වැලිකඩ සමූහ ඝාතනයේදී තෝරාගත් රැඳවියන් මරා දැමූ බව හෙළි වෙයි !

23

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් වාතාවරණයක් පාලනය කිරීමෙන් පසු 2012 වසරේ නොවැම්බර් 10 වැනිදා තෝරාගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට සාක්කිකරුවන්ගේ සාක්කිවලින් අනාවරණය වී යැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 12 දා සිද්ධියට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය. එම ඇතැම් සාක්කිකරුවන්ගේ සාක්කි විශ්වසනීය සාක්කි ලෙස පිළිගන්නා බව ද අධිකරණය මෙහිදී පැවසීය.
මෙම ලැයිස්තුගත සමූහ ඝාතනයේදී 27 දෙනෙකු ඝාතනය කෙරිණි. ඒ අතරින් 8 දෙනෙකුගේ ඝාතනවලට අදාළ ව නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ නඩුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
මිය ගිය අටදෙනා පිටතින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පිරිස ප්‍රමුඛව පැහැර ගෙන ගොස් ඇති බව සාක්ෂි තුළින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති බව ද, බන්ධනාගාරය තුළ සිදු වන විවිධ දූෂණ සහ අකටයුතුකම් මැඩලීමට බලධාරීන් විසින් දෝසිදි මෙහෙයුමක් දියත් කර ඇති බව ද, එහිදී ඇතිවූ කලබලකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගෙන බාහිරින් පැමිණි තිදෙනකු සම්බන්ධ වී හමුදා ඇඳුමෙන් සිටි පිරිසකගේ ද සහාය ඇතිව මාලන්, නිර්මල අතපත්තු, ගුණ්ඩු, කළුතුෂාර, කපිල සහ මංජුශ්‍රී යන අයගේ මරණයන් සිදු කර ඇති බවට ප්‍රබල සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන්නේ යැයි ද මහාධිකරණය සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත සමූහ ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණය, හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා එක් චෝදනාවකට වරදකරු කරමින් ඔහුට මරණ දඬුවම නියම කළේය.
ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
චෝදනා 33ක්
වැලිකඩ බන්ධනාගාරයේදී 2012 නොවැම්බර් මස 09 වැනිදා සහ 10 වැනිදා තෝරාගත් රැඳවූවන් 08 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකු වූ රංගජීව නෙවමාල් මහතාට, එවකට බන්ධනාගාර අධිකාරිවරයකු වූ එමිල් රංජන් ළමාහේවා මහතාට සහ බන්ධනාගාරයේ බුද්ධි ප්‍රධානියකු වූ ඉන්දික සම්පත් ඉමදූවගේ මහතාට එරෙහිව නීතිපතිවරයා චෝදනා 33ක් යටතේ නඩු පවරා තිබිණි. මෙම නඩුවේ විභාගය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, තීන්දුව ජනවාරි 06 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට දින නියම කළේය. කෙසේ වෙතත් එදින නඩුව කැඳවීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජනවාරි 12 වැනිදා පස්වරු 1.30 තෙක් කල් තැබිණි.
මෙම නඩුවේදී විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව චෝදනා 33ක් එල්ල කර තිබුණු බවත්, නඩුව අතරතුරදී සාක්කි නොමැති වීම හේතුවෙන් තුන්වැනි විත්තිකරු නිදහස් කළ බවත්, පළමු හා දෙවැනි චූදිතයන්ට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා සනාථ වී ඇත්දැයි සාක්කි ආශ්‍රයෙන් විශ්ලේෂණය කර බැලූ බවත් සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රකාශ කළේය. අනතුරුව නඩු තීන්දුවේ සාරාංශය ඉදිරිපත් කිරීම සඳහා සෙසු විනිසුරුවරුන් දෙදෙනාට අවස්ථාව ලබා දෙන බව සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළ අතර, විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මුලින්ම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළේය.
සාක්කි වාර්තා පිටු 5,000ක්
මෙම නඩුවේදී පළමු සහ දෙවැනි චූදිතට එරෙහිව චෝදනා 33ක් යටතේ නඩු විභාගය පැවති බවත්, චෝදනා සනාථ කිරීම සඳහා ඇසින් දුටු සාක්කිකරුවන් හතර දෙනකු ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන් 40 දෙනකු සහ ලේඛන 93ක් ඉදිරිපත් කළ බවත්, සියලු සාක්කි යතුරුලියනය කළ පිටු 5,000කට අධික ප්‍රමාණයකින් යුක්ත බවත් විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ඊට අමතරව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අමතරව සාක්කිකරුවන් කිහිපදෙනකු කැඳවූ බව ද, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ සිට නඩු විභාගය පැවැති බවද, නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්කිකරුවන් හතර දෙනකුගේ සාක්කි ඉදිරිපත් වූ බව ද විනිසුරු හෙට්ටිආරච්චි මහතා කීවේය.
විශේෂ කාර්ය බලකායේ 700ක් ඇවිත්
බන්ධනාගාරයේ සෝදිසි කිරීමකට බව කියමින් කිසිම පූර්ව අවසරයක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ 700කට ආසන්න පිරිසක් බන්ධනාගාරයට ඇතුළු වී ඇති බවත්, ඔවුන් මරණ දඬුවම ලබා සිටි සිරකරුවන් සිටින වාට්ටුවලට ගොස් ඇති බවත්, එහිදී යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති බවත්, පසුව වෙඩි හඬ කිහිපයක් ඇසුණු බවත් සාක්කිවලදී කියැවුණු බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය. පොලිස් විශේෂ කාර්ය බලකාය පිටව ගිය පසු බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් තත්ත්වය යම් ආකාරයකට සමනය වී ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සිටි අවස්ථාවේ රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ තිබූ ගිනි අවි කිහිපයක් රැගෙන ගොස් ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බලකාය පිටව ගිය පසු එම ගිනිඅවිවලින් කිහිපයක් බන්ධනාගාර බාරයට ගෙන ඇති බවත් සාක්කිවලදී සඳහන් විය.
පසුව යුද හමුදාව යුනිකෝන් රථ දෙකක්ද සමඟ බන්ධනාගාරය තුළට ගිය බව ද, ඉන්පසු තත්ත්වය සම්පූර්ණයෙන් ම පාලනය කළ බව ද, සැකකරුවන් අත වූ අනෙකුත් ගිනි අවි යුද හමුදා නිලධාරීන් රැගෙන බන්ධනාගාර නිලධාරීන්ට බාර දුන් බව ද, පසුදා අලුයම වන විට සිවිල් ඇඳුමෙන් පැමිණි දෙදෙනකු රැඳවූවන් පිරිසක් තෝරාගෙන වෙනත් ස්ථානවලට රැගෙන ගොස් ඇති බව ද, ඔවුන්ගේ සිරුරු පසුව සොයාගත් බව ද සාක්කිවලින් කියවී තිබිණි.
නාකොටික් රංගජීව බන්ධනාගාරයට
පොලිස් විශේෂ කාර්ය බලකායේ 700කට ආසන්න පිරිසක් පැමිණ පිටව ගිය පසු යුද හමුදාව පැමිණි බවත්, ඉන්පසු සිවිල් ඇඳුමින් දෙදෙනකු බන්ධනාගාරයට පැමිණි බවත්, ඉන් එක් අයකු නිල් පැහැති කොට කලිසමක් ඇඳ සිටි බවත්, ඔවුන් බන්ධනාගාරය තුළට යද්දී එතැන සිටි අයකුගෙන් ඒ කවුරුන්දැයි විමසූ විට ඔහු ‘නාකොටික් රංගජීව’ බව ප්‍රකාශ කළ බවත්, වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයකු වූ මෙම නඩුවේ පැමිණිල්ලේ දෙවැනි සාක්කිකාර පල්ලේකුඹුර වලව්වේ කුඩාබණ්ඩාරගේ සාක්කියෙන් අනාවරණය වී යැයි මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
මාලන් (කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල), කපිල (අන්දුපුලිගේ ජෝතිපාල) සහ මංජු ශ්‍රී (හර්ෂ ශ්‍රී මහකීර්ති පෙරේරා) යන රැඳවූවන් තිදෙනා පළමුවැනි චූදිත නෙවමාල් රංගජීව විසින් ඔවුන් පෝලිම් කර සිටි තැනින් වෙනත් තැනකට රැගෙන ගොස් ඇති බවත්, පසුව ඔවුන්ගේ සිරුරු හමුවූ බවත් එම සාක්කියෙන් කියැවිණි.
එමෙන්ම නඩුවේ දෙවැනි චූදිත එමිල් රංජන් ළමාහේවා විසින් කොණ්ඩ අමිල (මලලගේ මලිත් සමීර පෙරේරා) නම් පුද්ගලයා රැගෙන ගිය බවත්, පසුව ඔහුගේ සිරුර සොයාගත් බවත් කුඩාබණ්ඩාරගේ සාක්කියෙන් අනාවරණය වී යැයි අධිකරණයේදී කියැවිණි. බන්ධනාගාරයේ ගැටුමෙන් පසු අවි බාර ගත් ජී. එල්.ඩබ්ලිව්.නානායක්කාරගෙන් එමිල් රංජන් ළමාහේවා ගිනි අවි හතරක් ඉල්ලා සිටි බව ද, නානායක්කාර මුලින් අවි දීමට අදිමදි කරද්දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි ‘අයිසේ වෙපන් ඉක්මනින් දෙනවා’ යනුවෙන් ප්‍රකාශ කළ බව ද, ඔහුගේ කීමෙන් පසු ගිනි අවි හතර එමිල් රංජන්ට බාර දුන් බව ද, පසුව එම ගිනි අවි හතර මිය ගිය රැඳවූවන් අසල තිබෙනු දුටු බව ද කුඩාබණ්ඩාර සිය සාක්කියේදී ප්‍රකාශ කළ බව නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා කීවේය.
කුඩාබණ්ඩාරගේ සාක්කිය පිළිගනී
කුඩාබණ්ඩාර නම් ජේලර්වරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඇතැම් තොරතුරු 2015ට පෙර ලබාදී නැති බවත්, 2015න් පසු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න සහ බන්ධනාගාරයේ උසස් නිලධාරීන් හරහා එවකට අධිකරණ හා බන්ධනාගාර බාර අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා ඉදිරියේ සියලු කරුණු ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේම සාක්කියෙන් ප්‍රකාශ කර තිබේ. 2015ට පෙර පළමු සහ දෙවැනි විත්තිකරුවන් ගැන ප්‍රකාශ කර නැත්තේ එවකට තර්ජන තිබූ නිසා බවට ද ඔහු ප්‍රකාශ කර ඇත. ඔහු දේශපාලන හේතූන් නිසා සහ ද්වේෂ සහගතව පළමු සහ දෙවැනි විත්තිකරුවන් මෙම නඩුවට ඈඳමින් සාක්කි ලබාදී ඇති බව විත්ති පාර්ශ්වයෙන් මතු කළ ද, ඔහුගේ සාක්කිය විශ්ලේෂණය කිරීමේදී එම සාක්කිය ද්වේෂ සහගත බවකින් තොරව තමන් දුටු සත්‍ය සිදුවීම ප්‍රකාශ කර ඇති බවට අධිකරණය තීරණය කරන බව ද මහාධිකරණය සඳහන් කළේය.
පළමුවැනි විත්තිකාර රංගජීව 10 වැනිදා අලුයම නම් අඬගසමින් සැකකරුවන් තෝරාගෙන රැගෙන ගිය බවට ඇසින් දුටු සාක්කිවලින් අනාවරණය වී යැයි ද, පසුව වෙඩි ශබ්ද ඇසුණේ යැයි ද, රැගෙන ගිය කිහිපදෙනාගේ සිරුරු පසුව සොයාගැනුණේ යැයි ද සාක්කිකරුවන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් මහාධිකරණය ප්‍රකාශ කළේය. ‘වැටිලා ඉන්න කෙනාට පණ තියෙනවා. ඔ්කව ඉවර කරන්න’ යැයි පළමු විත්තිකරු ප්‍රකාශ කළ බවට වූ සාක්කියක් ද අධිකරණයේදී ඉදිරිපත් විය.
මෙම නඩුවේ පැමිණිල්ලේ තුන්වැනි සාක්කිකරු වූයේ ඉන්දික පෙරේරා නම් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි පුද්ගලයෙක් ය. නඩුවේ පළමුවැනි විත්තිකරු (රංගජීව) සාක්කිකරුගේ සහෝදරයාගේ (අන්දුපුල්ලිගේ ජෝතිපාල) මුහුණට එළිය කරමින් ඔහුව ගත් බවත්, එවිට ‘රංගජීව මහත්තයා අපට එළියේ ඉන්න දෙන්නෙත් නෑ. ඇතුළෙ ඉන්න දෙන්නෙත් නෑනේ’ යනුවෙන් ඔහු කී බවත්, පසුව සහෝදරයා මරා දමා තිබුණු බවත් එම සාක්කියෙන් කියැවිණි.
පළමු විත්තිකරු එළියට ගිහින් ඇතුළට ඇවිත්?
මෙම නඩුවේ දෙවැනි, තෙවැනි සහ හතර වැනි සාක්කිකරුවන්ගේ සාක්කි පිළිගත හැකි සාක්කි බවට අධිකරණය තීරණය කළ බවත්, එම සාක්කි අතර පළමුවැනි විත්තිකරු ස්ථාන දෙකකදී වේලාවන් දෙකකදී දුටු බවට මතුවූයේ පරස්පර සාක්කි බවට වූ තර්කය බැහැර කරන බවත්, සාක්කිකරුවන් දෙදෙනා විත්තිකරු දැක ඇත්තේ අවස්ථා දෙකකදී බවත්, එනම් විත්තිකරු ඇතුළේ සිට එළියට ගොස් යළි ඇතුළට පැමිණීම සාක්කිකරුවන් දෙදෙනා අවස්ථා දෙකකදී දැක ඇති බවත් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය ප්‍රකාශ කළේය.
එමෙන්ම සාක්කිකරුවන්ගේ ප්‍රකාශවල සිදුවීම සම්බන්ධයෙන් වූ වේලාවේ පැය එක හමාරක පමණ වෙනසක් නිරීක්ෂණය වුවද, මෙය පැය ගණනක් දිගට ඇදුණු සිදුවීමක් වීම හා වසර ගණනකට පසු සාක්කි ලබාදීම නිසා එවැනි වෙනසක් සිදුවීම සාමාන්‍ය දෙයක් යැයි අධිකරණය තීරණය කළේය.
නඩුවේ ඇසින් දුටු සාක්කිකරුවකු වන සුදේෂ් නන්දිමාල්ගේ සාක්කිය අසත්‍යයක් බවට සහ ඔහු පොලිසියට හා විවිධ ආයතනවලට පැමිණිලි කරමින් සිරකරු අයිතිවාසිකම් ගැන කටයුතු කරන නිසා සම්පූර්ණයෙන්ම අවිශ්වාස කළ යුතු බවට විත්තියෙන් ඉදිරිපත් වූ තර්ක බැහැර කරන බවත්, නන්දිමාල්ගේ සාක්කිය අවිශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි බවත්, ඔහු යම් අතිශයෝක්තියකින් තමන් දුටු දේ ප්‍රකාශ කර ඇති බවට නිගමනය කරමින් ඔහුගේ සාක්කිය මෙම නඩු තීන්දුව ලබාදීමේදී සලකා බලා නැති බවත් තීන්දුවේදී ප්‍රකාශ විය.
ඉදිරිපත් වූ සාක්කි සලකා බැලීමට සහ පිළිගැනීමට හේතු ද අධිකරණය සංක්ෂිප්ත වශයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැහැදිලි කළේය. සාක්කිකරුවන් වෛරයෙන් හෝ ද්වේෂයෙන් සාක්කි ලබා දී නැති බවට අධිකරණය නිගමනය කිරීමට හේතු ද සඳහන් කෙරිණි.
අවුරුදු පහක් හරි විමර්ශනයක් නෑ
වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් 2017 වසර දක්වා නිසි විමර්ශනයක් සිදුවී නැති බව අධිකරණය නිරීක්ෂණය කරන්නේ යැයි සඳහන් කළ මහාධිකරණ විනිසුරු මඬුල්ල, මුල් අවස්ථාවේදී සත්‍ය හෙළිදරව් කර ගැනීම වෙනුවට, තාක්ෂණිකව විමර්ශනයක් සිදු කළ බව පැවසීමට පමණක් විමර්ශන සිදු කර ඇතැයි සඳහන් කළේය. මුල් අවස්ථාවේ විමර්ශන නිසි ආකාරයට සිදු නොවීම නිසා පැමිණිල්ලට අගතියක් වී ඇති බව ද කියැවිණි.
ඊට අමතරව නඩු විභාගයේදී පොලිසියෙන් ඉදිරිපත් වූ සාක්කි ද විශ්වසනීය සාක්කි ලෙස පිළිගන්නා බව අධිකරණය ප්‍රකාශ කළේය.
කොණ්ඩ අමිල මැරුණු වෙලාව
මිය ගිය කොණ්ඩ අමිලගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහුගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර මිලිලීටර් 100ක් තිබුණු බවත්, ඒ අනුව ඔහු මිය ගොස් ඇත්තේ 10 වැනිදා අලුයම බවට මතුවූ සාක්කි පිළිගත නොහැකි බවටත් විත්තියෙන් කර තිබූ යෝජනාව මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ සවස් වරුවේ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් බවත්, පැය හයක් යද්දී පුද්ගලයකුගේ ආමාශයේ ආහාර ජීර්ණය වන බවත්, ඔහුගේ ආහාර ඉතිරිව තිබීමෙන් පෙන්නුම් කරන්නේ ආහාර ගැනීමෙන් පැය හයක් ඇතුළත මිය ගොස් ඇති බවත් යැයි විත්ති පාර්ශ්වයෙන් කියා තිබිණි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ විශේෂඥ සාක්කි ආදිය නිරීක්ෂණය කර බැලීමෙන් පසු ආමාශයේ ආහාර ඉතිරිව තිබූ පමණින්ම මිය ගිය වේලාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට නිගමනය කරන බවයි. බන්ධනාගාරයේ සවස ආහාර ලබාදෙන්නේ 5ට බව හා ගැටුම නිසා 09 වැනිදා ආහාර ලබා නොදුන් බව සාක්කිවලින් අනාවරණය වී යැයි ද, ගැටුම ඇතිවූ අවස්ථාවේ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන කිහිපයක් රැඳවූවන් තම ග්‍රහණයට ගෙන තිබුණු නිසා ඒ අතරතුර ඔ්නෑම අවස්ථාවක ආහාර ගැනීමට හැකියාව තිබුණේ යැයි ද සඳහන් කළ විනිසුරු මඬුල්ල, විත්තියෙන් ඉදිරිපත් කළ තර්ක ප්‍රතික්ෂේප කරමින් මිය ගිය පුද්ගලයා එමිල් රංජන් විසින් රැගෙන යෑම ගැන ඉදිරිපත් වූ සාක්කි පිළිගන්නා බවත් ප්‍රකාශ කළේය.
දෙවැනි විත්තිකරු වූ එමිල් රංජන්ගෙන් කොණ්ඩ අමිලට සිදුවූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් ඊට පෙර මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි සාක්කිවලින් අනාවරණය වූ බවත්, එලෙස අනාවරණය වූ සාක්කි ලේඛන සාක්කි මගින් තහවුරු වූ බවත් විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
මේ අනුව දෙවැනි විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ප්‍රබල නඩුවක් ගොඩ නඟා ඇතැයි ද, දෙවැනි විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ විත්තිවාචකය පසුව ඇතිවූ සිතුවිලි මත ගොඩනැඟූවක් බවට තීරණය කරමින් විත්තිවාචකය සහ විත්තියේ සාක්කි ප්‍රතික්ෂේප කරන බව ද තීන්දුවේ කොටස් උපුටා දක්වමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
එමිල් රංජන්ට අලුත් චෝදනාවක්
දෙවැනි විත්තිකරු (එමිල් රංජන්) කොණ්ඩ අමිල අදාළ ස්ථානයෙන් පැහැරගෙන ගිය බවට නඩු විභාගයේදී අනාවරණය වී යැයි ද, පැහැර ගැනීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 355 වැනි චෝදනාව, විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රයේ නොමැති වුවද, නඩු විභාගයේදී වෙනත් වරදක් අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට හා දඬුවම් නියම කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 177 වගන්තිය අනුව අධිකරණයට හැකියාවක් ඇතැයි ද ප්‍රකාශ කළ මහාධිකරණය, ඒ අනුව දෙවැනි විත්තිකරු කොණ්ඩ අමිල පැහැර ගැනීම ද සිදුකර ඇති බවට තීරණය කරන්නේ යැයි ද සඳහන් කළේය.‍
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 177 වැනි වගන්තිය
‘176 වන වගන්තියේ සඳහන් අවස්ථාවේදී චූදිතයාට විරුද්ධව එක් වරදක් සම්බන්ධයෙන් චෝදනා නගනු ලැබ, ඒ වගන්තියේ විධිවිධාන යටතේ ඔහුට විරුද්ධව චෝදනා නැගිය හැකිව තිබුණු වෙනත් වරදක් ඔහු විසින් කර තිබෙන බව සාක්ෂිවලින් පෙනී ගියහොත්, ඒ වරද සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගනු නොලැබුවද, ඔහු විසින් කරන ලදැයි පෙන්වනු ලැබූ ඒ වරද සම්බන්ධයෙන් වැරදිකරු කරනු ලැබිය හැකිය.’
දණ්ඩ නීති සංග්‍රහයේ 355 වගන්තියේ සඳහන් වන්නේ ‘මිනීමැරුම සඳහා අපහරණය කිරීම හෝ පැහැරගෙන යෑම’ ගැනයි.
කෙසේ වෙතත් පැමිණිල්ලෙන් සැකකරුට එරෙහිව වූ 33 වැනි චෝදනාවට ප්‍රබල නඩුවක් ගොඩ නගා ඇති නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 355 යටතේ වූ වරද සිදුකිරීම ගැන කටයුතු නොකරන බව මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා කීවේය.
ඒකමතික තීන්දුවක්
මෙම නඩුවේ තීන්දුව ඒකමතික තීන්දුවක් බවත්, ඉදිරිපත් වූ සාක්කි විනිසුරුවරුන් තිදෙනා වෙන්-වෙන්ව සලකා බැලීමෙන් පසු එකම කරුණු අනාවරණය වන නිසා ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්කරන බවත්, එය ‘සමස්ථ අධිකරණයේ තීන්දුවක්’ (Judgment of court) ලෙස සැලකිය යුතු බවත් මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ සාක්කි සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විස්තර කර ඇති නිසා ඒවා මේ අවස්ථාවේ ප්‍රකාශ නොකරන බව කී මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා, දෙවැනි විත්තිකරු චෝදනා පත්‍රයේ 33 වැනි චෝදනාවට වැරදිකරු බවට තීරණය කරන බවටත්, සෙසු චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන බවත් සඳහන් කළේය.
චූදිතයන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ 33 වැනි චෝදනාව මෙසේ ය.
‘33. ඉහත තුන් වැනි චෝදනාවේ සඳහන් වේලාවේදී ස්ථානයේ දී හා එම ක්‍රියාකලාපයේදීම චූදිතයන් පැමිණිල්ල නොදත් අන්අය සමඟ දේවමුල්ලගේ මලිත් සමීර පෙරේරා නොහොත් කොණ්ඩ අමිල යන අයගේ මරණය සිදු කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමග කියවිය යුතු 296 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව.’
රංගජීව නිදහස්
බන්ධනාගාරයේ රඳවාගෙන සිටි හත් දෙනා තෝරාගෙන ගොස් මරා දැමූ පිටතින් පැමිණි පුද්ගලයා පළමුවැනි විත්තිකරු වූ රංගජීව නෙවමාල් බවට සාක්කිකරුවන් විසින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් යම් පරස්පරයක් ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා, සැකයේ වාසිය විත්තියට ලබාදෙමින් දෙවැනි විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි සඳහන් කර ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් සිරකරුවන් පිරිස පිටතින් පැමිණි තිදෙනකු සහ යුද හමුදා නිල ඇදුම් ඇඳගත් පිරිසක් සමඟ පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට ප්‍රභල සාක්කි ඉදිරිපත්වී ඇතැයි සඳහන් කෙරිණි.
අනතුරුව පළමු විත්තිකරුට විත්ති කූඩුවෙන් ඉවත් වන ලෙස සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය. ඒ වන විට පස්වරු 6.15 පමණ වී තිබිණි. දෙවැනි විත්තිකරුට 33 වැනි චෝදනාවට අදාළ ව දිය හැකි එකම දඬුවම මරණ දණ්ඩනය වන බැවින් එය නොදීමට යම් හේතුවක් ඇත්නම් ප්‍රකාශ කරන ලෙස සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේය.
චෝදනා බොරු – එමිල්
විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතා මෙසේ ප්‍රකාශ කළේය.
‘කොණ්ඩ අමිල රැගෙන යනවා දැකලා තියෙන්නේ කුඩාබණ්ඩාර විතරයි. ඔහු මා සමඟ අමනාපයි. මේවා කුමන්ත්‍රණකාරී ලෙස නැගූ දේවල්. මට මේවට කිසිම සම්බන්ධයක් නෑ. මේක කුමන්ත්‍රණයක්. මෙහි කිසිම සත්‍යයක් නෑ. මම නිර්දෝෂීභාවය තවදුරටත් ප්‍රකාශ කරනවා. එන්.ජී.ඔ් සංවිධානවල උවමනාවට විජයදාස රාජපක්ෂ ළඟට ගිහින් එතැනින් සකස් කරලා දුන්නු දේවල්. බන්ධනාගාරයේ 3,000ක් විතර ඉද්දි මෙහෙම අරන් යනවද? මං වරදක් කරලා තියෙනවා කියනවා නම් එල්ලුම් ගස් හතකට යැව්වත් කමක් නෑ. මම වරදක් කළේ නෑ. එක්කෙනෙක් විතරයි මේ ගැන කියලා තියෙන්නේ. මම නිර්දෝෂියි.’
පස්වරු 6.20ට පමණ මහාධිකරණ ශාලාවේ විනිසුරු අසුන අසල ඇති විදුලි පහන හැර සෙසු විදුලි පහන් නිවා දමන ලෙස නියෝග කළ විනිසුරු මඬුල්ල, ඔවුන් වාඩිගෙන සිටි අසුන්වලින් නැඟී සිට වරදකරු වූ දෙවැනි චූදිතට එරෙහි දඬුවම ප්‍රකාශයට පත්කළේය. ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක දෙවැනි විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියෝග කරන බව ප්‍රකාශ කළ විනිසුරුවරයා, තීන්දුවට අත්සන් කර අත්සන් තැබූ පෑන කඩා දමා අධිකරණ කටයුතු කල් තැබීමට නියෝග කරමින් පස්වරු 6.25ට පමණ පිටව ගියේය.
පිටට තට්ටුවක්
විනිසුරුවරුන් පිටව ගිය පසු විත්ති කූඩුව අසලට ගිය රංගජීව නෙවමාල් මහතා විත්ති කූඩුවේ සිටි එමිල් රංජන් ළමාහේවා මහතා වැළඳගෙන ඔහුගේ පිටට තට්ටුවක් දමා අධිකරණ ශාලාවෙන් පිටව ගියේය. ඊට මිනිත්තු 15කට පමණ පසු බන්ධනාගාර නිලධාරීන් විසින් එමිල් රංජන් ළමාහේවා මහතා අධිකරණයෙන් පිටට රැගෙන ගොස් බන්ධනාගාර රථය පැමිණි පසු අත්විලංගු දමා බස් රථයට නංවාගෙන රැගෙන ගියේය.
2012 වසරේ සිදුවූ මෙම සිදුවීමෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 27 දෙනකු ඝාතනය විය. කෙසේ වෙතත් ඉදිරිපත් වූ සාක්කි මත රැඳවූවන් 08 දෙනකු මෙම නඩුවේ චූදිතයන් විසින් ලැයිස්තුවකට අනුව තෝරාගෙන පසුව වෙඩි තබා මරා දමා ඇති බව කියැවිණි.
යුක්තිය උදෙසා අරගල
මෙම සිදුවීම සම්බන්ධයෙන් රාවය පුවත්පත සහ එහි සේවය කළ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ඇතුළු පිරිසක් 2012 වසරේ සිටම දිගින්-දිගටම වාර්තා කළහ. මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් ‘වැලිකඩ’ නමින් විමර්ශනාත්මක ග්‍රන්ථයක් ද මේ සම්බන්ධයෙන් රචනා කළේය. සිද්ධිය වන අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටි සුදේෂ් නන්දිමාල් මහතා 2015 වසරෙන් පසු බන්ධනාගාරයෙන් එළියට පැමිණීමෙන් අනතුරුව ඔහු විවිධ ආයතනවලට පැමිණිලි කරමින්, සාක්කි දෙමින් සත්‍ය හෙළිදරව් කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කළේය. නීතිඥ සේනක පෙරේරා ඇතුළු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ද, තවත් සිවිල් කණ්ඩායම් ද වැලිකඩ ඝාතනවලට සාධාරණයක් ඉටු කරන ලෙස බලකරමින් විවිධ විරෝධතා වැඩසටහන් සිදු කළහ. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව 2017 වසරේදී මෙම විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසු විමර්ශන විධිමත් කර සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.
ඝාතන 26කට ඝාතකයෙක් නෑ
මේ සිදුවීමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරිණි. ඒ අතරින් 8 දෙනෙකු ඝාතනයට අදාළව නඩුවේ චෝදනා ගොනුකර තිබූ අතර, එක් ඝාතනයකට එමිල් රංජන් වරදකරු විය. එනම්, ඝාතන 26ක් කළ අයෙකු තවමත් නැත. අධිකරණය තීන්දු දෙන්නේ ඉදිරිපත් වන සාක්ෂි මත ය.
කෙසේ වෙතත් මේ තීන්දුව නිසා එක් වැදගත් දෙයක් සිදු විය. එනම් අපරාධකරුවන් ඉවත් කොට සමාජය පිරිසිදු කිරීමේ මෙහෙයුමක් බවට මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොඩනගා තිබූ ප්‍රබන්ධය අසත්‍යයක් බවත්, මෙය අපරාධයක් බවත් මෙරට පිළිගත් අධිකරණයක් මගින් පිළිගැනීම ය. බලය පවත්වාගැනීම වෙනුවෙන් කරන මේ අපරාධවලට එරෙහි යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් දිගු ගමනක් තිබේ. නීතිය යනු ඒ ගමනේදී හමුවන එක් පාරකි.
– තරිඳු ජයවර්ධන

Previous articleඅගමැති ආරක්ෂක අංශ නිලධාරියෙකුට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදී සංගමයෙන් පැමිණිල්ලක්
Next articleමොන තරම් අගේද ඔබට ආ හැකි නම්….. (27 සවස 2-4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here