“මෘදුකාංගයක් භාවිතා කරලා යමක් පටිගත කරන හැම කෙනාම Sound Engineers ලා නොවෙයි.”

22

ශබ්ද තාක්ෂණය හා පටිගත කිරීමේ කලාව කියන්නේ මොකද්ද?
ශබ්ද තාක්ෂණය කියන්නේ පුළුල්ව හැදෑරීමක් කලයුතු විෂයක් කියලයි මම දකින්නේ. ඒකට හේතුව තමයි ශබ්ද තාක්ෂණය කියන විෂය තුල විවිධාකාර න්‍යායාත්මක දේ වගේම සංකීර්ණ උපකරණ තියෙනවා භාවිතා කරන්න. ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳ සිද්ධාන්ත රාශියක් ඉගෙනගන්න තියෙනවා. අපි දන්නවා සංගීතය, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව වැනි සාම්ප්‍රදායික මාධ්‍ය වල වගේම නව මාධ්‍ය වලත් ඒ ඒ මාධ්‍යයට අදාලව හඬ පටිගත කිරීම මෙන්ම හඬ නිර්මාණය කිරීම අනිවාර්ය අංගයක්. එතැනදි ශබ්ද තාක්ෂණය ඉතාම නිවැරදිව හසුරවන්න සිද්ධ වෙනවා. මොකද ශබ්දය එක පැත්තකින් ගනුදෙනු කරන්නේ රසිකයාගේ ශ්‍රවණේන්ද්‍රිය එක්ක. අනෙක් පැත්තෙන් මේ නිර්මාණ වලට ශබ්දය භාවිතා කරන්නේ අර්ථයක් ඇතිව. කෙටියෙන් කිව්වොත් ශබ්ද පටිගත කිරීම කලාවක් නම් එය අතිශයින්ම තාක්ෂණය භාවිත කලාවක්. ඒ නිසා අඩුම තරමින් ශබ්දය පටිගත කිරීම පිළිබඳ අවබෝධයක් වගේම පුහුණුවක් නොතිබුණොත් කලාත්මක පටිගත කිරීමක් හෝ නිර්මාණාත්මක ශබ්ද නිර්මාණයක් සාර්ථකව කරන්න බෑ.
චලන රූප සන්නිවේදනයට ශබ්දය කොතරම් වැදගත් ද?
හඬ රූපයට එක්වීම කියන්නෙම රූපයේ නිහඬතාව බිඳ ප්‍රේක්ෂකයාට අපූර්ව භාවමය වින්දනයක් ලබාදීමක්. George Lucas කියනවා “හඬ යනු නිර්මාණයෙන් අඩක්” කියලා. (Sound is half of the Production) එය නිහඬතාවයට ඉතා ප්‍රබල වටිනාකමක් ගෙන දෙනවා. අපි දකින දේ වඩාත් අවධාරණය කරවනවා. අද වෙනකොට රූපරාමුව ඇතුලට ගෙන ගොස් තියන්න පුළුවන් තරමට ලෝකය, ශබ්දය තාක්ෂණිකව දියුණු කරලා තියෙනවා. ශබ්දය දැන් අපිට ඇහෙන්න විතරක් නෙමේ අපේ සිරුරට දැනෙන්නත් සලස්වනවා. බොහෝ අවස්ථාවල සිනමා කෘතියක් ඇතුලේ අපේ ඇහැ රවටන්න ශබ්දය කොයිතරම් ඉවහල් කරගන්නවද, අපි ඒකට කියනවා Beautiful lies about sound design කියලා. විශේෂයෙන්ම ක්‍රියාදාම සිනමාවේ ඇති හඬ නිර්මාණයන් අද රූපය අභිබවා යන තැනට ඇවිත්. ලොව විශිෂ්ඨ සිනමාකරුවෙක් වන අකිර කුරසාව කියනවා “චිත්‍රපටයක් හැදීමේ ක්‍රියාවලියේ විශ්මයජනකම අවස්ථාව හඬ පටය සකසන අවස්ථාව බවත් ඒ අවස්ථාවේ දී මගේ සිරුර වෙව්ලීමට පටන් ගන්නවා” කියලා. හඬට පුළුවන් ඒ තරම්ම හැඟීම් හරහා අපේ හදවත ස්පර්ශ කරවන්න. සමහර විට ඒ මොහොත නිහඬතාව විය හැකියි. ඒ නිහඬතාවට අවධානය සකසන්නේ හඬයි. ඒ නිසා Silence need loudness and Loudness need silence. කියලා අපි කියනවා.
ශබ්ද ඉංජිනේරුවේදය ලොව ඉතා ඉහළින් පිළිගත් වෘත්තියක්. ලංකාවේ ඒ වෘත්තියට ඇති පිළිගැනීම මොකද්ද?
කෙටියෙන් උත්තර දෙන්න බැරි සංකීර්ණ ප්‍රශ්නයක් ඒක. ඔව් ශබ්ද මාධ්‍ය මේ වෙනකොට විශාල පරාසයක විසිරුණ, විශාල වෘත්තීය අවස්ථා බහුල විෂයක්. දැන් බලන්න හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට නාමාවලියක්. ඒවා තුල ශබ්දය කියන විෂයට අදාල Job Title කීයක් නම් තියෙනවද? ඉතින් ඒතරම් විශාල පිරිසක් නිර්මාණයක ශබ්දය වෙනුවෙන් වැඩ කරන්න හේතු තියෙනවා. නමුත් එතරම් වෘත්තීය පිළිගැනීමක් ඇති මේ විෂය ඉගෙන ගන්න, පිළිගත් වෘත්තිකයන් බිහිකරන්න සුදුසුකම් සහිත ආයතනයක් අපේ රටේ නෑ. ලංකාවෙන් එළියට ගිහින් මේ විෂය විධිමත්ව හදාරා ආව සීමිත පිරිසක් ඉන්නවා. ඒ අයත් වැඩ කරන්නේ සංගීත ක්ෂේත්‍රයට අදාලව. නමුත් සිනමාව වැනි විශේෂ ක්ෂේත්‍රයක අද අපි දකින බොහෝ අය ස්වයං අධ්‍යයනක් කල හෝ කිසියම් කෙනෙකු යටතේ වැඩකර යම් අවබෝධයක්, අත්දැකීමක් ලබාගත් අය. මට දැනෙන විදියට හා මම ඉගෙනගෙන ඇති ආකාරයට වගේම ලෝකයේ සිදුවන ආකාරයට ශබ්ද ඉංජිනේරුවෙකු (Sound Engineer) වීම ලේසි කටයුත්තක් නෙමේ. කොම්පියුටර් එකක මෘදුකාංගයක් භාවිතා කරලා යමක් පටිගත කරන හැම කෙනාටම Sound Engineer කියන වෘත්තීය නාමය දෙන්න පුළුවන් ද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. Production Sound Mixer කියන වෘත්තීය නාමය පාවිච්චි කරන්න මම On location Production Sound පිළිබඳව අවුරුදු 10 ක් විතර විෂය හැදෑරීම පමණක් නෙමේ අත්හදා බැලීම් පවා කලා. ඇත්තටම මමත් ශබ්ද ඉංජිනේරුවෙකු නෙමේ. තාක්ෂණික කාරණා බොහෝමයක් අධ්‍යයනය කරලා තිබුණත් ඒවා ප්‍රමාණවත් වෙන්නේ Sound Designer කෙනෙක්ට අවශ්‍ය ප්‍රමාණයට. විශේෂයෙන් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුල හඬ පිළිබඳව දක්වන උනන්දුව සහ දැනුම ඉතා අල්පයි. බොහෝ රටවල ශබ්ද තාක්ෂණයට අදාල උපකරණ අලෙවි කරන වෙළඳ සේවකයෙකුට පවා Sound Engineering පිළිබඳ ඩිප්ලෝමාවක්වත් අවශ්‍යයයි. අපි චිත්‍රපටයක් රූ ගත කරන තැනකට ගියොත් එතන ඉන්න අය 100ක් හිටියොත් එයින් 97% ක්ම වැඩ කරන්නේ රූපය වෙනුවෙන්. ශබ්දය පැත්තේ අපි 3% යි. එතකොට ශබ්දය වැනි අතිශය තාක්ෂණික, සංකීර්ණ විෂයකට අනෙකා ගේ සහාය කොච්චර අවශ්‍ය ද කියලා තේරෙනවා නේ. ඉතින් මගේ අදහස නම් මේ වගේ වෘත්තියකට ඉහළ පිළිගැනිමක් ලබා ගන්න නම් අපි මේ විෂයේ තියෙන දැනුමේ අඩුව පුරවන්න ඕනේ. සමහර රටවල සිනමා පාසල් වලට, විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් ඇතුලත් කර ගන්නකොට තියෙන විශේෂ ක්‍රමවේදයක් තමයි ඒ කර්මාන්තයට ඇතිවන අවශ්‍යතා අනුව සිසුන් බඳවගෙන පුහුණු කරලා ටැලන්ට්ස් හදලා එළියට දාන එක. ඒ වගේම ශබ්දය පිළිබඳව තාක්ෂණයෙන් ඔබ්බට ගිය කථාබහක් අපේ රටේ ඇති වෙන්නත් ඕනේ.
වැඩකිරීමේ කාලය පූර්වයෙන් නිශ්චය කරන්න අමාරු වෘත්තියක කාන්තාවක් නියැලීමේ දී සුවිශේෂ ගැටලු වලට මුහුණ පානව ද?
මට නම් කොහෙත්ම නෑ. එක් හේතුවක් තමයි මම හරිම නිදහස් කාන්තාවක් වීම. ඒ වගේම මම වැඩ කරන පිළිවෙලක් හදාගෙන තියෙනවා. වේලාව නොතකා වැඩ කරන්න සිද්ධ වෙන අවස්ථා නැතුවාම නොවෙයි, ඒත් සංස්කරණයේ දී හෝ ශබ්ද නිර්මාණයේ දී එක දිගට නොනවත්වා වැඩ කිරීමෙන් නිර්මාණයට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. නිකම් අපි ආතතියට පත්වෙනවා විතරයි. නිර්මාණශීලී මනසකට විවේකය අත්‍යවශ්‍යයි. ඒ නිසා මම වැඩ කරන්නේ තෝරාගෙන. හැම එකම බදාගන්නේ නෑ. අනෙක මේ ප්‍රශ්නයෙන් හැඟවෙන්නේ කාන්තාවක් නම් සිය වෘත්තිය කාන්තාවකට සුදුසු එකක් විය යුතුයි, ඒ සඳහා යම් සීමාවලට යටත්විය යුතුයි කියන සමාජයේ මුල බැසගෙන ඇති ආචීර්ණකල්පික මතය නේද? කියලා මට හිතෙනවා. කාලය නිශ්චය කරන්න බැරි වෘත්තීන් විතරක් නෙමේ, විවිධ ක්ෂේත්‍රවල ඉතා දක්ෂ උගත් කාන්තාවන් බොහෝමයක් තමන් ගේ රැකියාව පවුල, දරුවන් වෙනුවෙන් අත්හරින බව මගේ අවටින්ම මම දැකල තියෙනවා ඕන තරම්. ඒක හරි අපරාධයක්. සෑම ක්ෂේත්‍රයකටම කාන්තා පෞරුෂයන් අවශ්‍යයි. ලංකාවෙන් පිටතට ගියාම ගොඩක් රටවල සිනමා ක්ෂේත්‍රයේ විවිධ අංශ වල කාන්තාවන් විශාල පිරිසක් වැඩකරනවා. ඒක අපිට මැජික් වුණාට ඒ අයට ඒක සාමාන්‍ය දෙයක්. තවත් බොහෝ දෙනා කියන දෙයක් තමයි කාන්තාවන්ට මේ වගේ ක්ෂේත්‍රයක වැඩ කිරීම ඉතාම අපහසුයි කියන එක. ඒක ඉතින් කොයි ක්ෂේත්‍රයේ හිටියත් තමන්ගේ පෞරුෂය අනුව සිදුවෙන දෙයක්. මට මේ ක්ෂේත්‍රයේ බහුල වශයෙන් වැඩකරන්න සිද්ධ වෙන්නේ පිරිමින් එක්ක. බොහෝ දෙනාගෙන් ගෞරවය, ආරක්ෂාව හා සහයෝගය ලැබෙන අවස්ථා වැඩිවීම තමයි මගේ වෘත්තීය අත්දැකීම. තමන් කරන විෂය තමන් හරියට ප්‍රගුණ කරලා තියෙනව නම්, ඒක ඇතුලේ නිර්මාණශීලීව වැඩ කරනවා නම් තමන්ගේ කාල සටහනක් අනුව වැඩකිරීමේ අවස්ථා සකසා ගන්න පුලුවන්. මම කැමතියි මේක අවස්ථාවක් කරගන්න තවත් කාන්තාවන්ට මේ ක්ෂේත්‍රයට එන්න කියලා ආරාධනා කරන්න.
මේ වෘත්තිය පූර්ණ තාක්ෂණීක එකක් නිසා කලාත්මක භාවිතය අවමද?
මෙය අතිශයින්ම තාක්ෂණය භාවිතා කරන්න සිදුවෙන කලාවක් කියන එකයි මගේ අදහස. ඇත්තවශයෙන්ම සිනමාව කියන්නේම ඉතින් කාර්මික විප්ලවයෙන් පසුව ආරම්භවුණු නවීන විද්‍යාවේ දරුවෙක් නේ. මොකද චිත්‍රපටය කියන්නේ අතිශයින් තාක්ෂණික ක්‍රියාදාමයක අවසාන නිමි ප්‍රතිඵලයක්. ශබ්දය කියන්නෙත් සිනමාව හා අනෙකුත් දෘශ්‍ය මාධ්‍ය සඳහා ඉතා ප්‍රබල මෙන්ම අත්‍යවශ්‍ය තාක්ෂණික යෙදවුමක්. හැබැයි ඔය කියන තාක්ෂණික කෑල්ල ශබ්දයට වගේම රූපයටත් අදාලයි. රූපයටත් ඊට අදාල තාක්ෂණික කාරනා හා ක්‍රියාවලියක් තියෙනවනේ.
ශබ්දයේ දී අපි පැහැදිලිවම වෙන්කර හඳුනාගන්න අවශ්‍ය කාරනා දෙකක් තියෙනවා. ඒ තමයි ශබ්ද ඉංජිනේරුවේදය (Sound Engineering) සහ ශබ්ද නිර්මාණ ශිල්පය (Sound Designing) කියන කාරණා දෙක. මේ දෙක දෙකක්. Sound Engineering කියන්නේ අතිශය තාක්ෂණික කාරණාවක් වගේම එහිදී තාක්ෂණික භාවිතය නිවැරදිව හසුරුවන්න අවශ්‍ය දැනුමේ මද බව හෝ නොමැතිකම නිර්මාණාත්මක කාර්යය මරා දමනවා. (Technology kills the creativity). එතකොට හඬ පටය නිර්මාණය කිරීම ( Sound Designing ), නැත්නම් ලංකාවේ කියන විදියට ශබ්ද සැලසුම්කරණ කාර්යය තමයි කෘතියට කලාත්මක අගයක් අරන් දෙන්නේ. ඉතින් මේ දෙක එකිනෙකට වෙන්කල නොහැකි අන්ත දෙකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ දෙබස් ටික පටිගතකරලා ඒකට මියුසික් ටිකක්, වෙනත් ශබ්ද ටිකක් දාලා ඒක බැලන්ස් කරන එකම නෙමේ Sound Designing කියන්නේ. ඒක පිටපත ලියන අවදියේ සිටම රචකයාට හෝ අධ්‍යක්ෂවරයාට සිය අවධානයට ලක්කලයුතු කාරණයක්. රූප භාෂාවට වගේම ශබ්ද භාෂාවට හොඳ අවදියක් අවශ්‍යයි. ඒ කියන්නේ දෙබස් හෝ සංගීතය ගැන අවධානය දෙන්න ඕන කියන එක විතරක්ම නෙමෙයි. අනෙක් අතට ශබ්ද නිර්මාණ ශිල්පියාට සමාජ, දේශපාලන, සංස්කෘතික හා විශේෂයෙන් චරිතයන්ගේ මනෝභාවික ස්වරූපයන් මනෝවිද්‍යාත්මකව ප්‍රේක්ෂාගාරයට ගෙන යන්න කොයි විදියටද හඬ ස්ථාන ගතකරන්නේ, ඒවාට අදාල මූලිකාංග (Elements) ඍජුව හෝ වක්‍රව භාවිතා කරන්නේ කොහොමද යන්න ගැන හැඟීමක්, දැනීමක්, අත්‍යවශ්‍යයි. මේක ඉතින් චිත්‍රපටයේ ශානරය අනුව වෙනස් වෙනවා. ඒ ඒ කෘතියට අදාල, නැත්නම් ඉල්ලන හඬ වර්ණය අපි සොයාගන්න ඕනේ. ඒක තමයි මේ තාක්ෂණික යෙදවුමේ කලාත්මක භාවිතාව. ඉතිං ඒවා අභ්‍යාස කරන්න හැකි චිත්‍රපට බිහිවිමත් මෙහි අතුරු, නමුත් අත්‍යවශ්‍ය කාරණයක්.
ප්‍රශ්න කිරීම: කපිල එම්. ගමගේ.

Previous articleICC වසරේ කණ්ඩායම් අතරට ලංකාවේ වනිඳු, දුෂ්මන්ත, දිමුත්
Next articleමුලතිව් ක්‍රීඩිකා ”රන් දැරිය” ඉන්දුකා දේවිට උණුුසුම් සුභ පැතුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here