අතුරුදන් කර වසර 12 යි, සිය සැමියා වෙනුවෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ හිස මුඩු කරයි

32

අතුරුදන් කර වසර 12 ක් පසුවී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් කිසිදු ආකාරයක යුක්තියක් ඉටු නොවීම හේතුවෙන් එක්නැලිගොඩයන්ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මෝදර ශ්‍රී භද්‍රකාලී කෝවිලේදී හිස මුඩු කර තිබේ.
සිය සැමියාට වූ අයුක්තියට යුක්තිය යදිමින් සිය කෙස්වැටිය සම්පූර්ණයෙන්ම මුඩු කරණු ලැබුවේ මෝදර ශ්‍රී භද්‍රකාලී කෝවිලේදී ය.
2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2022 අවුරුද්දයි.
පසුගිය යහපාලන සමයේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණද එය අවසානය තෙක් නිසි පරිදි සිදු කෙරුණේ නැහැ.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර නාමයක් ගතවීම නිමිත්තෙන් 2019 වසරේ ලංකා පුවත්පතේ පලකරන ලද ලිපියක් පහත පළවේ

මහපොළොව මත වටිනාකම තහවුරු කළ මිනිසෙක්

2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2022 අවුරුද්දයි. ඒ කියන්නේ යුක්තිය නැතිව වසර දොළහක් ගෙවී අවසන් ය. ඇතැමෙක් ඔහු එල්ටීටීඊකාරයෙක් කරති. ඇතැම් මාධ්‍යවේදීන්ට අනුව ඔහුට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැ`දුනුම්පතක් නැත. ඒ නිසා ඔහු මාධ්‍යවේදියෙක් නොවේ. කටු කන ඒ මහත්තුරුන් විතරක් මාධ්‍යවේදීන් ය. ඇතැමෙකුට අනුව ඔහු දේශපාලන ක‍්‍රියාකාරිකයෙකි. අන්තර්ජාතික වශයෙන් පවා ගෞරවයට ලක් වූ කාටූන් ශිල්පියෙකි. අපට ඔහු මේ මහ පොළොවට අත්‍යවශ්‍ය මිනිසෙකි. එයින් අදහස් වන්නේ අනවශ්‍ය මිනිසුන් සිටින බව නොවේ. ප‍්‍රගීත් භාවිතාවෙන් ඔහුගේ වටිනාකම් මහ පොළොව මත තහවුරු කළ නිසා ය.
සන්ධ්‍යා එක්නැලිගොඩ නම් ඇයගේ ස්වාමි පුරුෂයා ඔහු ය. සංජය එක්නැලිගොඩගේත්, ඔහුගේ සහෝදරයාගේත් තාත්තා ඔහු ය. අවුරුද්දට ගෙදර ළිපේ කිරිබතක් උයන්නේ නැතිව අවුරුදු දොළහක්ම ඔවුහු මගබලා සිටිති. ඝාතනය කරනවාට වඩා අතුරුදන් කරවීම වඩාත් කෲර වන්නේ ඒ නිසා ය. අවුරුදු දොළහක් මග බලා සිටීමක්…
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැරගැනීම සාධාරණීකරණය කරන්නට හමුදා බුද්ධි අංශය නොයෙක් උත්සාහයන් දැරීය. එහෙත් අවසානයේදී ඒ සියල්ල අසාර්ථක විය. නන්නත්තාර වූ දේශපාලකයෝ දැන් නැවතත් ඒ මෙහෙයුම ආරම්භ කර තිබේ. මිනිසුන් පහසුවෙන් සහ ඉක්මනින් අල්ලාගැනීමේ මාර්ගය ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමයි. අසූ තුනේ කළු ජූලිය වෙලාවේ කළේද එයමය. දැන් නැවත කරළියට ගෙනෙන්නේද එයමය. මේ කුමන්ත‍්‍රණවල කොනකට ප‍්‍රගීත්වද පටළවාගෙන ඇත. ඒ අපරාධකරුවන්ට සුදු හුණු ගා ගන්නටය. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීහු පිරිසක්ද සැදී පැහැදී සිටිති. මේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කාර ඇමැතිවරුද එහි කොටස්කරුවෝය.
මොවුන් මේ කරන්නේ අධිකරණයට අපහාස කිරීමකි. ආණ්ඩුව ඊට ඉඩ දී බලා සිටී. බලය වෙනුවෙන් ගේම් ගහන දේශපාලන තලයේදී එකදු දේශපාලන පක්ෂයක් හෝ ප‍්‍රගීත් වෙනුවෙන් නිල නිවේදනයක් නිකුත් කළේ නැත. ප‍්‍රගීත්ට අපහාස කිරීමට, ඒ හරහා ජනතාව ඇන්දවීමට එරෙහිව ප‍්‍රබල හඬක් නැගුවේ නැත. තැනින්-තැන හඬ නැගුණද, ඒවා අදටත් ප‍්‍රමාණවත් වී නැත. ජනතාව බලන්නේ බහුතරය දරන අදහස දෙස ය.
අධිකරණයට අපහාස කිරීමක් කියා ලිව්වේ මේ නිසා ය. ‘රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනවලට අනුව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් කර හෝ නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන්ම හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ කියන්නේ තවදුරටත් මේ කාරණය හගිස්සවන්නට හදන සියල්ලන් පෝලිමේ අධිකරණය වෙත කැ`දවිය යුතුය. ‘කෝ සාක්ෂි?’ කියා විමසිය යුතුය. ප‍්‍රගීත් එල්ටීටීඊයෙන් මුදල් ගත් බවටත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සඟවන්නට උදව් කළ බවටත් මතයක් සමාජගත කළ යුද හමුදා බුද්ධි අංශයේ අපරාධකරුවන්ට සහාය දෙන්නන්ට සහ ඒවා ඒ ආකාරයෙන්ම වාර්තා කළ මාධ්‍යවේදීන්ට එරෙහිවද මෙතෙක් ගත් පියවරක් නැත. යුද හමුදාව තවදුරටත් මේ සිද්ධියට අදාළ ලිපි ලේඛන අධිකරණයට භාරදීම මගහරිමින් සිටී. ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුර හරහා සිදු වූ බවට සාක්ෂි හෙළිදරව් වෙමින් ඇති මේ අපරාධය වසන් කිරීම දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව අපරාධමය වරදකි. ඔවුන්ට එරෙහිව වසර නවයක් තිස්සේ ගත් ක‍්‍රියාමාර්ග මොනවාද?
ප‍්‍රගීත් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන ස්ථිර තැනකට එමින් තිබිණි. එහෙත් ඊට වර්තමාන ආණ්ඩුවේ ඞීල්කාර මහත්තුරුන් ඉඩදෙන්නේ නැත. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කරන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කරන්නේය. වරක් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැ`දවූ ජනාධිපතිවරයා පවසා තිබුණේ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙසයි.
සියලූම වෘත්තීන්ට ගරු කළ යුතුය. ඒ අතර හමුදා වෘත්තිය සම්බන්ධයෙන් යුද්ධයත් සමග සමාජයේ ඇති වූ වෙනම විශේෂ කොට සැලකීමක් ඇත. එය ඡන්ද පදනමට සෘජුව බලපාන්නක් බව ජනාධිපතිවරයා වගේම මේ ආණ්ඩුවත් දන්නේය. එහෙත් එසේ කියා හමුදා වෘත්තියේ ගරුත්වය කෙළෙසමින් අපරාධ කළ අයට මුක්තියක් හිමිවිය යුතුද? එසේ මුක්තියක් ලබාදීමට රටේ ඉහළම බලධාරියා කටයුතු කරන්නේ නම් ඔහු කරන්නේද ඒ තරම්ම බරපතළ අපරාධයකි.
ප‍්‍රගීත්ලා අතුරුදන් කිරීම් විකුණා බලය ගත් මේ ආණ්ඩුවට කියන්නට ඇත්තේ එක දෙයකි. ජනතාවගේ ඔළු ගෙඩි ඇතුළේ ප‍්‍රගීත්ලා තවදුරටත් සිටී. එක් පිරිසකගේ ද්‍රෝහීන්ය. තවත් පිරිසකගේ පේ‍්‍රමීන්ය. කොහොම හිටියත් ඔවුහු ඒ ඔළුගෙඩිවලට බලපෑම් කරමින් සිටිති. ඒ බලපෑම ජනතාවගේ මුදලින්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නට සිටින ආරක්ෂක අංශ ලවා බේගල් ප‍්‍රචාරය කළාට වෙනස් වන්නේ නැත.
සන්ධ්‍යා එක්නැලිගොඩ නම් යකඩ ගැහැනිය තවදුරටත් යුක්තිය ඉල්ලන්නේය. ඇයට යුක්තිය හිමිවිය යුතුය. වසර දොළහකට පසුව හෝ ඒ වෙනුවෙන් ඇය සමග සියල්ලන් එක්විය යුතුය. ඔවුන්ගේ බලය පවත්වාගැනීම වෙනුවෙන් පක්ෂ දේශපාලනය අදාළ නැත.

– ශාලික විමලසේන
ලංකා ඉරිදා සංග්‍රහය .. 2019.01.27 මෙහි දින වකවානු අදට සරිලන ලෙස වෙනස් කර ඇත.

 

Previous articleයුක්රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික අතපෙවීම…
Next articleණයට කෑම හෙවත් ලයින් ඔෆ් ක්‍රෙඩිට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here