බොරැල්ල පල්ලියේ බෝම්බ සැලසුමේ මහමොළකරුවෝ කවරහු ද?

18

සිනමා කර්මාන්තය පසුබෑමට ලක් වීමේ හිස්තැන, කලක සිට ශ්‍රී ලංකා පොලිසිය සපුරමින් සිටී. එහෙත් සිනමා කර්මාන්තයේදී මෙන් මෙම සංදර්ශනවල නිෂ්පාදකයා කව්දැයි හෙළි කරන්නේ නැත.
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් හමු වූ බෝම්බය, මේ දිනවල තිරගත වන අලුත්ම රංගනයයි. මේ ඒ පිළිබඳ විචාරයකි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට දින 1,000ක් සැපිරෙද්දී බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් කාලබෝම්බයක් සේ සැකැසූ අත්බෝම්බයක් හමු වන්නේ ය. ඒ පසුගිය ජනවාරි 11දාය. බෝම්බය පිළිබඳව පල්ලියේ ප්‍රධාන පියතුමා බොරැල්ල පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කරන්නේ ය.
එහි දී බොරැල්ල පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණෙන අතර, ඔවුන් කළ පරීක්ෂණයෙන් පසුව පල්ලියට නිතර යන එන අවුරුදු 13ක කුඩා දරුවකුත්, පල්ලියේ සේවා කටයුතු භාර සන්ක්‍රිස්තියන්වරයාත්, විශේෂ දේව මෙහෙයක් සඳහා සූදානම් වෙමින් සිටි දායකයන් දෙදෙනකුත් අත්අඩංගුවට ගන්නේය.
රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ වන්නේ ඉන් පසුව ය. එතැනට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීහු බෝම්බය නිෂ්ක්‍රිය කළහ. මේ කාලයේ රටේ කතෝලික පල්ලි සියල්ලකම පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට දින 1,000ක් සම්පූර්ණ වීම වෙනුවෙන් විශේෂ පූජා ලකලැහැස්ති කරමින් පැවැතිණි.
බෝම්බයක් උවමනා කාටද?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර දින 1,000ක් ගත වූයේ ඉකුත් 14දා ය. ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පිරිසට සෑහීමකට පත් විය හැකි ආකාරයට සාධාරණත්වයක් ඉටු නොවීම වෙනුවෙන් සහ රටේ ජනතාව පීඩා විඳින්නා වූ සමාජ, ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කිරීමට ජාතික මට්ටමේ යාච්ඤා මෙහෙයක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධාන දේව මෙහෙය තේ වත්ත පල්ලියේ පවත්වන්නට කටයුතු කරන බවට ඊට පෙර කොළඹ
අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් විසින් මාධ්‍යයට දැනුම් දී තිබිණි.
සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බය හමු වන්නේ මේ අතරවාරයේ ය. කෙසේ නමුත්, මෙම බෝම්බයත්, නාරාහේන්පිට ලංකා රෝහලේ තිබී හමු වූ කාලබෝම්බයත් එක හා සමාන බව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබිණි. ලංකා රෝහලේ බෝම්බය එහි ඉදි කිරීම් කටයුත්තකට පැමිණ සිටි කොන්ත්‍රාත් සමාගමක සේවකයෙක් තැබූ බවත්, බියගන්වා මුදල් ලබා ගැනීමේ අරමුණින් එය කළ බවත් පොලිසිය මුලින් හෙළි කළේය.
නමුත්, පසුව ඔහුගේ සහෝදරයකු එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ බවටත්, පුනරුත්ථාපනය වූ මෙම තැනැත්තා බුද්ධි අංශයට තොරතුරු දෙන්නකු බවටත් එවක පොලිසිය කළ ප්‍රකාශ සියලු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන් නොනැවැතී ඊට සම්බන්ධ තවත් කිහිප දෙනකු නැඟෙනහිර පළාතෙන් අත්අඩංගුවට ගත් අතර, සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් මාධ්‍යය වෙත කියා තිබිණි.
මෙවර බෝම්බයේ සැකය පොලිසිය විසින් යොමු කර තිබුණේ පල්ලිය දෙසට ය. එහි අවසානය බොහෝ විට පල්ලියේ පියතුමා අත්අඩංගුවට ගැනීමෙන් අවසන් වන්නට ඉඩ ඇති බවට සැකසංකා පහළ වන ආකාරයේ කරුණු හෙළිවන්නට වූයේ ය. 13 හැවිරිදි කුඩා දරුවා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් බොහෝ බරපතළ දේ හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතා මාධ්‍ය ඔස්සේ පළ වූයේ ය.
පළපුරුදු අත්වලින් කළ වැඩක්
කෙසේ නමුත්, මෙම අත්බෝම්බයේ අගුල ඉවත් කොට එය වටා රබර් පටියක් බැඳ, රබර් පටිය වටේට ගිනිකූරු සිර කර, ගිනිකූර ඇවිළීමට හඳුන්කූරක් සවි කොට මෙය කාලබෝම්බයක් බවට පරිවර්තනය කර තිබූ බව පොලිසිය නිවේදනය කළේ ය. කෙසේ නමුත්, හඳුන්කූර අඩක් දැල් වී නිවී යෑම නිසා බෝම්බය පුපුරා ගොස් තිබුණේ නැත. මෙවැනි බෝම්බයක් මෙලෙස කාලබෝම්බයක් බවට පරිවර්තනය කිරීමට ඒ ගැන අත්දැකීම් බහුල විශේෂඥයකුට හැර වෙනත් කිසිවකුට කළ නොහැකි බව විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ හිටපු නිලධාරියෙක් අප හා කීවේ ය. එවැනි විශේෂඥයකු වුවත් මෙවැනි ක්‍රියාවක් කිරීමට දෙවරක් සිතනු ඇතැයි ද ඔහු සදහන් කළේ ය.
කාදිනල් හිමිගේ හෙළිදරව්ව
සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ පිරිස අත්අඩංගුවට ගෙන දිනකට පසු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ මාධ්‍ය හමුවක් කැඳවමින් විශේෂ හෙළිදරවු කිරීම් කිහිපයක් කළහ. පල්ලියේ ඇති සීසීටීවී රූපවාහිනී දර්ශන පොලිසිය ගෙන තිබුණේ එදින සවස්වරුවේ ඒවා පමණක් බවත්, උදය වරුවේ දර්ශන ඔවුන් පරීක්ෂා කර නැති බවත් උන් වහන්සේ හෙළි කළහ. එම දර්ශන තමන් නැරඹූ බව කී කාදිනල් හිමියෝ ඒ සියලු දර්ශන මාධ්‍ය වෙත ද නිකුත් කළහ.
එම දර්ශන අනුව එදින පෙරවරු 9.52ට පමණ සෙලෝපේන් බෑගයක් රැගත් පුද්ගලයකු කඩිමුඩියේ පැමිණ යමක් දේවස්ථානයේ මුල්ලක තබා ඉක්මනින් පිටව යන අයුරු දක්නට හැකි විය. තමන් සැක කරන්නේ මේ පුද්ගලයා බෝම්බය තබන්නට ඇති බව යැයි කී කාදිනල් හිමියෝ දේවස්ථානයේ වසර ගණනාවක සිට ආවතේව කරමින් සිටින මුනි නමැති සන්ක්‍රිස්තියන්වරයාත්, ඔහුගේ උදව්වට පැමිණි බැතිමතුන් දෙදෙනා හා පල්ලියට නිරන්තරයෙන් යන එන 13 හැවිරිදි දරුවා අත්අඩංගුවට ගෙන කරන්නේ කුමන විගඩමක්දැයි විමසා සිටියහ.
එසේම සවස් වරුවේ සීසීටීවී දර්ශන පමණක් නිරීක්ෂණය කිරීමට පොලිසිය යෝජනා කළේ කුමන පදනමක් යටතේ දැයි විමසා සිටියහ. මේ ප්‍රකාශයත් සමඟ මුලින්ම කලබල වී ඇත්තේ කොළඹ පොලිස් ලොක්කෙකි. ඒ මන්ද යත්, සවස් වරුවේ සීසීටීවී දර්ශන පමණක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් යැයි උපදෙස් දී තිබුණේ ඔහු ය.
බොරැල්ල පොලිසියෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා වැඩිදුර පරීක්ෂණ කෙරුණේ මෙම නිලධාරියාගේ උපදෙස් අනුව බව පොලිසිය තුළ කසුකුසුවක් මතුව තිබේ. කෙසේ නමුත්, පොලිසියේ මෙම රංගනය සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ට තොරතුරු ලබා දී තිබුණේ ද පොලිස් අභ්‍යන්තරයෙන්ම බවට මේ වන විට තොරතුරු හෙළි වෙමින් තිබෙන්නේ ය.
එසේම කතෝලික ආගමික විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් කාදිනල් හිමියන් සමඟ බොරැල්ල පල්ලිය වෙත පැමිණ පල්ලිය හා එදින පෙරවරුවේ පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල පටිගතව තිබූ දර්ශන පරීක්ෂා කර ඇති බවට ද තොරතුරු දැනගන්නට තිබේ. කාදිනල් හිමියන් මාධ්‍ය හමුවක් කැඳවන්නේ එම තොරතුරු අනුව ය.

පොලිස් ඇමතිගේ ප්‍රතිචාරය
කාදිනල් හිමියෝ පොලිස් නිලධාරීන්ට නිල කබා ගලවා යන ලෙසට ද කියා සිටියහ. කාදිනල් හිමියන්ගේ මාධ්‍ය හමුවට මුලින්ම පිළිතුරු දෙන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකරය. ගම්පහ දිස්ත්‍රික්කයේ නුංගමුව පොලිසිය විවෘත කර පිටතට පැමිණි ඇමැතිවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කළේ ය.
මුනි නමැති සන්ක්‍රිස්තියන්වරයාගේ කාමරයේ තිබී බෝම්බයේ තිබූ ගිනිකූරු ගත් කූරු අඩු ගිනිපෙට්ටිය සහ හඳුන්කූරු ඇලවීමට භාවිත කළ සෙලෝටේප් හමු වූ බව ඇමැතිවරයා මාධ්‍යය හමුවේ කියා සිටියේ ය. ගිනිපෙට්ටියේ අඩු වී තිබුණු ගිනිකූරු 15ක් ගැන ද ඔහු සඳහන් කළේ ය. සන්ක්‍රිස්තියන්වරයා පල්ලියේ බෝම්බයක් අටවා එය පිපිරෙන්නට හැර ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක ස්වරූපයක් ගැන ඇමැතිවරයා නොකියා කීවේ ය.
අවසානයේ ඔහු නාරාහේන්පිට ලංකා රෝහලේ බෝම්බය ගැන ද කියා මෙම බෝම්බ දෙකම මහමොළකරුවකුගේ වැඩක් බවත්, මේ පසුපස ඇත්තේ රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් කීවේ ය. මෙවැනි අවස්ථාවක කාදිනල්වරයා කළ යුත්තේ ලැබෙන තොරතුරු පොලිසියට ලබා දීම මිස මාධ්‍යයට ලබා දීම නොවන්නේ යැයි ද සඳහන් කළේ ය.
මේ අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියා සිටියේ, පොලිස්පතිගේ ලෝගුව ගලවන්න පොලිස්පතිට ලෝගුව දුන්නේ කාදිනල් හිමියන් ද යන්න ය. කාදිනල් හිමියන් පොලිසිය භාර ඇමැතිගේ කතාවට පිළිතුරු දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට දින 1,000ක් සපිරීම වෙනුවෙන් පැවැති දේව මෙහෙයේ දී ය. එහි දී කාදිනල්තුමන් කීවේ, “ඔය කතා අපට නොවෙයි… ගිහින් කියන්න කොණ්ඩේ බැඳපු චීන්නුන්ට…” කියා ය.
කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයට උත්තර බැඳීමට ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති ගලගොඩ අත්තේ ඥානසාර හිමි ද එක්විය. “දැන් මොක ද කරන්න කියන්නේ…? කාදිනල්ට පොලිස්පතිකම දෙමු. ඒක තමයි, දැන් ජනාධිපතිතුමාට යෝජනා කරන්න සිද්ධ වෙන්නේ…” යනුවෙන් ඥානසාර හිමි කාදිනල්තුමන්ට උත්තර බැන්දේ ය.
බුද්ධි අංශ සොයාගත් දේ
රටේ කතාබහට ලක් වූ සිද්ධියක් බැවින්, රාජ්‍ය බුද්ධි සේවය ද මේ ගැන තොරතුරු සොයන්නට විය. බුද්ධි නිලධාරීහු ද කාදිනල් හිමියන් දුන් තොරතුරු ඔස්සේ යමින් නොණ්ඩි ගසමින් උදේ 9.52ට දේවස්ථානයට පැමිණ බෝම්බය තැබූ පුද්ගලයා ගැන සොයන්නට පටන් ගත්හ. මෙම තැනැත්තා එදින කඩවතින් 154 අඟුලාන බස් රථයකට ගොඩ වී බොරැල්ලෙන් බැස දෙවස්ථානයට පැමිණ බෝම්බය තබා පසුව ත්‍රිරෝද රථයකින් වැලිකඩ බන්ධනාගාරය දෙසට ගමන් කරන ආකාරය 14දා සවස වන විට බුද්ධි අංශ විසින් සොයාගෙන තිබිණි.
බුද්ධි අංශ හෙළි කර ගත් තොරතුරු අනුව බෝම්බය තැබූ පුද්ගලයා 15දා සවස අත්අඩංගුවට පත් වන්නේ, ඇඹිලිපිටියේ සිටිය දී ය. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් ඇඹිලිපිටියට ගොස් මොහු අත්අඩංගුවට ගත්තේ ය. කඩවත, මංකඩ පාරේ පදිංචිව සිටින මොහු රත්මලාන ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු රුපියල් 50,000.00කට දුන් කොන්ත්‍රත්තුවක් මත මෙම බෝම්බය ගෙන ගොස් පල්ලියේ තැබූ බවට හෙළි කර ඇතැයි මෙරට සියලු මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
නමුත්, පසුව මොහු තමන්ට මෙම කොන්ත්‍රාත්තුව දුන්නේ පිළියන්දල සිටින විශ්‍රාමික වෛද්‍යවරයකු බවට කළ ප්‍රකාශයකට අනුව මේ වන විට එම වෛද්‍යවරයා ද අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ නමුත්, මෙම සැකකරු මංකොල්ලකෑම් වැනි අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මීට පෙර ද පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට වාර්තා වෙයි.
සැකකරුගේ ප්‍රකාශ මත කටයුතු කරන පොලිසිය වෛද්‍යවරයාගේ පිළියන්දල නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී අත්අඩංගුවට ගත් ආයුධ බවට මාධ්‍යයට ආයුධ රැසක් පෙන්වා ඇත. එහි පිස්තෝල 4ක්, ගිනි අවියක් මෙන්ම පිහි දෙකක් තිබූ අතර එකක් රම්බෝ පිහියක් බව ද මාධ්‍ය කියා සිටියේය. මෙම ආයුධ සහිත දර්ශන මාධ්‍ය වෙත පැමිණ තිබුණේද පොලිසියෙනි.
– ලසන්ත වීරකුලසූරිය

Previous article“විදුලිය කපන්නේ නෑ, නෞකා දෙකකට ඩොලර් ගෙවන්න තීරණය කළා”
Next articleවිදුලි අර්බුදයට මොකද වෙන්නෙ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here