ආයිබොවන්ඩ BR

9

පෙබරවාරිය පටන් ගන්නකොටම කනට වැටුණු සුබාරංචියෙන් අපේ පපුකූඩුවල පහුණු දවස්වල පත්තු වෙවී තිබුණ ගින්දර නිමිල ගියේ හරියටම කියනව නං ගෑස් ළිපක් සුටුස් ගාලා නිමිල යනව වගෙයි. තමුන්නැහැගෙ මොළගෙඩියට ගහන්ඩ එකෙක් පිස්සන්කොටුවෙන්වත් හොයා ගන්ඩ නැති මේ වගෙ වෙලාවක යන එන මං නැතුව  ඉන්න අසමජ්ජාතියො ටික තව මක්ක හරි අංචියක් ඇදල අපේ  BR සෑර්ව මහඋළු ගෙදෙට්ට දක්කයි කියල අපි බයෙන් ගැහි ගැහි උන්නෙ. අපේ බුදු සෑර්වයි අහිංසක ජෙනරාල් රණේවයි අර දියිනැගුම කුණු කේස්සෙකෙන් නිදොස් කොරලා නිදහස් කොරන විත්තිය සහසුද්දෙන්ම අපි දැනගෙන උන්නු එක ඇත්ත තමා. ඒත් ආයිබොවන්ඩ අන්තිම මොහොතෙ වෙන වැඩකට යමින් උන්නු ඇවන්ගාඩ්කාරයෙක්ගෙ අතින් කුණු බිත්තරයක්වත්  ලිස්සල වැටුණ නං ඒකෙ නරක නාමෙ යන්නෙත් කුරා කූඹියෙකුටවත් වරදක් නොකරපු ඔහේගෙ පිටින්නෙ.
තමුන්නැහැට මොළ හතක් තියෙනව ය කියල ඒ දවස්වල අපි මාද්දිය පොරකාස කොරන කොට අර නොසන්ඩාල ජෙප්පොයි සෝසල් මීඩියාද මොක්කුද කියන අලුගුත්තේරුවොයි අපිට කෝචොක් කොළා මතකයි නෙ BR ? වැඩි කල් යන්ඩ කලින් උන්ට අම්බානකට දෙන හැටි බලන් ඉඳපල්ල කියල නෙ එදා  තමුන්නැනැහැ අපේ හිත් සැනසුවෙ. උන්ඩියල් බැරි නං හවාලා කොරමෙට හරි ඩොලර් එවාපල්ල ය කියන අබීත පොරකාසනේ ඔහේගෙ සිරි මුකයෙන් පිටවුණ ජාමෙ තමයි අපි තේරුන් ගත්තෙ BR වූකලී මුළු සරීරෙ පුරාම මොළගෙඩිය මෝරපු ආෂික් පොරක් විත්තිය. ඔය මසුරන් කියමන් ටිකෙන් පස්සෙ නං අර අනුරයලගෙ, හඳුනයලගෙ මුකවල්වල බිත්තර හිරවෙලා ඇති නේ ද බොස්?
ඒ විතරක් යැ අපෙ බුදු සෑර්, ඔහේ ඒත් එක්කම ඇදල ඇරිය බුෂ් මාස්ටර් ගන් ෂොට්ටෙකෙන් නං MR, GR ඩබල විතරක් නෙමේ 2010 හිටපු කැබිනෙට්ටුවම හිටං තක්බීර් වුණා ය කියලයි ආරංචිය. අනේ අපෙ දෙයියෝ මීට පස්සෙ නං ඔහොම පොරකාස කොරන කොට හත් මොළෙවලින් එකක් හරි ඕපන් කොරල තියා ගන්ඩ. මෙලහකටත් ඕක පැමිලි පොරොබ්ලම් එකක් වෙලා ඇති මයෙ හිතේ. අර නාමල් කොල්ලා ඉන්නව නේ ද? ඒ හාදය නං කිසිම අංගපුලාවකට නැති එකෙක් හොඳේ. මොකද මෑන්ස් අප්සැට් ගහල ඉන්නෙ තමුන්නැහැ නියමෙට හිට්වෙලා සිංහාසනේට පැන ගනියි කියල. අඹරන්ඩ බැරි නැහැ හොඳ ගුළියක්. මොනව වුණත් අප්පච්චිගෙම කපාපු ප`ඵව නෙ ඉතිං.
තවත් චූටි පුරස්නයක් තියෙනව ආයිබොවන්ඩ. ඔය කියන විදිහට නෝත් කොරියන්කාරයො එක්කත් මුන්නැහැලා ටොප් කලාස් ඩීල් දාලා තියෙන පාටයි නේ ද? අනේ ඉතිං නොදන්න කොමට ඇහුවට හිත අමනාප කොර ගන්ඩ එපා අපෙ බුදු සෑර්. එතකොට ඔය සැන්ටරල් බැංකුවෙ තියෙනව ය කියන රෙගුලාසිවලට මක්ක ද වෙන්නෙ. අපි දැක්ක ඊයෙ පෙරේදා කබ්බරාල් අදිපතිතුමාටත් ඔහේ පොඩි නක්කියක් දාපු හැටි. කබ්බගෙ රෙගුලාසි ටික රෝල් කොරල අහවල් තැන ගහගන්ඩ ය වගෙ ටෝක්ස් එකක් නේද ආයිබොවන්ඩ තමුන්නැහැ දීල තිබුණෙ. බැරි වෙලාවත් කබ්බා රිටන් එකක් දුන්නොත් කාරිය මොන දෙයියන්ට කියන්ඩ ද අපෙ දෙයියෝ. මෑනුත් ඉතිං ඔහේ වගේම මාර මොළකාරය නෙ. ගිරීසියෙ උන්ටත් කොකා පෙන්නපු, හෙජින් කප් එක උස්සපු මොත්ත ඔස්තාර් නෙ.
තමුන්නැහැ අරෙහම පොරකාසයක් කොරල නැතය කියල ජී. ඇල්. පප්පා ටුවිටර් එකක් ගැහැව්ව ය කියන්නෙ හැබෑ ද බොස්? අපේ ගරු මුදල් ඇමතියා හැටියට පිටකොටුවෙ මුදලාලිලාට කෝල්ස් දිදී ඔහේ ඩොලර් හිඟන වෙලාවෙ ජී. ඇලයට ඇති ගාය මොකක් ද එහෙම හරුපයක් දොඩන්ඩ. බැලැක් මාකට් දියුණු කොරපු ලෝකෙ එකම මුදල් ඇමතියා හැටියට අපෙ සෑර් ගීනස් රැකෝට්ටෙකක් ගහනවට ඊරිසියාවෙ ඔහෙලගෙම ඇත්තෙක් මහාචාරියා ලව්වා දීපු ගේමක් වෙන්ඩැති ඒක නං ෂුවරෙකටම.

විශ්වමිත්‍ර
Previous articleවියපත් පාලකයන්ගේ ජරපත් මැරකම !
Next articleකාන්තාව කොතැන ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here