීමේ හැකියාව තිබූ බව නම් නිසැකය.
– චූලානන්ද සමරනායක

Previous articleබොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි අතහිත
Next articleපුරාවෘත්තයක් නිමාවෙයි, ලතා මංගේෂ්කාර් 1929 – 2022

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here