කතාවෙන් ගොඩගන්න බැරි බිඳවැටුණු විශ්වාසය

32
රට බරපතළ ආර්ථික අර්බුදයක ගිලී තිබේ. හෙට කුමකින් කුමක් සිදු වේ ද යන්න සිතා ගත නොහැකි ය. දැනටමත් විදුලිබල මණ්ඩලය විසින් දිනපතා විදුලිය කැපීම ආරම්භ කොට තිබේ. බලාගාර දුවවාගන්න ඉන්ධන නොමැති වීම එයට හේතුව වේ. ගම්මන්පිල කියන්නේ, තෙල් දෙන්න ඩොලර් නැති බව ය. ලොකුගේ කියන්නේ, තෙල් දුන්නොත්, විදුලිය දෙන බව ය. දෙන්නාගේ රණ්ඩුව අලුත් ම නාට්‍ය ජවනිකාවක් ය. ජවනිකාවලින් ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැත. මේ කිසි දෙයක් ගැන ජනාධිපතිගේ පාර්ලිමේන්තු කතාවේ දී කිව්වේ නැත. ඒ කතාවේ හරය වූයේ, ගෙවී ගිය අවුරුදු දෙක වැඩ කර ගන්න බැරි වුණේ, කොවිඩ් නිසා ය යන්නයි. ඉදිරි අවුරුදු තුනේ දී වැඩ කරලා පෙන්වන්නම් යන්නය. ඒ පිළිබඳව ගෝඨාභයව විශ්වාස කරන්න කියා ය.

මානව හිමිකම් මතක් වීම

ගෝඨාභය මේ කතාව කළේ මාස එකහමාරක් පාර්ලිමේන්තුව මුළුමනින් ම වසා දැමීමෙන් පසුවය. අද වන තෙක් පාර්ලිමේන්තුව වැහුවේ ඇයි ද යන්නට හේතුවක් කියන්නේ නැත. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකි. ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස නැති කර දැමීමකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු ජනතාවගේ නියෝජිතයෝ ය. ඔවුනට ජනතාවගේ අදහස කියන්නට ඇති එක ම තැන පාර්ලිමේන්තුව ය. එය වසා දැමීම ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ඔහුගේ කතාව තුළ කිව්වේ, ගෙවුණු කාලය තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු නොකළ බව ය.

කතාව තුළ ජාත්‍යන්තර ප්‍රජාව ඉලක්ක කර ගත් කරුණු ගණනාවක් ම අඩංගු විය. එනම්, අලුත් ව්‍යවස්ථාවක් සැකැසීම, උතුරේ ජනතාවගේ ඉඩම් යළි ලබා දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම යනාදී වශයෙනි. ඇත්තට ම මේ කරන්නේ, අවංක වුවමනාවකින් මැදිහත් වීමක් නොවේ. මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමටය. ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු අනෙකුත් බටහිර රටවලට පණිවුඩයක් යැවීමය. හතරගාතෙන් වැටිලා ඉන්න වෙලාවේ කීයක් හරි ඉල්ලා ගන්න කරන උප්පරවැට්ටියක් ය.     

කතාව තුළ ජාත්‍යන්තර ප්‍රජාව ඉලක්ක කර ගත් කරුණු ගණනාවක් ම අඩංගු විය. එනම්, අලුත් ව්‍යවස්ථාවක් සැකැසීම, උතුරේ ජනතාවගේ ඉඩම් යළි ලබා දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම යනාදී වශයෙනි. ඇත්තට ම මේ කරන්නේ, අවංක වුවමනාවකින් මැදිහත් වීමක් නොවේ. මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමටය. ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු අනෙකුත් බටහිර රටවලට පණිවුඩයක් යැවීමය. හතරගාතෙන් වැටිලා ඉන්න වෙලාවේ කීයක් හරි ඉල්ලා ගන්න කරන උප්පරවැට්ටියක් ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන කතාව ආවේ ම ජී. එස්. පී. බදු සහනය කප්පාදු කරන තීන්දුවත් එක්ක ය. ඉන් පැහැදිලිව ම ඔප්පු වන්නේ අවංක වුවමනාවක් නැති බව ය.

මැතිවරණ කල් දැමීම

රාජපක්‍ෂ පාලනය පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දැම්මේ ය. පළාත් සභා තියන දවසක්වත් නොකියා කල් දමා තිබේ. පහුගිය අවුරුදු දෙකේ ම පළාත් සභා ඡන්දය තියන්න කිසි ම උත්සාහයක් දැරුවේ නැත. ප්‍රශ්නය වන්නේ දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්‍ෂ පවා ඒ ගැන ලොකු ඉල්ලීමක් ද නොකිරීම ය. වෙනදා නම්, විශේෂයෙන් ම ටී.එන්.ඒ. එක ඒ වෙනුවෙන් ලොකු හඬක් නඟන්නේ ය. ඒත්, ගෙවුණු දෑවුරුද්ද තුළ ශබ්දයක්වත් නැඟුවේ නැත. මේ ළඟ දී හිටපු ගමන් උතුරු පළාතේ වැඩියෙන් කටයුතු කරන පක්‍ෂ කිහිපයක් එකතු වී යෝජනා මාලාවක් සැකැසී ය. එය ඉන්දියානු රජයට භාර දීමට ද කටයුතු කළේ ය. එහි අඩංගුවේ ඇත්තේ, පළාත් සභා මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ය. හදිසියේ එවැන්නක් භාර දීමත්, තෙල් ටැංකි ටික ඉන්දියාවට පාවා දීමත් අතර අන්තර් සම්බන්ධයක් තිබේ. ලංකාවේ මතුව ඇති ආර්ථික අස්ථාවරත්වය ඉන්දියාව මැනැවින් පාවිච්චි කර ගන්නා බව මින් පැහැදිලි ය. ඉතිහාසයේ දීත් සියල්ල සිදු වූයේ එලෙසින් ය.
මහින්ද රාජපක්‍ෂගේ කාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්වීම ලංකාවේ පවත්වන්නට නියමිතව තිබිණි. එය පැවැත්වීමෙන් මහින්දට එහි සභාපති ධුරය ද නිල වශයෙන් හිමි වන්නේ ය. එහෙත්, රටවල් කිහිපයක් විසින් එයට සහභාගී වීම ප්‍රතික්‍ෂේප කරනු ලැබී ය. ඉන්දියාව ද ඉන් ප්‍රධාන එකක් විය. ඉන්දියාවේ ප්‍රධාන කොන්දේසිය වූයේ උතුරේ පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් පමණක් සහභාගී වන බව ය. මහින්ද ඒකට එකඟ වුණේ ය. තමන්ට ලැබෙන්න තියෙන සභාපතිකම වෙනුවෙන් ඉල්ලීම ඉටු කළේ ය. අද පාවිච්චි වන්නේ ආර්ථික අර්බුදයයි.

දෙමළ පක්ෂවල යෝජනා

එක පැත්තකින් දෙමළ දේශපාලන පක්‍ෂ යෝජනා මාලාවක් ඉන්දියාවට භාර දෙයි. අනෙක් පැත්තෙන් ඉන්දියාව ණය ආධාර ලංකාවේ ආණ්ඩුවට ලබා දෙයි. මෙය සිදු වන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දීමත් එක්ක ය.
මෙතෙක් නිහඬව සිටි උතුරේ පක්‍ෂ හදිසියේ මෙවැනි යෝජනාවක් දීම පිටුපස ඇති වුවමනාව තේරුම් ගත හැකි ය. අනෙක් පැත්තට රාජපක්‍ෂලාට මෙය ඉදිරියේ තමන්ගේ වාසියට පාවිච්චි කර ගන්නට ද හැකියාවක් තිබේ. උතුරේ පක්‍ෂ පළාත් සභා ඉල්ලනවා. රාජපක්‍ෂලා දකුණේ එයට විරෝධය හදනවා වශයෙන් දෙකම එකවර සිදු කළ හැකි ය. ආර්ථික ප්‍රශ්න සියල්ල යට කරගෙන නැවතත් ජාතිවාදය ඉස්මතු කර ගත හැකි ය. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් එළා ගත හැකි ය. ඉන්දියාවෙන් ණයක් ගැනීමත්, දකුණේ දේශපාලන වාසිය ගැනීමත් දෙක ම කර ගත හැකි ය. ගම්මන්පිල දෙපැත්තෙන් ම නැටවෙන රූකඩයක් බවට පත් වී ඇත්තේ, මේ තත්ත්වය තුළ ය.

ගෝඨාභය විශ්වාස ද?

ගෝඨාභයගේ කතාව ඇතුළේ ජනතාවට සතුටු විය හැකි කිසිවක් තිබුණේ නැත. සිද්ධ වුණු එක ම දෙය ජාත්‍යන්තරයට ජාතික සංහිඳියාවට තමන් සූදානම් යැයි කියන්න උත්සාහ කිරීම ය. ඒත්, මහ පොළොවේ සිද්ධ වෙන දේවල් ජාත්‍යන්තරය හොඳින් ම දනියි. මෙහෙ අය ඇන්දුවාට ඒ ගොල්ලන්ව එහෙම අන්දන්න අමාරු ය. ඒ නිසා ඒකෙන් ඵලයක් ලැබෙන්නේ නැත. ජනාධිපති පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් පස්සේ ජනතාවට පොහොර ලැබෙන්නේ නැත. බඩු මිල අඩු වන්නේ ද නැත. ගෑස් ලැබෙන්නේ නැත. කිරිපිටි ලැබෙන්නේ නැත. කරන්ට් එක ලැබෙන්නේ ද නැත. තවත් කෝටි ගාණක් වියදම් වීමක් පමණක් සිදු වන්නේ ය.
තවත් වතාවකින් ගෝඨාභය විහිළුකාරයකු වන්නේ ය. කතාවෙන් පස්සේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රතිචාරවලින් එය පැහැදිලි ය. කොටින් ම ගත්තොත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියන දේ දැන් ජනතාව තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත. ගෝඨාභය කියන දේ කොහොමටවත් ගණන් ගන්නේ නැත. ඔහු කෙරේ විශ්වාසය තියන්නට යැයි පුන පුනා කියන්නට සිදුව ඇත්තේ ම විශ්වාසයක් නැතිකම නිසා ය. ජනතාව පහුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ගැන ඕනෑවටත් වඩා විශ්වාසය තැබූහ. ඒ විශ්වාසය අවුරුද්දක් යන්නට මත්තෙන් සුනුවිසුණු කර දැම්මේ ය. ඒ වරද කොවිඩ් පිට පැටවීමෙන් ගැලවෙන්ට බැරි ය. ජනතාව දැන් සියල්ල අවබෝධ කරගෙන අවසන්ය.
විශ්වාසය නැති මිනිහා විශ්වාසය කරන්න යැයි නිතර නිතර කියවීම ම විහිළුවකි. එයින් ද සිදු වන්නේ තව තවත් විශ්වාසය නැතිව යෑම ය. ඒ කියන්නේ, ගෙවිච්ච අවුරුදු දෙකට වඩා ඊ ළඟ අවුරුදු තුන අන්තිම අමාරු බව ය. එච්චර කාලයක් බලයේ ඉන්න ජනතාව ඉඩ දේවි ද යන්නත් සැකසහිත ය. ජෙට් යානා තුනක් ගෙනැවිත් ඇත්තේ, හදිසි අවස්ථාවක පැන යන්න යැයි ජනතාව කියන්නේ එවැනි ප්‍රතිචාරයකට වුව යෑමේ සූදානමින් බව පැහැදිලි ය. බිඳවැටුණු විශ්වාසය දැන් කොහෙත්ම ගොඩ ගන්නට බැරි ය. මොන මොන උප්පරවැට්ටි දැම්මත්, සිද්ධ වෙන්නේ තව තවත් විශ්වාසය බිඳවැටීම පමණක්මය●

ජගදාක්‍ෂි

 
 

Previous articleලංකා e-paper (2022.01.23)
Next articleගෝඨාභය මෙරට ජනාධිපති ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here