හිටියත් දෙකක් දාගෙන මීටර් වැඩනේ – මේ හත්වලාමේ වික්‍රම බෝගොඩනේ

42

මිතුරෙක් සමග ගමනක් යන එන අතර
මදකට පන්නිපිටියේ අපි වී නතර
අසමින් යමක් කරමුද සීයක විතර
තැනකට අපි ගියා නොයනා මුත් නිතර
කල්වේලා නොගෙන පොඩියක් ළග නවන
අපි ගියෙ අදහසිනි විගසින් යළි දුවන
ස්ටේෂම දුරිනි එතනට අතපොවන
තැන නම් පන්නිපිටියේ මැද බෝසෙවන
ගටලා දෙවීදුරු මුල පිරුවා බොන්න
අඩියෙන් අඩිය තිව්වා පෙරටම යන්න
ඔය අතරෙහිම දුටු පමණින් සිත් ගන්න
දැක්කා කෙනෙක් කෙළවර මේසෙක ඉන්න
දුටුවත් කාලෙකින් මේ සුපුරුදු හැඩනේ
මා හට මේක නම් දෙවියන් දුන් ඉඩනේ
හිටියත් දෙකක් දාගෙන මීටර් වැඩනේ
මේ හත්වලාමේ වික්‍රම බෝගොඩනේ
මට මෙන් මගේ මිතුරා හට ෆිල්ම් ගැන
නෑ කිසි උනන්දුව උගෙ බිස්නස්ය පන
ඔහු රුචි අරුචිකම් ඔක්කොම දරාගෙන
ඉදපං ටිකක් කියමින් මම ගියා පැන
මම දැන් ඉදිරියෙයි මගෙ ආසම නළුවා
කීමට ඒක වදනින් කැටයම් නෙළුවා
එය නොසලකා ඔහු මීවිත රස බැලුවා
ඇරියේ නැත මමත් තව තව හඬ තැලුවා
කිව්වා පෙන්නමින් ඔහු ගැන තියෙන ඉව
ගොළුහදවතම තුන්පාරක් බලපු බව
“ඇත්තද” කියා ඇසුමට නැවුණාය දිව
ඒකෙන් මෝටිවේෂන් මම වුණා තව
හිතමින් ඔහු වුණා කිය කිය මෙමට නතූ
හැදුවා අවුස්සන්නට ඒ යුගයෙ තතූ
කවදා මෙවැනි හමුවීමක් වෙයිද මතූ
හෙන සිහිවටනයකි මෙය මගෙ දිවිය සතූ
ආපහු යන්න තදියම යාළුවා හට
ඇවිදින් ළගට දැන් යමු කියනවා මට
බෝගොඩ දමා යන්නට නැති නමුත් ගට
හිත හිත පිටවුණා දෙන්නම් වැඩක් බොට
එහෙනං යමං යැයි කියමින් බැරි තැනම
ආවා හයිලෙවල් පාරට බැණ බැණම
අතපා බසයකට බලලා දුර යනම
දොරවල් දෙකෙන් නැග්ගා අපි වෙන වෙනම
අද්දනකොටම මම බස් රථයෙන් පැන්නා
පසු නොබලාම බෝසෙවනට පියමැන්නා
මගෙ ඇති රසික තත්ත්වයෙ ගතිගුණ පෙන්නා
බෝගොඩ ඉදිරියේ මම නැවතත් ඉන්නා
“ඉදගමු” කියා පුටුවක් වෙත අත පෑවා
“සීයක්…” කියා වේටර් හට හඬගෑවා
වීදුරු ගටා අපි පළවෙනි එක බීවා
මට නම් තාම පුදුමෙකි අදටත් මේවා
දාගෙන කයිය ආපහු ට්‍රැක් එකට මම
හාරන්නට වුණා විස්තර කාලෙ එම
දැන් ඔය කතා විමසා ඇති ඵලය කිම
මැලි විය කියන්නට සිනමා දිවිය තම
හිටියේ උදාසීනව ඔහු ෆිල්ම් ගැන
දෙඩුවේ ඒක හින්දා දේ ගැනයි වෙන
ආගියු කළේ නැත අද ඔහු සිටින තැන
ඒ වෙනුවට කළේ වැඩිපුර එකයි බොන
ඇණවුම් කරපු දේවල් නිමවුණු පසුව
“අපි යමු නේද” කියමින් බෝගොඩ ඇසුව
සිහි කර ගෙවුණු කාලය ඔහු හා මුසුව
පඩිපෙළ බැස්සෙ සතුටින් හිත තටු ගැසුව
මා අත රැගෙන “හමුවෙමු ආයෙම දාක”
කිව්වත් එදින ආවේ නැති එක සෝක
හමුවනු බැරි වුණේ දේ හින්දම නේක
හමුවට පෙරම ඔහු අප හැර ගිය සේක
තිබුණෙත් පන්නිපිටියේමයි ඔහු නිවස
එහි ගොඩවුණා මම ඔහු මියගිය දවස
අතිශය හැඟම්බරවුණු එදිනෙහි හවස
වැඩිවිය ටිකෙන් ටික මාහට පැන් පවස
ආවේ මළගෙදර සිට බෝසෙවන වෙත
පෙර දින වගේ බෝගොඩ මා සමග නැත
ගැටුණා එදා අප සිටි ටේබලය නෙත
නොදැනිම එසවුණා පා යුග එදෙස වෙත
– ප්‍රියන්ත කොඩිප්පිලි
කවරයේ ඡායාරූපය – රැලෙක්ස් රණසිංහ

Previous articleදැනුණෙ නෑ මරණයක් ගිය ටිකේ ඔබෙ විතර – පතී ඔබ සමුඅරන් හෙටයි අවුරුදු හතර
Next article“මොවුන් අතුරුදහන් කර බේරා ගත් ජාතියක් ද දියුණු කරපු රටක් ද නැත”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here