නොමැකෙන ග්‍රැෆිටියක්

8

ලොව බොහෝ තන්හි ග්‍රැෆිටි ඍජුවම යුද විරෝධීය. වර්ග හෝ ගෝත්‍රවාදයට එරෙහිව සිටගනියි. සිය සාම්ප්‍රදායික සිතුවම් රට කුමක් වුවත් ලොව අන් ග්‍රැෆිටිකරුවෝ ඒ සියලු‍ සිතුවම් සම්ප්‍රදායයන් මුලින් කී යුද, ගෝත්‍ර, වර්ගවාදයන්ට එරෙහිව තාප්ප මත යොදා ගනියි.

ඊට හේතුවක් තිබේ. තවමත් ග්‍රැෆිටිකරුවෝ යනු බොහෝ විට තරුණයන් වීමයි. ලොව පුරා සාතිශය බහුතරයක් තරුණයෝ හැම ආකාරයකටම යුද විරෝධීහුය.

ඔවුන්ගේ ආගම සාමයයි. ඔවුන් තෝරාගෙන ඇති ජාතිය මනුෂ්‍ය වර්ගයයි. එනිසාම ලොව පුරා තාප්ප පින්තරුකරන්නෝ පාලකයන්ට අභිමුඛව ඔවුන්ට එරෙහිව සිටගනිති.

අපි ජීවත් වන්නේ විශාල නගරයක නම්, නිසැකවම වියැකී ගිය ඒකවර්ණ ඉදි කිරීම් අතර, බිත්ති මත දීප්තිමත්, අභියෝගාත්මක සෙල් ලිපි සහ චිත්‍ර ඇඳීමට නිරන්තරයෙන් අපව පොලඹවනු ලබයි. සමහර විට කලාව විනෝදාංශයක් සහ වෙනත් දේ ලෙස සලකන අප සතු හිතුවක්කාරීබව ඒ සිතුවම්කරණය සඳහා අපව දිරිගන්වයි. කලෙක හිතුවක්කාරීව, ක්‍රම විරෝධීව බිහි වූ මේ කලාව අද දකින්නේ ‘ග්‍රැෆිටි කලාව’ ලෙසිනි. ඉනුත් බිඳීගත් කලා හෝ විරෝධාකල්ප චිත්‍රණය ‘ග්‍රැෆිටි වීදි කලාව’යි.

‘ග්‍රැෆිටි’ යන වචනය පැමිණෙන්නේ ඉතාලි ග්‍රැෆිටිවලින් වන අතර එය සාමාන්‍යයෙන් ‘පුරාණ කාලයේ සෙල් ලිපියක් හෝ පින්තූරයක්’ ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් ලොව බොහෝ තැන්වල ග්‍රැෆිටි මඟින් ආරක්ෂාව පිළිබඳ මහජන අවබෝධය අඩු කරන බව කියැවේ. එසේම ග්‍රැෆිටි වීදි සිතුවම් ඇති ප්‍රදේශවල දේපළවල වටිනාකම අඩු වීම, වාණිජ හා සංචාරක සංවර්ධනයේ අඩු වීමක් සහ නාගරික ප්‍රවාහණ පද්ධති භාවිතය අඩු වීමක් දක්නට ලැබෙයි. එලෙසින්ම බොහෝ ග්‍රැෆිටි කලාකරුවන් එම සිතුවම් නිර්මාණය කරන්නේ අවසරයකින් තොරව නීතියට පටහැනිව වීම ලොව පුරා දැකිය හැකි සුවිශේෂී තත්ත්වයකි.

එතරම් දැනුමක් නොතිබුණ ද, යෞවනයන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි වීම නිසාම ග්‍රැෆිටි බොහෝ විට තරුණයන්ගේ කලාවකි. අනවසරයෙන් නගරයේ බිත්ති මත තීන්ත ආලේප කරන යෞවනයන්ට ඔවුන්ගේ කලාව ප්‍රකාශ කිරීමට වෙනත් ස්ථාන නොමැත.

විසිවන ශතවර්ෂයේ නාගරිකකරණය හේතුවෙන් ස්වාභාවිකවම නගර විශාල කිරීම, නාගරික පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වීම මඟින් නගර ආශ්‍රිත විශේෂ උප සංස්කෘතියක් ඇති කළේය. මේ නව නාගරික කොන්ක්‍රීට් වනාන්තරයේ ඇති වූ සුවිශේෂී සිරිත් විරිත් නව කලා ආකෘතියක් බිහි වීමට තාර්කික පදනම සැපයූ අතර, කාර්මික හා තදබද පෙදෙස්වල වන අඳුරු හා ඒකාකාරී භූ දර්ශනය එය ක්‍රියාත්මක කිරීම සඳහා විශිෂ්ට අවකාශයක් සැපයීය.

බ්‍රසීලයේ ග්‍රැෆිටි භාවිතය ’70 දශකයේ උතුරු ඇමෙරිකානු කලාකරුවන්ගේ බලපෑම යටතේ සිදු විය. සාඕ පවුලෝහි මධ්‍යම පාන්තික පුරෝගාමීන් වන ඇලෙක්ස් වල්ලෝරි සහ රූයි අමරල් මේ කලාවට යම් මානයක් ගෙන ආවේය. එකල එය විලාසිතාවෙන් යුක්ත වූ අතර, පොප් කලාවේ සෞන්දර්යයෙන් ආනුභාව ලත් ස්ටෙන්සිල් නිමාවක් විය.

මේ අතර ගැලරියේ ප්‍රදර්ශනය කරන ලද පළමු ග්‍රැෆිටි චිත්‍ර ශිල්පියා වූයේ ජීන් මයිකල්-බාස්කුවට්ය. අවසානයේ ඔහු නිව්යෝක්හි අතහැර දමා ඇති ගොඩනැඟිලි මත ඇඳීමට හා ලිවීමට පටන් ගත් අතර, නවීන චිත්‍රවල නිරූපකයක් වන ඇන්ඩි වෝර්හෝල්ගේ කලාගාරවල ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනය කරමින් ලොව පුරා කීර්තියක් ලැබීය.

එලෙසම ඇත්ත වශයෙන්ම හැම මොහොතකම පාහේ කලාව නිමවන අය සහ අවට ලෝකයේ සුසමය දර්ශන වනසන අය අතර වෙනස හඳුනා ගැනීම මේ ග්‍රැෆිටි ගැන අවධානයේ දී අවශ්‍ය ම කරුණකි. මන්ද සමහරු ඔවුන්ගේ ග්‍රැෆිටිවලින් එක්තරා කර්තෘ අඥාත කලා ධාරාවක් ප්‍රකාශ කරන අතර, තවත් සමහරු ඔවුන්ගේ  නිමැයුම යටින් සිය අත්සන යොදා එහි හිමිකාරීත්වය අපට පවසයි.

යුග කිහිපයක අවසානයේ ග්‍රැෆිටි යනු මුහුණත, ස්මාරක සහ බිත්ති විනාශ කිරීමකට එහා ගිය නව සිතුවම් කලාවක් බවට පත්ව තිබේ.

සමාරම්භක අවශ්‍යතාව ඉක්මවා ගිය ග්‍රැෆිටි දැන් ලොව පුරා තෝරාගෙන ඇති ගොඩනැඟිලි සහ පරිශ්‍රවල සිතුවම් කිරීමට අවසර ලත් මාධ්‍යයක් බවට පත්ව ඇත. ලොව ස්මරණීය ග්‍රැෆිටි ලෙස  ජිනීවාහි ‘බිම් බෝම්බ නැවැත්වීම’ හෝ වැලෙන්සියාවේ නාගරික කලාව වන ‘පොලිනයිස්’ උත්සවය වැනි යුරෝපයේ දී ප්‍රසිද්ධ ග්‍රැෆිටි වී තිබේ. ඊට අමතරව, ග්‍රැෆිටි සමහර විට බොහෝ වෙළෙඳ නාම සඳහා සටන් පාඨයක් ලෙස සේවය කරයි.

මුල් කාලයේ ඇවෑමෙන් වීදි කලාව කැරැලිකාර යෞවනයන් පමණක් ආකර්ෂණය කර ගැනීමෙන් ඉක්මවා ගොස් පළපුරුදු හෝ වෘත්තීය මට්ටමේ කලාකරුවන් මෙම කලාව කෙරෙහි අවධානය යොමු කරගෙන තිබිණි. ඒ නිසාම තව දුරටත් තාප්ප යනු ක්‍රම විරෝධීන්ට අදහස් දක්වන නිදහස් අවකාශයක් වනවා වෙනුවට සම්මත ක්‍රමයන්හි දුර්ගුණයන් හෝ නීතිය රකින මෙවලමක් බවට පත්ව තිබේ. වෙනත් තැනක දී එය සහමුලින්ම එහි ජනනාර්ථයෙන් ඉවත්ව හුදු වෙළෙඳ ප්‍රචාරණ මාධ්‍යයක් වී තිබේ. දැන් එය නීති බිඳින්නන්ගේ මාධ්‍යයක් වෙනුවට නීති රකින්නන්ගේ ප්‍රකාශන මාධ්‍යයකි.

මේ නිසා සමහර විට වීදි මත ඇවිද යන ජනයා බිත්ති මත තීන්ත ආලේප කර ඇති රූ සටහන් දකින විට වඩාත් ‘උත්කෘෂ්ට’ කලා ලෝකයක් තුළ සරණ බව සිතයි.

සමහර නගර පාලකයන් අනුව තම බලසීමාවේ ඇති පොදු තාප්ප හෝ බිත්ති මත තීන්ත ආලේප කිරීමට අවසර ඇති බව මවාපාමින් ඒ ඉඩ අලෙවි කරයි. අදාළ ගෙවීම් කාලය අවසන් වූ වහාම ඒවා නැවත සුදු පැහැයෙන් ආවරණය කරයි. යළිත් අලෙවි කරයි. එවිට ග්‍රැෆිටි චිත්‍ර ශිල්පීන්ට දිගටම පින්තාරු කළ හැකියි. වරින්වර බිත්තියේ තීන්ත ආලේප කිරීමට අකමැති කිසිවකු නොමැති නිසාම නගර වැසියෝ ද විරෝධයක් නොදක්වති. එනිසාම විරෝධාකල්පික ග්‍රැෆිටි තාප්ප මතින් තුරන් වෙයි. බැලූබැල්මට නගර වැසියෝ නගර පාලකයන් අරභයා විරෝධයක් නැති බව පෙනෙයි. එය පාලකයන්ගේ උපක්‍රමයක් බව තේරුම් ගනිද්දී නගර තාප්ප හෝ බිත්ති බදු දී අවසන්ය. එය රටකට ද පොදු නීතියකි.

සාඕ පවුලෝ නගරයේ මේ තත්ත්වය ඇති විය. ඇවනීඩා 23 ඩි මයෝ හි බිත්ති කලක් ලතින් ඇමෙරිකාවේ විශාලතම මිනිරන් ග්‍රැෆිටි වැඩ ලෙස සැලකීය. පසුව කෘති අටක් පමණක් සංරක්ෂණය සඳහා තෝරාගෙන ඇති අතර, අනෙක්වා ඉවත් කළේය. නගරය වැඩිදියුණු කිරීමේ මුවාවෙන් බොහෝ ග්‍රැෆිටි කලා කෘති මකා දමා තාප්ප ලෙස බදු අය කරන ලදී.

හිතුවක්කාර, ක්‍රම විරෝධී, විරෝධාකල්ප දැරූ තරුණ ජනයාගේ කලාව අද එහි ආරම්භක අරමුණින් ඉවත්ව ගිය කලාවක් ලෙස සමාජය විසින් පිළිගනු ලැබේ. මෙය නාගරික කලා භාවිතයට සම්බන්ධ වේ. එය විසින් නගරයේ තාප්ප හෝ බිත්ති තිරයක් බවට පත් කර ඇත.

කෙසේ වෙතත්, දැන් ග්‍රැෆිටි ක්‍රමයෙන් නිර්මාණශීලීත්වයේ වර්ගයක් ලෙස පිළිගැනේ. ඒ සඳහා ලොව පුරා විශේෂ තරග සහ තරගාවලි සංවිධානය කරනු ලැබේ. එහි දී වීදි කලාකරුවන්ට නිර්මාණශීලිත්වය සඳහා වේදිකා ලබා දෙයි.

ඔබ කිසිවෙක් නූතන බටහිර රටවල ආසන්න වසරවල දී ඇවිද ඇත්නම් බොහෝ නගර බිත්ති ඒ ඒ රටවල තෝරා ගත් වීර කාව්‍යවල උධෘතයන්ගෙන් සරසා ඇති අයුරු දැකිය හැකිය. ඒ අතරම විරෝධාකල්ප නැඟෙන මොහොතක යුරෝපයේ, ලතින් ඇමරිකාවේ හෝ අප්‍රිකාවේ දී ද පෙර මෙන්ම ‘නීත්‍යනුකුල’ ආදි ග්‍රැෆිටි මත නව සටන් රැලිවල උද්යෝග පාඨ මෙන්ම නව අරගලකරුවන්ගේ රූ සිතුවම් වේ.

ලොව බොහෝ තන්හි ග්‍රැෆිටි ඍජුවම යුද විරෝධීය. වර්ග හෝ ගෝත්‍රවාදයට එරෙහිව සිටගනියි. සිය සාම්ප්‍රදායික සිතුවම් රට කුමක් වුවත් ලොව අන් ග්‍රැෆිටිකරුවෝ ඒ සියලු‍ සිතුවම් සම්ප්‍රදායයන් මුලින් කී යුද, ගෝත්‍ර, වර්ගවාදයන්ට එරෙහිව තාප්ප මත යොදා ගනියි.

ඊට හේතුවක් තිබේ. තවමත් ග්‍රැෆිටිකරුවෝ යනු බොහෝ විට තරුණයන් වීමයි. ලොව පුරා සාතිශය බහුතරයක් තරුණයෝ හැම ආකාරයකටම යුද විරෝධීහුය. ඔවුන්ගේ ආගම සාමයයි. ඔවුන් තෝරාගෙන ඇති ජාතිය මනුෂ්‍ය වර්ගයයි. එනිසාම ලොව පුරා තාප්ප පින්තරුකරන්නෝ පාලකයන්ට අභිමුඛව ඔවුන්ට එරෙහිව සිටගනිති.

අද දවසේ ග්‍රැෆිටි යනු තාප්ප මත වර්ණ තැවරීමක සීමාව ඉක්මවා ගිය බුද්ධිමය මැදිහත් වීමක් බව සවිඥානික හා සමාජ සංවේදී ග්‍රැෆිටි යෞවනයෝ හොඳින්ම දනිති. එහෙත්, දැනටමත් පාලකයන් විසින් දෙකට බෙදා යුදකාමීත්වය උත්කර්ෂයට නංවා ඊට නිල අනුග්‍රාහකත්වය දෙන රටක ග්‍රැෆිටි යනු සත්තකින්ම ග්‍රැෆිටි ද යන්න හෙළි වනු ඇත්තේ තව වසර කිහිපයකින් පසුවය. එලෙස විනිශ්චය වන දිනෙක තමන් ඇඳි තාප්ප සිතුවම තමන්ගේම තීන්ත පහරකින් විනාශ වන සිත්තමක් බවට පත් නොවන සේ නිමවිය යුත්තේ ද මේ ‘නිර්මාණකරුවන්’ විසින්මය.

විශ්වජිත් ඒකනායක

Previous articleට්‍රම්ප්ගේ විරෝධයට කියුබාවෙන් කණේ පහරක්
Next articleකාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා මේ කරුණු තුන ගැන හිතන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here