ආයිබොවන්ඩ නාමල් බේබි..,

32

අපේ සිහින කුමාරයාණනි… අපේ බලාපොරොත්තුවේ තාරකාව ඔහේමයි.. අපේ අනාගත පැතුම වගේම සුපර් මෑනුත් ඔහේමයි… අපි එහෙම හිතාගෙන උදේ හවස දෙයියන්ට කන්නලව් කරනවා… අපි පන්සල්, පල්ලි, කෝවිල් යනවා.. විසේසෙන්ම ඔහෙලට කවදත් පිහිට වෙන පත්තිනි, නාථ ඇතු`ඵ සියලු දෙවිදේවතාවුන්ගෙන් අපි ඉල්ලා හිටින්නේ බේබිව අපිට ආරස්සා කොරල දෙන්ඩ කියලයි. අපිට බයේ බෑ බේබි බේබිලාගේ හතුරො මොකක් හරි හදිහූනියමක් නැත්තං අතුරු ආන්තරාවක් කොරයි කියල.
අපිට මතක නේ නිල් බළකායත් එක්ක වැඩකිඩ පෙන්නගෙන නැඟල එන කාලෙ ඔහේට කොරපු කරදර. යහපාලනේ ඇප්සීඅයිඩී පොලෝසිය පෝඩ් මස්ටෑං ද මොකක් ද කියන කාර් කබලකට බේබිව ඇරස්ට් කොරලා නටපු නාඩගම. අඩු ගානෙ ඔහේලා සෙල්ලමට වගේ පැදපු ලැම්බෝගිනියක්වත් අල්ලගෙන එහෙම පබ්ලිසිටියක් දුන්න නං කමක් නැහැ නේද බේබි… අපි නං හිතං උන්නෙ ඒ ඇන්ටික් කාරෙකත් ඩේසි ආච්චි දුන්නු එකක් ය කියලයි. මොකද? අපි හොඳාකාරවම දන්නවා බේබිගෙ හත්මුතු පරම්පරාවෙ කවුරුවත් අබමල් රේණුවක තරං දෙයක් වංචා නොකරන විත්තිය.
ඒ සන්දියේ බේබිගේ අප්පච්චිට පවා මොන තරං අපහාස කොළා ද අර සුනාමි ආදාර කියල බඩකඩුත්තුවක් අල්ලගෙන. එදා තමයි බේබි අපි අදිස්ටාන කොර ගත්තේ අපේ සිහින කුමාරයාව කවද හරි රජ පුටුවෙ ඉන්දවන්ඩ. සැන්ටරල් බැංකුව කඩල, අපේ ජාතික සම්පත් ටික පිට එකාලට විකුණල රට කාබාසිනියා කොරපු හොර තක්කඩි ටික ඔක්කොම අල්ලලා හිරේ දාන්ඩ නං අපේ නාමල් බේබි වගේ හැඩකාර, විසේකාර වගේම බයංකාර රජ පැටියෙක් නැතුවම බැරි බව අපි හොඳාකාරවම තේරුන් අරං ඉන්නෙ.
ඒ උනාට ආයිබොවන්ඩ ඔහෙගෙ බාප්පොච්චිලා වැඩ රාජකාරි කොරගෙන යන හැටියට අපේ නාමල් බේබිට රජකං කොරන්ඩ රටක් ඉතුරු වෙයි ද කියන එක තමා අපිට දැන් තියෙන ලොකුම පුරස්නෙ. අපිට ලොකු සැකයක් තියෙනවා රත්තරන් බේබියෝ ඔහේගෙ අප්පච්චිටත් බැරිගැහීගෙන එන කාලෙ සෑර් බාප්පයි, මොළ හතේ බාප්පයි එකතු වෙලා බේබිගෙ පැමිලි එකටම ගේමක් දෙන්ඩ හදනවා ද කියලා. මොකද? ඊ ළඟ ඔටුන්න දරන්න ඉන්න නාමල් බේබිගෙ පෝසොනොලිටියයි, බොඩියයි දෙකම ප්ලැට් කොරල දැම්මට පස්සෙ ඒ ඇත්තන්ට ගේමක් නැහැ කියල හිතනව ඇති ෂුවර් එකටම.
කිව්වට විස්සාස කොරන්ඩ අපෙ දෙයියෝ… පිට එකාලා අපේ බේබි ඩාලිංට මක්ක කොළත් අපිට උහුලංඩ ඇහැකියි. ඒත් ඉතිං තමන්ගෙම උං ගේම දෙන්ඩ පැලෑන් කොරන හැටි දකින කොට තමා මළපනින්නෙ. මරාගෙන මැරෙන සූසයිඩ්  එකක් කොරගන්ඩ තරං කේන්තියි. ඒත් කෝ ඉතිං බෝම්බකාරයෝ…? ඔක්කොම පල්ලි යන්ඩ පටන් අරං හංදා ඉස්සර වගේ ලේසියෙන් බෝම්බයක් හොයා ගන්ඩත් විදිහක් නැහැනෙ.
මේ සියලු ප්‍රොබ්ලම්ස් සැලකිල්ලට අරං අපි කල්පනා කොළා අපෙ බේබි පැටියව නග්ගල ගන්න පොරජෙට් එකක් යෝජනා කොරන්ඩ. අපේ ගම්වල සමහර බයියොත් බේබිගෙ රජ පරම්පරාවෙ පඹයො පුච්චන්ඩ සැට් වුණා නෙ විරුද්ද පක්සවල උන්ගෙ මුසාවාදවලට මුළා වෙලා. උන්ට නං රිටර්න් එකක් දෙන්ඩම ඕනැ බේබි. බේබිට තියෙන්නෙ මෙච්චරයි, අර අප්පච්චිට ඊයෙ පෙරේදා තිරුපති යන්ඩ හම්බවෙච්ච සුපර් ජෙට්ටේකේ නැඟලා කෙළින්ම අපේ ගමට උඩින් පොඩි රවුමක් යන්ඩ. එතකොට අපි විරුද්ද පක්සවල උන්ගෙ කන්අඩි පැළෙන තරං හයියෙන් කෑගහල රෝහිත බේබි ලොකු බේබිගෙ රෝයල් වෙඩිමෙදි ගයපු “අප සුරඟන ලෝකේ රජකුමරු ඔබයි සදා… සුරඟන කතා කියලා රජ වෙයන් උඹත් බබා…” බයිලාව කියනවා. බේබිලාගේ සනුහරේටම පාරකට බැහැගන්ඩ බැරුව ඉන්න මේ ජාමෙ මේක නං ගෑස් ටැංකියක් වගේ නියමෙට පත්තු වෙනවා සත්තයි බේබි●

විශ්වමිත්‍ර
Previous articleවිනී හෙට්ටිගොඩ කාටූන් – 2022.01.23
Next articleඅයිසින් තැවරුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here