“අය – වැයෙන් මුකුත් දුන්නේ නෑ – ආණ්ඩුවෙන් සල්ලි බෙදුවට ගන්න බඩු නෑ”

29

රටේ ජනතාවට මේ ආණ්ඩුව එපාවෙමින් තිබෙන වෙලාවක ආණ්ඩුවෙන් ජනතාවට සල්ලි බෙදුවට ඒ සල්ලිවලින් ගන්න වෙළෙඳපොළේ භාණ්ඩ නැතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
‘ජනතාව එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධව නැඟී සිටිනකොට බැසිල් රාජපක්ෂ මරු වැඩක් කරනවා. ජනතාවට සල්ලි බෙදනවා. මීට මාසයකට පමණ කලින් තිබුණු අය – වැය යෝජනාව ඉදිරිපත් කරනකොට මේ තරම් ජනතා විරෝධයක් ආණ්ඩුවට තිබුණේ නෑ.
ඒ අය – වැයෙන් මුකුත් දුන්නේ නෑ. රාජ්‍ය සේවකයෝ රුපියල් දහ දහසක වැටුප් වැඩි වීමක් ඉල්ලුවා. ගොවියන්ගේ ඉල්ලීම් තිබුණා. මෙන්න එකපාරටම මොළ හතට මතක් වෙලා ජනතාවට සල්ලි බෙදන්න ඕනි කියලා. දැන් සල්ලි බෙදනවා. සල්ලි අතට ආවට ගන්න කඩේ බඩු නෑ. ව්‍යාපාරිකයන් කියන්නේ භාණ්ඩ හිඟයි, මිල වැඩියි කියලා.
මෙහෙම වැඩි වෙවී ගිහින් නතර වෙන තැන බැසිල්ලා, ගෝඨාභයලා දන්නෙත් නෑ. ජනාධිපති පාරේ යනකොට කඩයක් ළඟ හිටිය ජනතාව හූ කිව්වා. පොලිසිය ඇවිල්ලා ඒ කඩේ වැහුවා.
බියගම තියෙනවා සල්ලි අච්චු ගහන කර්මාන්ත ශාලාවක්. ඉතින් අච්චු ගහලා බෙදනවා.
සල්ලි බෙදුවට නිෂ්පාදනය දවසින් දවස කඩා වැටෙනවා. අන්තිමට වෙන්නේ පාන් ගෙඩියක් ගන්න විල්බැරෝවක සල්ලි අරන් යන්න වෙන එක.
රාජපක්ෂලා මේ රට හොරාකෑවා. ඩොලර් ටික මංකොල්ල කෑවා. ඒවා එක එක රටවල තැන්පත් කළා. රටේ ජනතාව ඒක දන්නවා. ජනතාව ගෙවන්න තියෙන බදු රජයට ගෙවලා තියෙනවා. ජනතාව වරදක් කරලා නෑ. බදු මුදල් භාණ්ඩාගාරේට යන්න ඕනෑ. රජය ඩෙලර් ණය ගත්තා. ආධාර ගත්තා. ඒවත් භාණ්ඩාගාරේට එනවා. එත් රටේ භාණ්ඩාගාරේ හිස්. රටක පාලකයන් විසින් කොල්ලකන භාණ්ඩාගාරයක් තියෙන රටක් කොහේද සංවර්ධනය කරලා තියෙන්නේ.
දැන් අපි ජනතාව ළගට අපි ගියාම සමහරු මීට අවුරුදු ගණනකට කලින් කියපු ඒවා අපිටම කියනවා. මුන් තව ටික කාලයක් රටේ හිටියොත් රටත් ඉවරයි. බැංකු ටිකත් විකුණයි. හැමදේම විකුණයි කියනවා. අවුරුදු තුනක් ඉවසන් ඉන්න ඕනේ නැහැ ආණ්ඩුව ගෙදර යවමු කියලා ජනතාව යෝජනා කරනවා. ජනතාවට අවස්ථාවක් දිය යුතුයි තමන් කැමැති ආණ්ඩුවක් පත්කර ගන්න’ යනුවෙන් ද ඔහු සඳහන් කරයි.

Previous articleජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක් නෙමෙයි – කැබිනට් ප්‍රකාශක
Next article“මාවත් ඇමැතිකමෙන් ඉවත් කරන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here