විදුලි අර්බුදයට මොකද වෙන්නෙ?

15

රටේ බලශක්ති ක්ෂේත්‍රය මුහුණ පා සිටින අර්බුදය, වත්මන් ආණ්ඩුවේ අසමත්භාවයත් ඒ හේතුවෙන් රට මුහුණ පා සිටින අනතුරුදායක ඉරණමත් වටහාගැනීම සඳහා ප්‍රබලම නිදර්ශනයකි. ඇමතිවරුන් මොන්ටිසෝරි දරුවන් මෙන් එකිනෙකාට චෝදනා කරගන්නා ව්‍යාජ සංදර්ශනය පිටුපස ඇති බිහිසුණු යථාර්ථය මෙම ලිපියෙන් හෙළි කරයි.
ඉන්ධන අර්බුදයත් සමඟ මේ වන විට විදුලිය අර්බුදයක් ද නිර්මාණය වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන නොලැබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය සතු තාප බලාගාර තුනක් ඉකුත් බදාදා සවස වන විට වසා දමා තිබිණි. ඒ අතර කැලණිතිස්ස තාප බලාගාරය, සපුගස්කන්ද බලාගාරය හා තවත් බලාගාර කිහිපයක් තිබේ.
තාප බලාගාරවල අර්බුදය මතුව ආයේ ඉකුත් සති දෙකක සිට ය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා දීම වෙනුවෙන් අය විය යුතු මුදල් නොලැබීම මත තව දුරටත් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් කළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති උදය ගම්මන්පිල ප්‍රකාශ කිරීමත් සමඟ මේ අර්බුදය මතු විය.
ඛනිජ තෙල් අමාත්‍යාංශයත්, විදුලිබල අමාත්‍යාංශයත් එක්ව සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුව ද සාකච්ඡා අවසන් වූයේ ප්‍රතිඵලයක් රහිතව ය. ඉන්ධන සඳහා මුදල් ගෙවීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති වීමත්, තෙල් සංස්ථාවට ඉන්ධන නොමැති වීමත් යන කාරණා මත ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාද විය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව ජනතාවට නිවේදනය කළේ ය.
එම දැනුම් දීමත් සමඟ ජනාධිපතිවරයා ද මැදිහත් වී ප්‍රශ්නය විසඳීමට සූදානම් වුව ද, එය ද අසාර්ථක විය. අවසානයේ ජනාධිපතිවරයා විදුලිබල මණ්ඩල නිලධාරීන්ට කීවේ ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට විදුලිය කප්පාදු කරන ලෙස ය.
හතරබීරි උපදේශය
විදුලිබල මණ්ඩල සේවකයන් ඔවුනොවුන්ගෙන් විමසා සිටියේ ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස විදුලිය කප්පාදු කරන්නේ කෙසේ ද යන පැනය ය. විදුලිය කප්පාදුව යනු ජනතාව අපහසුතාවට පත් වන්නකි. නවීන තාක්ෂණයත් සමඟ සිටින ජනතාව විදුලිය කප්පාදුව හමුවේ අසරණ වන්නේ ඔවුන් සැම විද්‍යුත් උපකරණ හා සම්බන්ධව සිටින බැවිනි.
විදුලිබල ඇමැති විදුලිය කප්පාදු නොකරන බව මාධ්‍ය ඉදිරියේ කියූ දිනයේ රාත්‍රියේ ද විදුලිය කපාහරිනු ලැබී ය. ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය වැඩියෙන්ම උත්පාදනය කරන්නේ ජලයෙනි. එහෙත් එය රටේ විදුලිය අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන බැවින්, තාප විදුලි බලාගාර ඉදිකිරීමට ද විදුලිබල මණ්ඩලය කටයුතු කළේ ය.
ඒ අනුව කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් පවතින අතර, ඉන් එකක් ඩීසල් විදුලි බලාගාරයක් වන අතර අනෙක දැවිතෙල් බලාගාරයකි. විදුලිබල මණ්ඩලය සතු මෙම විදුලි ජනක යන්ත්‍ර දෙක නිවා දැමීමට සිදුව ඇත්තේ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැවිතෙල් හා ඩීසල් නොමැති වීම හේතුවෙනි. එම නිසා කිහිප විටක්ම ඉන්ධන නොමැතිකමින් මෙම බලාගාරය වසා දැමීමට විදුලිබල මණ්ඩලයට සිදු විය.
එය අවසන් වරට වසා දැමුණේ ඉකුත් 18 දා රාත්‍රියේ ය. සපුගස්කන්ද දැවිතෙල් බලාගාරය ද මේ වන විට වසා දමා තිබෙන්නේ ඉන්ධන නොමැතිකමිනි. කැලණිතිස්ස හා සපුගස්කන්ද බලාගාර වසා දැමීම හේතුවෙන් දෛනිකව මෙරට අහිමි වන විදුලිය ධාරිතාව මෙගාවොට් 450කි. ඊට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත්, තවමත් එය යථා තත්ත්වයට පත් කොට නොමැත.
ඊට අමතරව කොළඹ වරායේ ඇති ‘බාච් ටවර්’ බලාගාරය ද, උතුරුදනවි බලාගාරය ද ඉන්ධන නොමැතිකමින් මේ වන විට වසා දමා තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා නොදීම නිසා විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අයි.ඕ.සී. සමාගම සමඟ සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළ ද, අයි.ඕ.සී. සමාගම සමඟ විදුලිබල මණ්ඩලය කළ සාකච්ඡා ද අසාර්ථක විය. එයට හේතුව වූයේ ඔවුන් ද ණයට ඉන්ධන ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කිරීම ය.
 
අස්ථාවර තත්ත්වයක්
අවසානයේ තෙල් සංස්ථාව කැලණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබා දීමට එකඟ වූයේ ලබන 22දා දක්වා පමණකි. නොරොච්චෝලේ බලාගාරයේ කාර්මික දෝෂය අවසන් කොට ඒ වන විට විදුලිය උත්පාදනය කළ හැකි බවට ප්‍රකාශ කර තිබීම නිසා එම දිනය දක්වා ඉන්ධන ලබා දෙන බව තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කීවේ ය.
විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දුනහොත්, රටේ ජනතාවට ඩීසල් නැති වන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ය. තෙල් සංස්ථාව ඉන්ධන ලබා දෙන බව කීව ද, ඉන්ධන නොලැබීම නිසා 19 දා සවස ද විදුලිය කප්පාදුවකට යෑමට විදුලිබල මණ්ඩලයට සිදු විය. ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේ පවතින අර්බුදය හේතුවෙන් පැය කිහිපයක් රට අඳුරේ තැබෙනු ඇත.
මේ බලාගාර දෙක වෙනුවෙන් දිනකට ඉන්ධන මෙටි්‍රක් ටොන් 1,500ක් අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. මේ අතර ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටින්නේ, රට තුළ තෙල් ඇත්තේ දින 7කට පමණක් බව ය. ඉන්ධන නැවක් පැමිණීම නිසා එම ප්‍රශ්නය අවසන් වූ බව ද ඔහු කීවේ ය. කෙසේ නමුත්, විදුලිබල ඇමැතිවරයා හා බලශක්ති ඇමැතිවරයා ආණ්ඩුව අභ්‍යන්තරයේ විසඳාගත යුතු යුතු ප්‍රශ්නයක් රට ඉදිරියට ගෙනැවිත් තිබේ.
ඉකුත් 18දා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් නිකුත් කිරීම හේතුවෙන්, මෙරට මුහුද මැද රඳවා තිබූ නෞකා දෙකකින් ඉන්ධන ලබා ගනු ලැබී ය. එම නෞකා දෙක ද මෙරට මුහුදු සීමාවට පැමිණ සති දෙකක් ඉක්ම ගිය පසු මෙලෙස මුදල් නිකුත් කළ ද, ඒ වෙනුවෙන් අමතර ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට තෙල් සංස්ථාවට සිදුව තිබේ. එම ඉන්ධන නෞකාවෙන් ගොඩ බෑ ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500ක ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනයට ලබා දෙන ලෙස තමන් තෙල් සංස්ථාවට උපදෙස් දුන් බව ද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විදුලිබල මණ්ඩලය දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 1,500ක් ඉල්ලා තිබේ. තෙල් සංස්ථාව මෙය දුන්න ද, එය ද ප්‍රමාණවත් වන්නේ දින 8කට පමණකි. තෙල් පිරිපහදුව වසා දමා ඇති බැවින්, දැවි තෙල් නිෂ්පාදනය කෙරෙන්නේ ද නැත. එම නිසා කැලණිතිස්ස බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් හා සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැත. ඩොලර් අර්බුදය හේතුවෙන් බොරතෙල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව මේ වන විට වසා දමා තිබේ.
 
ඉන්දියාව දෙසට හැරීම
පිරිපහදු කළ ඉන්ධන ඒ අනුව ලංකාවට ආනයනය කරනු ලබයි. නෞකා දෙකෙන් ගොඩ බෑ ඉන්ධන ද ප්‍රමාණවත් වන්නේ තවත් මාසයක් වැනි කාලයකට පමණි. එම කාලය තුළ ද ඉන්ධන ගෙන්වීමට නොහැකි වුවහොත්, නැවත විදුලිය අර්බුදය මෙන්ම රටේ ප්‍රවාහන අර්බුදය ද උග්‍ර අතට පත් වනු නොඅනුමාන ය. රජය මේ වන විට සූදානම් වන්නේ ඉන්දියානු තෙල් සමාගම හරහා ඉන්ධන ලබා ගැනීමට ය. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඩොලර් මිලියන 500ක් ඉන්දියාව ලබා දෙන අතර එයින් ඩොලර් මිලියන 400ක් වැය කොට ඉන්දියානු තෙල් සමාගම හරහා ඉන්ධන මෙරටට ලබා ගැනීමට ආණ්ඩුව සූදානම්ව සිටී.
එහෙත්, තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු කීවේ, ඩොලර් මිලියන 400කින් ගෙන්වන තෙල් ද ප්‍රමාණවත් වන්නේ මාස එකහමාරක කාලයක් වෙනුවෙන් පමණක් බව ය. රටේ ඩොලර් අර්බුදය මත විදුලිය අර්බුදයක් මෙන්ම ප්‍රවාහන අර්බුදයක් ද නිර්මාණය වී තිබේ.
 
මණ්ඩලේ අර්බුදය
ඉන්ධන අර්බුදයට සමානවම විදුලිබල මණ්ඩලය තුළ නිර්මාණය වී ඇති තවත් අර්බුදයක් වන්නේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ ගැටලුව ය. ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී අර්. එම්. රණතුංග ඉකුත් 12දා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ සාමාන්‍යාධිකාරී තනතුරට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින විදුලි ඉංජිනේරුවරයා පත් කරන ලෙස විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ඉල්ලා සිටියේ ය.
ඒ අතර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇමැතිවරයාගේ නියෝගය මත වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයකු පත් කළේ ය. ඔහු විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරන ආචාර්ය සුසන්ත පෙරේරා ය. එම පත්වීමට විරෝධය පළ කරමින් ඉකුත් 18දා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වය ලෙඩ නිවාඩු දැමූ අතර 19දා සවස සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ ය.
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ, අකුරට වැඩ කිරීමේ පළමු පියවර ලෙස රාජකාරී වේලාවෙන් පසු හදිසි බිඳවැටීම්වලට හා අත්‍යවශ්‍ය රාජකාරීවලට සම්බන්ධ වන නමුත්, තමන්ගේ ඉල්ලීමට සාධාරණ විසඳුමක් දින 3ක් තුළ නොලැබුණහොත්, අකුරට වැඩ කිරීමේ දෙවන පියවර වන උදේ 8.15ත් සවස 4.15ත් අතර රාජකාරි කාලයේ පමණක් රාජකාරී කිරීමේ පියවරකට අවතීර්ණ වන බව ය. එයට ද පිළිතුරක් නොලැබුණහොත්, තම සංගමය වැඩ වර්ජනයකට යාමට පවා සූදානම් බව ද සභාපතිවරයා කියා සිටියේය.
ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ, වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉවත් කොට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊ ළගට සිටින අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කළ යුතු බව ය. දෙවන ඉල්ලීම වනුයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු එම තනතුරින් ඉවත් කළ යුතු බව ය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පත් විකුණා දැමීමට කටයුතු කරන පුද්ගලයකු සභාපති පුටුවේ නොසිටිය යුතු බව සෞම්‍ය කුමාරවඩුගේ කියා සිටියේ ය. එම නිසා වහාම ඔහු එම තනතුරෙන් ඉවත් විය යුතු බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා සදහන් කළේ ය.
 
‘අමුතු තීන්දුවක්’
එය කෙසේ නමුත්, විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී ගෙන ඇත්තේ අමුතු තීන්දුවකි. එනම් නව සාමාන්‍යාධිකාරී පත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීම ය. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, හිටපු සාමාන්‍යාධිකාරීවරයා තමන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ දමන ලෙස කළ ඉල්ලීමට හා ඊට විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටින ආචාර්ය රොහාන්ත අබේසේකර අධිකරණයට කරුණු දැක්වීම ය.
එම කාරණය පෙන්වා දෙමින්, විදුලිබල මණ්ඩලය මේ වන විට නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට යොමු වී සිටියි. නිතිපති උපදෙස් ලැබෙන තුරු නව සාමාන්‍යාධිකාරීවරයකු පත් කළ නොහැකි බවත්, එතෙක් පරිපාලන කටයුතු කරගෙන යාමට වැඩ බලන සභාපතිවරයෙකු සිටිය යුතු බවත් ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව වී ඇත.
නමුත්, විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ එවැනි අවශ්‍යතාවයක් මතු නොවන්නේ, මේ වන විටත් අභියාචනාධිකරණය හිටපු සාමාන්‍යාධිකාරීවරයා අවුරුදු 60න් විශ්‍රාම යා යුතු බවට නිර්දේශ කර ඇති නිසා බව ය. එම නිසා සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සුදානම් වන්නේ නීති උපදෙස් යැයි කියමින් නව සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීම කල් ඇදීමට යැයි ද සංගමය පෙන්වා දෙයි.
එම නිසා ඉන්ධන අර්බුදයට මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීමේ අර්බුදයට ද විදුලිබල මණ්ඩලය මුහුණ දෙමින් සිටියි. මෙම සියලු කාරණා මත රටේ විදුලිය පවතින්නේ අර්බුදකාරී තැනක ය. එම නිසා 19 වැනි දින විදුලිය කප්පාදුවකට යාමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේ ය. රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය ස්ථාන හැර අනෙක් ප්‍රදේශවල විදුලිය කප්පාදුවක් කළ බව විදුලි ඉංජිනේරු සංගමය ද සදහන් කළේය.
ඩොලර් අර්බුදය හමුවේ බලශක්තිය පවතින්නේ අර්බුදයක ය. එය ජනතාවට ඉදිරියේ දී කුමනාකාරයකින් අත්විඳීමට සිදු වනු ඇති දැයි තවම කිව නොහැකි ය.
– ලසන්ත වීරකුලසූරිය

Previous articleබොරැල්ල පල්ලියේ බෝම්බ සැලසුමේ මහමොළකරුවෝ කවරහු ද?
Next article“අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලු ම ප්‍රවණතාවයන්ගෙ ආරම්භය 70 දශකය තුළ සිද්ධ වුණා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here