දැනුණෙ නෑ මරණයක් ගිය ටිකේ ඔබෙ විතර – පතී ඔබ සමුඅරන් හෙටයි අවුරුදු හතර

41
යන්න කියමින් අපට වුණත් ඔබ මග නතර
මතක මතකයට එන අයුරු අතරින්පතර
දැනුණෙ නෑ මරණයක් ගිය ටිකේ ඔබෙ විතර
පතී ඔබ සමුඅරන් හෙටයි අවුරුදු හතර
ගිහින් ඔබ කවුරුවත් වෙලාවක නොම සිතූ
ඉන්නවද නැවතිලා තැනක අද ඔබ පැතූ
ඇත්තටම මුණගැහෙන දිනක් එනතුරු මතූ
කියන්නට හිතුණි මට මෙහේ නවතම තතූ
කට්ටියගෙ කෙරුවාව තිබුණු අයුරින් මතක
ලියල ජයසිරි ලොක්ක ඉතා කදිමට ගතක
හිරකරන් නොයිද ඒ කතන්දර ටික හිතක
ලියපු එක ලොකු දෙයක් එකතු කරලා පොතක
මැවෙන්වැති සුර ලොවක් එක ගොඩේ ඉද්දී
කොහොම ආතල් ඇද්ද සෙට්වෙලා බොද්දී
ඇඬුම් එනවැති ඉතිං එක එකා යද්දී
සිහිවෙලා කලංසූරියට රස සිද්ධී
අරන් චරිතය ඇඟට බැලුවොතින් හැරිලා
ගියේ ඇක්ටින්වලට ඇස් වුණත් ඉරිලා
සැමරුවලු බර්ත්ඩේ ඊයෙ අපෙ සිරිලා
මිනිහටත් දශක නමයකුත් දැන් පිරිලා
ගිහිල්ලා විජෙත් තිස්හතරක්ලු අවුරුදුම
ඉවරයක් නැත්තේම ඒ වියෝගයෙ රිදුම
අදත් ඉන්නව වගෙයි ඒකමයි හරි පුදුම
කොලු අපෙත් පෙම්බරා එයයි නියමම යෙදුම
ඔබත් සමගින් එකට ගජේ ගැහු ගොන්නේ
මිතුරෙක්ය ළගින් හිටි ආතල්ම පන්නේ
මිනිහගෙත් කෙරුම් ටික දන්න උන් දන්නේ
කොවිඩ් අස්සෙම ගියා නොකියාම තෙන්නේ
රිදී තිරයේ එකට ජය කෙහෙලි බන්දා
තුන්දෙනෙක් හිටිය හැටි අතින් අත රන්දා
ඔබේසේකර හෙමත් කලින් ගිය හන්දා
ධර්මසිරි වම් ඉවුරෙ තනි වුණිද මන්දා
ඒ තරම් ඉක්මනට අනේ ඇස් දෙක පියා
ගියපු අය හිටියනං තව ටිකක්වත් නොයා
දෙහිපිටිය අහංගම කොහෙද උඹලා කියා
හිටිගමන් අනේ උන් ළගට කොස්තත් ගියා
චිත්‍රපටි කරනවිට ඔබේ DOP
හිතන දේ අදුනගත් ඔබට අනුරූපී
විදෙස්ගතවෙලා අද ඩොනල්ඩ් යළි නාපී
චැට් කරයි මා සමඟ බිබී රෑ කෝපී
තලකොටුවෙ ගෙදර සෙට්වී එකට කෑබී
විනෝදය පිණිස ගැන්සියම නිර්ලෝබී
වාසනාවන්තයා මිතුරු ධනලාභී
අදත් අපි එක්ක වැඩ ඔබෙ මිතුරු පී.බී
මම එදා ඉරුදිනේ වැඩ කරපු කාලේ
කරන්නට ඉන්ටර්විව් මුණගැහුණු වේලේ
වැඩේ නිමවුණු පසුව වඩා හිත ලෝලේ
ටිකක් එළියට යමුකො ඔබ කියපු තාලේ
ගිහින් බී.ආර්.සී.ඉදන් ළග පුටුවේ
එකම එක දිනයි අපි ළග එහෙම දුටුවේ
ගැටෙන විට දෙවීදුරු විතක පෙණ නැටුවේ
මතක්වෙන විට අදත් හිත විදුලි කෙටුවේ
අපේ සිනමාවටත් දැන් හැත්තපහලූ
චිත්‍රපටිවල පතී නැත්තේම රහලු
ලොක්කො මේකට ඉතිං කෙරුවේම තහළු
ආපු හැම රජයටම සිනමාව වහලූ

– ප්‍රියන්ත කොඩිප්පිලි
2022 – 01-26

Previous article“මහින්දගේ මුදල් සොරකම් කිරීම මහා ජලාශයකින් දිය දෝතක් ගත්ත වගේ කියල දැනෙනවා ඇති”
Next articleහිටියත් දෙකක් දාගෙන මීටර් වැඩනේ – මේ හත්වලාමේ වික්‍රම බෝගොඩනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here