ගෝඨාභය මෙරට ජනාධිපති ද?

24
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 9වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය පසුගිය 18 වැනිදා ආරම්භ කළේ ය. එහි දී තරමක් දීර්ඝ දේශනයක් කළ ජනාධිපතිවරයා කරුණු ගණනාවක් ගෙනහැර දැක්වූයේ ය.

තම පාලන කාලයේ ණය නොගත්තේ යැයි ජනාධිපතිවරයා කියන විට ඔහුගේ පාලනයේ පසුගිය මාස 22 තුළ පමණක් මෙරට ණය ගැනීම රුපියල් බිලියන 4,020.19කි. රට සුරකින බව කී ගෝඨාභය රටේ ඉතිරිව තිබෙන ජාතික සම්පත් සියල්ල බිලි දීමට පටන්ගෙන ඇත. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ කතාව අසන අයකුට ඔහු මේ කතා කරන්නේ කවර රටක් ගැන දැයි යන ප්‍රශ්නය මතු වීම ස්වාභාවික

ආණ්ඩුවේ වගකීම් කිසිවක් පැහැර හැරියේ නැති බවත්, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙන බවත්, මත් උවදුර හා පාතාල ක්‍රියාකාරකම් පාලනය කර ඇති බවත්, තමාගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති බවත්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත්, හරිත කෘෂිකර්මයක් සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවත්, රජයට එරෙහිව ජනතාව උසිගන්වන්නේ පටු දේශපාලන න්‍යාය පත්‍රවල සිටින අය බවත් ආදී වශයෙන් තවත් කරුණු ගණනාවක් එහි අඩංගු විය.
පෙර දිනයේ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ප්‍රවේශය විවෘත කරමින්, මීරිගම දී රට හමුවේ පැවැසුවේ තම ආණ්ඩුව කිසි ලෙසකින් ණය ගෙන නොමැති බවයි.
රට දැවැන්ත අර්බුදයක ගිල්වා තිබිය දී වගකීම් පැහැර හැර නැතැයි ඔහු පවසන්නේ කුමන මුඛයකින් ද? රට ණය බරින් මුණින්තලා වී තිබේ. විදේශ සංචිත පහළ යමින් ඩොලර් හිඟය උග්‍ර වී තිබේ. කඩිනම් කාබනික වගාවකට ගොස් කෘෂිකර්මය ඇදවට්ටවා හාල්, එළවළු මිල අහස උසට නංවා ඇත. රට හැමතැනම ගෑස් පෝලිම් ය. ජීවිත මරණයෙන් හෝ ආබාධිතව අවසන් විය හැකි ගෑස් පිපිරීම් ය. කිරිපිටි පෝලිම් ය. ඉන්ධන නොමැතිකමින් විදුලිය නිපදවිය නොහැකිව රට අඳුරේ ය. ජනාධිපතිගේ කතා අනුව ඔහු හෝ ආණ්ඩුව වගකීම් පැහැර හැර නැත. එසේ නම්, මැති ඇමැතිලා දුටු තැන ජනතාව “හූ” කියන්නේ ඇයිද යන ප්‍රශ්නය මතු වේ.
සෞඛ්‍යයට බර තැබුවා යැයි ඔහු පැවසුව ද, ආරම්භයේ දීම රට තුළට කොවිඩ් ඇතුළු වීම වැළැක්වීමට හැකියාව තිබිය දී, එය වළක්වාගත නොහැකි විය. නිසි වෙලාවට නිසි තීරණ ගැනුණේ නැත. ඇතැම් වෙලාවක රට වසා දමන්නැයි බල කරමින් සෞඛ්‍ය සේවකයන්ට වර්ජන කරන්නට සිදු විය. ජනතාවට හර්තාල් කරන්නට සිදු විය. නිසි විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට මිථ්‍යා විශ්වාස පසුපස යමින් වසංගතය ජාවාරම්කරුවන්ට වසන්තයක් කර දුන් අයුරු මෙරට ජනතාව දනිති. අවසානයේ එන්නත්කරණයට යොමු වී එයිනුත් පළමුව මැති, ඇමතිවරුන්, ප්‍රභූවරුන් එන්නත විදගත්තේ ජුගුප්සාජනක ලෙස ය. මේ වන විට ජීවිත 15,000ක් වැනසී ලක්ෂ 06ක ජනතාව ආසාදිතයන් බවට පත් වූ බව ජනාධිපතිවරයා නොදන්නා සේ ය. ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාව බව ජනාධිපතිවරයා නොදන්නා සේ ය.
ජාතිවාදය පිටුදකින්නේ යැයි කියන විට ඥානසාර හිමි ජාතිය ගොඩනැංවීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති කිරීමේ සිට තවත් බොහෝ දේ ජනතාවට සිහිපත් වීම වැළැක්විය නොහැකි ය.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා නීතියේ ආධිපත්‍යය තහවුරු කළ බව කියන විට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමක් අටවා බරපතළ අපරාධවලට චෝදනා ලබා සිටි තම පවුලේ අය සහ දේශපාලන හිතවතුන් නඩු 79කින් නිදොස් කොට නිදහස් කළ අයුරුත්, මරණ දඬුවම් පවා ලබා සිටි අයට ජනාධිපති සමාව හිමි වූ අයුරුත්, පොලිසිය භාරයේ සිටි සැකකරුවන් ඝාතනය වූ අයුරුත් මෙරට ජනතාවට අමතක වී නැත.
තම පාලන කාලයේ ණය නොගත්තේ යැයි ජනාධිපතිවරයා කියන විට ඔහුගේ පාලනයේ පසුගිය මාස 22 තුළ පමණක් මෙරට ණය ගැනීම රුපියල් බිලියන 4,020.19කි. රට සුරකින බව කී ගෝඨාභය රටේ ඉතිරිව තිබෙන ජාතික සම්පත් සියල්ල බිලි දීමට පටන්ගෙන ඇත. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ කතාව අසන අයකුට ඔහු මේ කතා කරන්නේ කවර රටක් ගැන දැයි යන ප්‍රශ්නය මතු වීම ස්වාභාවික ය.
පාලනය අසාර්ථක වන විට පාලකයන්ගේ දිව පැටළේ. රාජ්‍යතාන්ත්‍රික බව, පරිණත නායකත්ව ලක්ෂණවලට වඩා පාලකයා පිහිට කොටගන්නේ පට්ටපල් බොරු ය. ජේ. ආර්. ද, ප්‍රේමදාස ද, චන්ද්‍රිකා ද, මහින්ද ද, මෛත්‍රීපාල ද මෙලෙස බොරු කීහ. ඒ ජුගුප්සාජනක ක්‍රියාවේම ගෝඨාභය ද යෙදේ. මේ බැරිකම ය. එබැවින්, මෙම අසමත් සමාජ – ආර්ථික ක්‍රමයේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැනි උත්තර ගැන පුදුම විය යුතු නැත. ජනතාව පළමුව සොයා ගත යුත්තේ මෙම මජර සමාජ – ආර්ථික ක්‍රමය එහි පදනමෙන්ම බිඳදමා සැබෑ ජනතා පාලනයක් ගොඩනඟන මාවත ය. ඉන් මෙහා දිගටම මෙම විසුළුකාරී, බොරු පාලනවලින් බැට කන්නට ජනතාවට සිදු වනු ඇත●
 
ය.
 

Previous articleකතාවෙන් ගොඩගන්න බැරි බිඳවැටුණු විශ්වාසය
Next articleවිනී හෙට්ටිගොඩ කාටූන් – 2022.01.23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here