නිලතල – තනතුරු ආණ්ඩුවත් – විපක්ෂයත් අවුල් කරයි !

12

ආණ්ඩුවේ හා විපක්ෂයේ යන දෙකොට්ඨාශයේම මේ වන විට අභ්‍යන්තර අර්බුද ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. දෙපාර්ශවයේම අර්බුද පැන නැගී ඇත්තේ නිලතල හා තනතුරු සම්බන්ධයෙන්වීම ද විශේෂත්වයකි.
ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් මේ වන විට බෙදී සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ආණ්ඩුවේ සිටියද ඔවුන් මේ වන විට දැඩිව ආණ්ඩුව විවේචනය කරමින් සිටිති. එහිදි හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවෙන් ඉවත්වීමට උත්සාහ කරමින් සිටිය ද එහි මැතිඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුය යන මතයේ සිටිම තුළ එහිද බෙදීමක් මතුව තිබේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස තවත් පිරිසක් එක්ව සිටින අතර ඔවුන් ද තමන්ව ආණ්ඩුවෙන් ඉවත් කරන තුරු බලා සිටින කණ්ඩායමකි. මේ අතර එම කණ්ඩායම නැවත වරක් පවතින අර්බුද විසදීම වෙනුවෙන් වූ යෝජනාවලියක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කිරීමට සුදානමින් සිටිති.
තවත් කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා වටා එකතු වෙමින් ඔහුව අගමැතිධූරයට පත් කළ යුතු බවට ප්‍රවාරණ හා ප්‍රවර්ධන ක්‍රියාමාර්ගයක නිරත වන බැවින් වත්මන් අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ද සීතල අර්බුදයක් නිර්මාණය වී තිබේ. ජනාධිපතිවරයා වෙනත් කෙනෙකු අගමැති කිරීමට සිතාගෙන සිටීම හේතුවෙන් අර්බුදය වර්ධනය වී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.
ආණ්ඩුවේ අර්බුද එසේ තිබියදී විපක්ෂයේද ඊළග පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය වී තිබේ. සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් යළිත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග එකමුතුව ගමනක් යා යුතු බවට යෝජනා කරද්දී විපක්ෂ නායක සජිත් එය මඟහැරීම තුළ එහි අර්බුදයක් උද්ගතව තිබේ.
ඊට අමතරව සමගි ජනබලවේගයේ පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා 43 වෙනි සේනාංකය නමින් වෙනම කණ්ඩායමක් නිර්මාණය කරමින් එය ප්‍රවර්ධනය කිරීම තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාඨලි චම්පික රණවක අතර සීතල ගැටුමක් නිර්මාණය වී ඇත. පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ට කතා කිරීමට සාධාරණ කාලයක් ලබා නොදීම මත විපක්ෂ නායක සමග ජාතික ජන බලවේගයේ හා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ද ගැටුමක් නිර්මාණය වී තිබේ.
ආණ්ඩුවේ හා විපක්ෂයේ අභ්‍යන්තර අර්බුද හමුවේ ජනතාව ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න හමුවේ පීඩාවට පත්ව සිටිති.
ලසන්ත වීරකුලසූරිය

Previous articleරටට ඇති වී තිබෙන විපතට ආණ්ඩුව ගෙනා භික්ෂූන් වහන්සේත් වගකිව යුතුයි !
Next articleලංකා e-paper (2022.01.30)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here