සීගිරිය අනතුරේ ! – තක්සේරුවක් අවශ්‍යයි : පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

44

උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය වෙනුවෙන් මොරගහකන්ද සහ ගලෙන්බිඳුනුවැව, යකල්ල අතර ඉදිකෙරෙන දීර්ඝ උමග සඳහා මෙතෙක් පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු වාර්තාවක් (Archaeological Impact Assessment) සකස් කර නැති බව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකා’ කළ විමසීමකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග සඳහන් කළේ උමගක් ඉදිකිරීමට පෙර පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරුවක් කළ යුතු බවයි. උමා ඔය උමග ඉදිකිරීමට පෙර ද එවැනි වාර්තාවක් සකස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එවැනි වාර්තාවක් සකස් කරන ලෙස මෙතෙක් තම දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්ද යන්න පිළිබඳ තමන් දැනුවත්ව නැති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, එවැනි වාර්තාවක නීත්‍යනුකූල අවශ්‍යතාව තමන් පිළිගන්නා බව ද අප කළ විමසීමේදී පැවසීය.
මෙම උමගේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට ද නිල දැනුම්දීමක් සිදු කර නැත. එහෙත් එම කාර්යාංශය මගින් මීට අදාළ මූලික වාර්තාවක් සකස් කර තිබේ. ව්‍යාපෘති වාර්තාවට අනුව මේ උමගේ ඇතැම් ස්ථාන පොළොව මට්ටමට වඩා මීටර් 8ක් පමණ පහළින් ගමන් කරයි. ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ නිසා ඇතැම් ස්ථානවල පස් තට්ටු කඩාවැටීමේ අවදානමක් ද ඇති බවයි.
සීගිරිය ලෝක උරුම ආරක්ෂිත භූමිය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, හුරුළු සංරක්ෂණ වනාන්තරය ඇතුළු සංවේදී භූමි ප්‍රදේශ රැසකට යටින් මේ උමග ඉදිකිරීමට නියමිත ය. මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරුවක් මෙන්ම සංකීර්ණ පාරිසරික තක්සේරු ඇගයීමක් ද සිදුකිරීම අනිවාර්ය බව සඳහන් කරන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ, එසේ නොවුණහොත් උමා ඔයේදී සිදුවූවාක් මෙන් ව්‍යාපෘතිය අතරමගදී බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට ද අනතුරු අඟවති. දැනට මේ ව්‍යාපෘතියේ අවදානම් තත්ත්ව පිළිබඳ වැඩි අවධානයක් යොමුනොවීමට හේතු වී ඇත්තේ මේ උමග වැඩියෙන් ගමන් කරන්නේ වන රක්ෂිත හරහා වීම නිසා ය. විශේෂයෙන්ම මේ කලාපයේ පිහිටි හුණුගල් ස්ථරයට මේ හරහා සිදුවන බලපෑම පිළිබඳ විධිමත් තක්සේරුවක් මෙතෙක් සිදු කර නැති අතර, එය භූගත ජල මට්ටමේ වෙනස්කම්වලට තීරණාත්මක ලෙස බලපෑම් කරනු ඇතැයි ද භූවිද්‍යාඥයෝ පෙන්වා‌ දෙති.
මොරගහකන්ද සිට ඉරණමඩු ජලාශය දක්වා ජලය ගෙනයෑමේ අරමුණින් මේ ව්‍යාපෘතිය සිදුකෙරුණද, එය අසාර්ථක ව්‍යාපෘතියක් බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පෙන්වා දෙති. මේ ව්‍යාපෘතිය අසාර්ථක බව තහවුරු වීම නිසා, එය සාර්ථක කරගැනීම සඳහා මේ වනවිට වෙනත් ව්‍යාපෘති තුනක් සිදුකිරීමට සැලසුම් කර තිබේ. කළුගඟ ව්‍යාපෘතිය, රන්දෙනිගල සිට කළුගඟට ජලය රැගෙන ඒමේ ව්‍යාපෘතිය සහ උමා ඔය හරස් කොට රන්දෙනිගලට ජලය රැගෙන ඒමේ ව්‍යාපෘතිය එම ව්‍යාපෘති අතර වේ. මේ ව්‍යාපෘති සියල්ල සාපේක්ෂව අඩු ජලය ප්‍රමාණයක් රැඳෙන, වියදමට සාපේක්ෂව අඩු ආර්ථික වාසියක් ලබාගත හැකි ව්‍යාපෘති බව ද ඉංජිනේරුවෝ අවධාරණය කරති.
චීනයෙන් ආනයනය කළ මීටර් 7කට වඩා වැඩි විෂ්කම්භයක් සහිත උමං විදින යන්ත්‍රයක් මගින්, චීන ණය මුදලක් යටතේ මේ ව්‍යාපෘතිය ඉදි කෙරේ.

Previous articleදැන් DPMC වර්ක්ෂොප් මඩපාත වෙතින් වෙළෙඳ වාහන සේවා සහ අලුත්වැඩියා
Next articleඅගමැති ආරක්ෂක අංශ නිලධාරියෙකුට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදී සංගමයෙන් පැමිණිල්ලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here