රට යන්නේ ආපස්සට ද?

ජනපති බලතල යොදාගෙන පාර්ලිමේන්තුවේ වාරාවසාන කර ගෙන යන ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කාගේත් කනස්සල්ලට හේතු වී ඇති බව පෙනේ.

කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි

දැන් කෙටිකාලීනව රජයේ වියදම් ආවරණය කර ගැනීමට හා ඉදිරියේ දී දිගුකාලීන කටයුතු සඳහා ජාත්‍යන්තර ණය හා ආධාර ලබා ගැනීමට සිදුව තිබේ. විශේෂයෙන් ම පොහොට්ටුවේ නායකයන් නිර්දය ලෙස විවේචනය කළ, රට පාවා දීමක් ලෙස කෑ ගැසූ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හෙවත් එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීම සිදු වීමට නියමිත ය. පසුගිය යහපාලන ආණ්ඩුව ද සාකච්ඡා කර අතහැර දමා තිබූ ඩොලර් මිලියන 400ක ණය ඉන්දියාවෙන් පසුගිය දා ලබා ගත්තේ විදේශීය රටවලින් හා සංවිධානවලින් කොන්දේසිවලට ණය නොගන්නා බවට ඒ දිනවල කෑ-මොර දුන් නායකයන් ම ය. ඒ දළ වශයෙන් රුපියල් කෝටි 6,800කි. දැන් එම්.සී.සී. ගිවිසුම යටතේ ලබා ගන්නේ ඩොලර් මිලියන 480ක් හෙවත්, දළ වශයෙන් රුපියල් කෝටි 8,160කි. මේ ආණ්ඩුවේ බදු කපාහැරීම් සහ අඩු කිරීම් නිසා ද ආණ්ඩුවට ආදායම් අඩු වී තිබේ. තොරතුරු ඇති පරිදි මේ ආණ්ඩුව ඉදිරි කාලයේ දී රුපියල් කෝටි 20,000ක් ණය වශයෙන් ලබා ගැනීමට සූදානමින් සිටී. ආණ්ඩුවක් බලයට පත් වූ විගස බොහෝ තීන්දු තීරණ වෙනස් කරන තත්ත්වය යටතේ මේ ආණ්ඩුව ද බොහෝ දෑ පිළිබඳව තීරණ ගෙන තිබේ. මේ වැදගත් කිසිවක් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වී, විවාද වී ක්‍රියාවට නොනැංවෙන තත්ත්වයක් දැන් උද්ගත වී තිබේ. මහා විශාල ණය ප්‍රමාණයක් ගන්නේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයෙන් තොරව ය. පසුගිය දා ක්‍රියාත්මක කළ වැලි, පස් ප්‍රවාහණ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩල තීරණය රටට බලපාන, රටේ අනාගතයට බලපාන ප්‍රශ්නයකි. මේ වැනි දෑ පාර්ලිමේන්තුවේ විවාදයට බඳුන් විය යුතු නොවන්නේ ද? එහෙත්, දැන් මේ සියලු තීන්දු, තීරණ, ගන්නේ, නීතිරීති පනවන්නේ ඒකපාර්ශ්විකව කැබිනට් මණ්ඩලය විසිනි. මේ ආකාරයට මහා මැතිවරණය දක්වා ම කටයුතු සිදු වනු ඇත. අප්‍රේල් හෝ මැයි මාසය දක්වා ම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයට රට ගෙන යාම සිදු වේ. එය ඉතා නරක පූර්වාදර්ශයකි.

ටිපර් නීතිය

පසුගිය මහින්ද රාජපක්‍ෂ යුගය පුරාවට ම වැලි හා පස් ජාවාරම ජයට ම සිදු විය. උතුරේ මෙන් ම දකුණේ ද මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ද පස් හා වැලි අවශ්‍ය විය. මේ නිසා ම ඒ පක්‍ෂයේ බොහෝ මන්ත්‍රීවරු හා ව්‍යාපාරික ප්‍රජාව විශාල ට්‍රක් රථ මිලට ගෙන මෙය සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස කළහ. මේ හරහා කෝටිපතියන් වූ අය එමට සිටිති. මේ කොන්ත්‍රාත් වැඩිපුර ම ලැබුණේ, ඒ ආණ්ඩුවේ හිතවතුන්ට ය. එම යුගයේ ඉවක්බවක් නැතිව කඳු කැපීම සිදු වූ අතර, ගංගා, ඇළ දොළ වැලි ඇදීම නිසා විනාශයට පත් විය. හිටපු ජනපති සිරිසේනගේ සොහොයුරකු ප්‍රසිද්ධව සිටියේ ද ‘වැලි රාජු’ යනුවෙනි. තමන්ගේ පවුලේ වාසියට දෝ මේ බලපත්‍ර දීම දැඩිව සිදු විය.

යාන් ඔය වැලි ජාවාරම ද ක්‍රියාත්මක වූ අතර, දේශපාලනඥයන්ට ආදායම් ලැබෙන අත යට ගනුදෙනු ද සිදු වූ බව කිව යුතු ය. සිරිසේනගේ පවුලට ආදායම් උපයා දුන් වැලි බලපත්‍ර දීම දිගට ම පසුගිය යුගයේ ද ක්‍රියාත්මක විය. මේ රජය බලයට පත් වී මාසයක් ඉක්ම යාමට පෙර මෙම බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබේ.

වැලි කැණීම් නොකර ගංගා, ඇළ, දොළවලින් ගොඩ නොදමා ප්‍රවාහණය කරන්නේ කෙසේ දැයි යන්න පැහැදිලි නැත. කඳු නොකපා, පස් ප්‍රවාහණය කරන්නේ කෙසේ ද? මේ දින කීපයේ දී ම යළි විශාල ට්‍රක් රථ බොහෝ ප්‍රමාණයක් වැඩට යොදා තිබේ. කඳු කැපීම යළි ඇරැඹී තිබේ. වැලි ගොඩ දැමීම් ද යස අපූරුවට සිදු වේ. මෙසේ ගියහොත්, ජාවාරම්කාර හිතවතුන්ගේ ආදායම් සරු විය හැකි වුවත්, රටේ ජල උල්පත් සිඳී ඇළ, දොළ ඉවුරු කැඩී අලුතෙන් හැදූ මාර්ග අබලන් වී මහා පරිසර විනාශයක් කෙටි කලකින් ම සිදු වනු ඇත. සියලු පරිසර සංවිධාන මේ බව දැනටමත් පෙන්වා දී තිබේ. තම පක්‍ෂයේ ජයග්‍රහණයට උර දුන් ජාවාරම්කාරයන්ගේ ආදායම් මිස රටේ පරිසරය විනාශ වීම දේශපාලනඥයන්ට වැදගත් නොවේ. රට ගැන බොරු දේශප්‍රේමයෙන් කෑගැසූ භික්‍ෂුන්ට සහ දේශපාලනඥයන්ට පසුත් සමඟ ම රට විනාශ වීම දැන් නොපෙනේ. මේ රටේ අවාසනාවන්ත ම සිද්ධිය මෙයයි. පාලකයන් කියන්නේ, මේ තීරණයෙන් සාමාන්‍ය ජනතාවට සහන අත් වන බව ය. සාමාන්‍ය ජනතාවට පස් ටිකක් ගෙන ඒමට හෝ ඉදි කිරීමකට අවශ්‍ය වැලි ටිකක් ගෙන ඒමට අවශ්‍ය පරිදි නීතිය සංශෝධනය කරනු වෙනුවට දැන් සිදුව ඇත්තේ, පරිසර විනාශයට මඟපාදන ජාවාරමුන්ට වාසිදායක තීරණයකි.

19ට කඹ ඇදීම

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට මී ළඟ මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව ඔවුන්ට ලබා ගත හැක්කේ ආසන 115ත් 118ත් අතර ප්‍රමාණයකි. තුනෙන් දෙකක් ලබා ගැනීමට ආසන 150ක් අවශ්‍ය වෙයි. එසේ නම්, තනි පක්‍ෂයක් ලෙස මීට වඩා ඡන්ද ප්‍රමාණයක් පොහොට්ටුවට ලබා ගැනීම අසීරු ය. කළ හැක්කේ, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම ය. සංශෝධන 17න් සහ 19න් අපේක්‍ෂා කළේ විධායක ජනාධිපති ධුරයේ අධික බලතල සීමා කිරීම ය. 18 වැනි සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ කළේ 17 අක්‍රිය වන ආකාරයට ජනාධිපති බලතල වැඩි කිරීම ය. දැන් මේ ක්‍රියාත්මක 19 වැනි සංශෝධනයෙන් සිදුව ඇත්තේ, පාර්ලිමේන්තුවේ හා අගමැතිගේ බලතල වැඩි කිරීම ය. මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය වැඩි බලය සහිත අගමැති ධුරයයි. ඊ ළඟට තම පුත් නාමල් මී ළඟ ජනාධිපතිවරයා ද කළ යුතු ය. එසේ නම්, බලතල ඇති අගමැති ධුරයේ බලතල අඩු කර ජනාධිපතිට බලය පැවරරෙන සංශෝධනවලට ඔහු එකඟ වේ යැයි සිතීම උගහට ය. එසේ වූ විට ජනාධිපති හා අගමැති අතර බල අරගලයක් සිදු වනු ඇත.

පොහොට්ටුවද? පුටුවද?

මේ අතර ගිවිසුම් කඩවීම නිසා හා ඉදිරියේ දී මහා මැතිවරණයට තරග කිරීමට වන සූදානම නිසා ද පොදුජන සන්ධානයේ ගැටුම් ඇති වී තිබේ. පොහොට්ටුවේ පිරිසක් කියන්නේ, සිය ලාංඡනය වන පොහොට්ටුවෙන් තරග කළ යුතු බව ය. වාසුදේව, ගම්මන්පිල වැනි තවත් පිරිසක් ක්‍රියා කරන්නේ ගිවිසුමට අනුව ‘පුටුවෙන්’ හෝ පොදු ලකුණකින් තරග කළ යුතු බව ය. දැනටමත් එම ගිවිසුමේ සඳහන් සියයට 30 ලබා දීම කඩ වී තිබේ. විශේෂයෙන් දයාසිරි වැනි ඇමතිකම් බලා සිටි ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයෝ යාමට ඒමට වාහන පවා නොමැති බව ප්‍රකාශ කරමින්, සිය කනස්සල්ල ප්‍රකාශ කරන තත්ත්වයකට පත් වී සිටිති. මේ නිසා මහා මැතිවරණයේ දී දරුණු පිපිරීමකට ද ඉඩ නැතුවා නොවේ. අනුපාත ඡන්ද ක්‍රමය නිසා මේ ලැබූ ජයග්‍රහණය ම අපේක්‍ෂා කළ නොහැකි ය.

දැන් 21 වැනි දින ප්‍රහාරයක් නොවූ තරම් ය. ෂරියා විශ්වවිද්‍යාලයක් මේ රටේ නැති තරම් ය. ජාතිවාදී වඳ සැත්කම් නොවූ ගාණ ය. “මේ රට ඉවරයි” කියා විලාප දුන් භික්‍ෂුන් හෝ ජාතිවාදී සංවිධාන හෝ පොහොට්ටුවේ ඡන්දදායකයන් හෝ දැන් ඒවා පිළිබඳව කතා කරන්නේ නැත. මේ කුමන්ත්‍රණවල නිර්මාණකරු කවුරුන් දෑයි දැන් සියල්ලන්ට ම වැටහෙමින් තිබේ.

ප්‍රථමයෙන් ජනාධිපති හා ආණ්ඩුව ජාතිවාදී, ආගම්වාදී ස්වරූපයෙන් මිදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් මයි. එවැනි සූදානමක් දැනට නොපෙනේ. මහා මැතිවරණය ද ජය ගැනීමට සැරැසෙන්නේ ජාතිවාදයෙන් බව පැහැදිලි ය. ඊ ළඟට රටේ ආර්ථිකය යහපත් අතට හරවා ගත යුතුව තිබේ. බන්දුල ගුණවර්ධන වැනි කයිවාරුකාරයන් සිටියත්, බදුවලින් අඩු වූ ආදායම වන රුපියල් මිලියන 500 හෝ සපුරා ගන්නා ආකාරය ප්‍රකාශ කරන්නේ පිළිගත නොහැකි ආකාරයකට ය. මේවා අවිනිශ්චිත ය. ඉදිරියේ දී රජයේ ආදායම් වැඩි කර ගත යුතු ය. ඒ සඳහා වක්‍ර හෝ සෘජු බදු පැනවීමට සිදු වේ. රටේ ජනතාවට ආර්ථික දුෂ්කරතා පැනනැඟුණු විට විරෝධතා ඇති වේ. එකින් එක පැටළෙන සංකීර්ණ ප්‍රශ්න ගණනාවකට තව ම රජය සතුව විසැඳුම් නොමැති බව පෙනේ.

දැනට පරාජයෙන් පසුව ප්‍රධාන විපක්‍ෂය ලෙස ගැනෙන එක්සත් ජාතික පෙරමුණ දැඩි නිහඬ බවක් දරයි. විපක්‍ෂ නායක අර්බුදය වෙනත් පැතිකඩ ඔස්සේ ඇදෙනු පෙනේ. රනිල් වික්‍රමසිංහ ‘ඩීල්’ දේශපාලනයේ යෙදෙමින්, ආණ්ඩුව හා ගජමිතුරු දාමයක් ඇරැඹීමට සූදානම්ව සිටී. රනිල්ගේ දේශපාලනය එයයි. ජනාධිපති අපේක්‍ෂක සජිත් පරාජය වී ප්‍රවෘත්ති නිවේදන නිකුත් කර සීතල දේශපාලනයේ යෙදී සිටී.

සමස්තයක් ලෙස ගත් කල මේ රටේ ආණ්ඩු විරෝධී ඡන්ද ලක්‍ෂ 50ක් 60ක් පමණ තිබේ. ඔවුන්ට මේ ආණ්ඩුවේ යම් යම් කටයුතු සමඟ එකඟ වීමට ද නොපුළුවන. අනෙක් අතට රටේ පැවැත්මට, ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත නොවන ඒකාධිපති මාර්ගයකට ආණ්ඩුව ප්‍රවිෂ්ට වුවහොත්, ඊට මුහුණ දීම සඳහා ද ප්‍රබල විපක්‍ෂයක් අවශ්‍ය වෙයි.  

ඩී.බී. ඇල්කඩුව

Leave A Reply

Your email address will not be published.

two × 3 =