“මොවුන් අතුරුදහන් කර බේරා ගත් ජාතියක් ද දියුණු කරපු රටක් ද නැත”

43

සන්ධ්‍යාගේ ශාපය !
සන්ධ්‍යා එක්නැලිගොඩ තම ස්වාමි පුරුෂයා තමාගෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සාධාරණයක් එනකම් තොටලග කාලි අම්මා දේවාලයට ගොස් ශාප කර කොන්ඩය බූ ගා ගෙන ඉන්නට තීරණය කරලා තියෙනවා.
දේශපාලකයින්ගෙන් පැත්තෙන් මේක තනි සිදුවීමක් විදිහට කිසිම විදිහක බලපෑමක් කරන්නට ඉඩක් නැහැ. පොල් ගැසීමේ සිට තවත් විවිධාකාර අභිචාරී ශාප ක්‍රියාකාරකම් වලින් ද ඔවුන් කලබල වෙන් නැති බව ඉතිහාසය පුරා අපි දැකල තියනවා. ඊට හේතුව නම් ඔවුන්ට ඇති අසීමිත මුදල් සහ බලය නිසා අවශ්‍ය නම් මෙවැනි දේව යක්ෂ අද්භූත බලවේග ද මිලයට ගත හැකි බව ඔවුන් විශ්වාස කිරීමයි. උදාහරණයකට,ඇයගේ ශාපයෙන් මිදීමට දේශපාලනික පිළිතුරක් දෙනවා වෙනුවට, දේශපාලකයින් ද ඒවා විශ්වාස කරන්නේ නම්, තවත් එවැනිම ගුරුකමකට වියදම් කර එයින් ආරක්ෂාවීම ගැන ඔවුන් කල්පනා කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් හොඳ ව්‍යාපාරයක් වන ගුරුකම් ලෝකය තුළ මිසයිලයයි ඩිෆෙන්ඩර් එකයි දෙකම ඔබට ගන්න තියෙනවා. දැන් ඔබ මහින්දගෙන් ආරක්ෂා වෙන්න තිරුපති ගියොත් ඒ කේස් එකත් තරුපතිලා බාර ගන්නවා. ඔවුන්ගේ වාසනාවට දෙවියන්ට ප්‍රතිපත්තියක් නැහැ!
මොවුන් අතුරුදහන් කර බේරා ගත් ජාතියක් ද දියුණු කරපු රටක් ද නැති බව මේ වෙනකොට අපට පැහැදිලියි. ඒ නිසා ඔවුන්ව අතුරුදහන් කළේ අප කිසිවෙක් වෙනුවෙන් නොවන බව පැහැදිලියි. අවසානයේ ඔබට නැත්තේත් අතුරුදහන් කරපු උන්ට නොදුන් යුක්තියමයි.
නමුත් සන්ධ්‍යාගේ මෙම විරෝධාකල්ප ප්‍රවේශය තුල සුළුවෙන් තැකිය නොහැකි පැත්තක් ද තියෙනවා. තම ස්වාමි පුරුෂයා තම දරුවන්ගේ පියා අතුරුදන් වීමට කිසිදු පිළිතුරක් දීමට නොහැකි වීමේ පණිවිඩය, ඇගේ ශාපය දැන් ඉතින් හැමදාම ඇගේ මුඩු හිස දකින හැම විටම අපට මතක් වෙනවා. මෙම පණිවිඩය ඇය ඉදිරිපත් කරපු ආකාරය විශාල වශයෙන් සමාන වන්නේ ප්‍රබල කලා කෘතියකටයි. දැන් සන්ධ්‍යා එක්නැලිගොඩම කලා කෘතියක්. එය මූලික වශයෙන් චිත්‍ර කලාව ඇසුරින් වර්ධනය වූ අභිවාහ්‍ය කලා (Pofomance Aar) කියන සම්ප්‍රදාය තුළ අපට ස්ථානගත කරන්න පුළුවන්. සමහර කලාකෘතීන් සැබෑ ජීවිතයෙන් වෙනස් වන්නේ සන්දර්භයෙන් පමණයි. උදාහරණයක් වශයෙන් මාර්ෂල් ඩුෂාම්ප්,( Martial Duchamp) ඇන්ඩි වෝහෝල් ( Andy Warhol) සහ ඇනී එම් ස්ප්‍රින්ක්ලේ (Annie M. Sprinkle ) වැනි අයගේ සමහර වැඩ මතකයට ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ බොහෝ කලාකෘති මිනිස්සුන්ට දැනෙන විදිහට ප්‍රභලව කිරීමට අසමත් නිසාදෝ බොහෝ අය කලා කෘති යනු එතරම් බැරෑරුම් මිනිස්සුන්ට බලපාන ලෙස කරන්නට පුළුවන් දෙයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් ඇත්තටම කලා කෘතියක් යනු අවශ්‍ය නම් සැබෑ ජීවිතය ඉක්මවා ගොස් මිනිසුන්ගේ ඇඟ හිරිවට්ටන ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රබල ප්‍රවේශයක්.
සන්ධ්‍යා එක්නැලිගොඩ සමස්ත සංසිද්ධිය දිහා අපි බැලිය යුත්තේ ඇත්තටම කාලිමෑණි නමින් කෙනෙක් ඉන්නවාද මෙහෙම කළහම එහෙම වෙනවද කියල නෙමෙයි. අපට වඩා වැදගත් එහි ඇති සංකේතාත්මක ප්‍රකාශනයයි. එය කලා කෘතියකට සමාන වන්නේත් එතනදීයි. ඒ අනුව සන්ධ්‍යා එක්නැලිගොඩ හරහා මතු වන්නේ සිංහල මුස්ලිම් දෙමළ භේදයකින් තොරව මේ රටේ අතුරුදහන් වී තවමත් සොයාගත නොහැකිව අත්හැර දැමු අපමණවත් පියවරුන් දූදරුවන් හැදූ ගැහැනුන්ගෙ ශාපයයි. සාමාන්‍ය ගැහැනියගේ ධෛර්යයි. සමහරවිට සන්ධ්‍යා යනු එවන් සාමාන්‍යය ගැහැණියකට කළ හැකි සියල්ලම උරගා බැලීමට වඩාම ආත්මය කැපකරන්න සූදානම් වු ගැහැනිය විය හැකියි. සන්ධ්‍යා ගේ කොටස ඇය උපරිමයෙන්ම කර අවසන් වන අතර දැන් ඇත්තේ අපගේ කොටසයි. හැකිනම් අනිත් සියලුම මවුවරු ද තම ආදරය කළවුන් අතුරුදහන් කර අත්හැරීමට එරෙහිව හිස බූගා හෝ වෙනත් කවර හෝ ආකාරයකින් මෙම සංකේතාත්මක ප්‍රකාශනය බලවත් කිරීමට ඇය හා එක් වීමට හැකියි. එයාකාරයෙන් එම සංසිද්ධිය තව තවත් අර්ථවත් කිරීම එය සැමරීම අපගේ කටයුත්තයි.
උසාවියේ සිට දේවාලය දක්වා ඇය තම ජීවිතයම දියකර හරින බලාපොරොත්තු ප්‍රාර්ථනා යැදිම් කෙතරම් අර්ථශූන්‍ය වන්නේද එතරම්ම ඇගේ ප්‍රකාශනය ප්‍රබලයි. වඩාත් ගැඹුරු අර්ථයෙදී අප කම්පනයට පත් කරන්නේ අන්න ඒ අර්ථ ශුන්‍ය භාවයයි.
– ධනංජය කරුණාරත්න

Previous articleහිටියත් දෙකක් දාගෙන මීටර් වැඩනේ – මේ හත්වලාමේ වික්‍රම බෝගොඩනේ
Next articleදැඩි සත්කාර ඒකක යළිත් පිරෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here