ඉමක් නිමක් නැති නුවර කලාවියේ අලි – මිනිස් ගැටුම

බොරළු මාර්ගයෙහි තැනින් තැන දමා ගිය කෙසෙල් කොළ සහ කෙසෙල් පිති ය. එමෙන් ම තවත් තැනක පොල් ගසක කොටස් ය. මාර්ගය දෙපස කැලෑවට ගොස් ඇති ඉඩමක ගස් කොළන්වලට ඉහළින් වහළයක උළුකැට මඟ දෙපස යනෙනවුන් දෙස බලා සිටිනුයේ, ඇඟිලි තුඩගින් ඉස්සීගෙන මෙන් ය. අප ගමන් කරමින් සිටියේ, අනුරාධපුර, ශාස්ත්‍රීවත්ත, චන්ද්‍රාණිපුර උදා කළ ගම්මානය මැදිනි.

“ඇයි මේ ඉඩම් කැලෑ වැදිලා ?” යනුවෙන් මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු සැපයූවේ, මෝටර් සයිකලය පැද යමින් සිටි අනුරාධපුර, නැඟෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, කුමුදු ය. “කාරණා දෙකක් ඕකට බලපාලා තියෙනවා. චන්ද්‍රාණිපුර කියන්නේ, චන්ද්‍රාණි බණ්ඩාර විසින් පහුගිය යූ.එන්.පී. ආණ්ඩු කාලේ ඉදි කරපු නිවාස පනස්පහකින් යුත් උදාගමක්. ඒකට ම එහා පැත්තෙන් තව ගමක් තියෙනවා, උතුරුමැද පළාත් සභා මන්ත්‍රී, සේමසිංහ විසින් ඉදි කරපු ‘සේමසිංහ ගම’. අද ඒ ගම හැඳින්වෙන්නේ ‘ආචිරිගම’ කියලා.

“මේ උදාගම් දෙක ම ඉදි කරලා තියෙන්නේ, කලින් වන අලින් එහා මෙහා ගිය අලිමංකඩක් හරස් වන විදියට. පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තා හෝ විද්වතුන්ගේ අදහස් හෝ නොසලකා හැරලා, ඉදි කරපු  මෙම ගම්මාන හේතුවෙන් ඒ ගම්වල ජනතාවට වාගේ ම අසල්වැසි ගම්වල ජනතාවටත් වසර ගණනාවක් පුරා වන අලින්ගෙන් උවදුරුවලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා.”

හිසට සෙවණක් නොමැතියකුට නිවසක් ලබා දීම අගය කළ යුතු ය. එසේ වුව ද, චන්ද්‍රාණිපුර නිවාස පනස්පහෙන් වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇත්තේ, නිවාස හිමි අයවලුන්ට බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති. ඒ හේතුවෙන් ම චන්ද්‍රාණිපුර උදා කළ ගම්මානයේ නිවාස පනස්පහෙන් පදිංචිකරුවන් සිටිනුයේ, නිවාස විස්සක් වැනි සංඛ්‍යාවක පමණි. ඉතිරි නිවාස සියල්ල ගරාවැටී, විනාශයට ලක් වෙමින් තිබෙන අතර, එම නිවාස ඉදි කර ඇති භූමිභාගයන් දැඩි ලෙස වනගත වෙමින් තිබේ. ඇතැම් නිවාස මුල් අයිතිකරුවන් විසින් වෙනත් පුද්ගලයන් වෙත විකුණා දමා ඇති අතර, එම පුද්ගලයන් ද චන්ද්‍රාණිපුර නිවාසවල පදිංචි වීමට මැලිකමක් දක්වනුයේ, වන අලි තර්ජනය හේතුවෙන් බව එහි සංචාරය කළ අපට දැනගත හැකි විය.

අලුත්වැව, ශ්‍රාවස්තිවත්ත, කිඹුලාකඩ, තිරප්පනේ, නෑබඩගම, බුලන්කුලම සහ තවත් ග්‍රාම නිලධාරී වසම් දොළහකට අයත් පවුල් හාරදහසක ජනතාවකට මෙම වන අලි තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත. මෙම ගම්මාන ආවරණය වන සේ ඉදි කර ඇති අලි වැට ද වන අලි තර්ජනයෙන් එම ජනතාව මුදා ගැනීමට මෙතෙක් සමත්ව ඇත්තේ නැත.

දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල වාර්තා වන අලි-මිනිස් ගැටුමට අක්‍රමවත් ඉදි කිරීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ ශීඝ්‍රයෙන් විනාශයට පත් කරන වනගහණය හේතු වී තිබේ. වන අලින්ට යැපුම් ප්‍රදේශ අහිමි වීම වන අලින් ගම්වැදීමට ප්‍රධාන හේතුවක්ව ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

දෛනිකව කිලෝ තුන්සියයත්, තුන්සියපනහත් අතර ආහාර ප්‍රමාණයක් සොයා දිනකට කිලෝ මීටර් තිහත්, පනහත් පමණ දුරක් ඇවිදින වන අලියකු දෛනිකව පානය කරන ජල ප්‍රමාණය ලීටර් 150-200ත් අතර වන බව පැවසේ. විශාල වශයෙන් තෘණ වර්ග ආහාර ගැනීමට ප්‍රිය කරන වන අලින්ට ඇති වී තිබෙන ආහාර හිඟය හේතුවෙන් ම උන් වගා බිම් ආක්‍රමණය කිරීමට පුරුදු වී සිටිති.

වගා බිම්

උග්‍ර ආහාර හිඟය සහ සංචරණ මාර්ග අහිමි වීම වන අලින් වගා බිම් වෙත යොමු වීමට හේතු වී ඇති අතර, වර්තමානය වන විට තත්ත්වය කොතෙක් උග්‍ර වී ඇත් ද යත්, රාත්‍රි කාලය හැරුණු විට උදය කාලයේ මෙන් ම දහවල දී ද නිරාහාර  වන අලි රංචු වගා බිම්වලට කඩාවදිනු දැකිය හැකි ය.

මහා පරිමාණ ජලාශ ව්‍යාපෘති සහ නිවාස ව්‍යාපෘති ඇති වීම වන සතුනට විශාල වශයෙන් සිය වාසස්ථාන අහිමි වීමට බලපා ඇති අතර, මෙම තත්ත්වය මිනිස් ප්‍රජාව සහ වන අලින් අතර ගැටුම් තීව්‍ර වීමට බලපා තිබේ. වන අලි ප්‍රහාරයට ලක් වූ නිවාස සහ වන අලින් විසින් හානි කරන ලද වගා බිම් අප හට දැකගැනීමට හැකි වූයේ එම ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස ය.

අලි වැට

මෙම කඩාවැදීම් වැළැක්වීම වෙනුවෙන් අප රට තුළ වර්තමානයේ දීත් ක්‍රියාත්මක වනුයේ, අලි වැට ඉදි කිරීම වුව ද, එය මෙතෙක් සාර්ථක උපක්‍රමයක් බවට පත්ව නොමැත. අලි වැට නිසි ප්‍රමිතියෙන් ඉදි නොකිරීම සහ නඩත්තු නොකිරීම පිළිබඳව වන අලි තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවලින් නිරන්තරව වාර්තා වනුයේ එබැවිනි. මෙවර අපගේ නිරීක්‍ෂණයට ලක් වූ චන්ද්‍රාණිපුර, ආචිරිගම අවට ගම්මාන වන වීරවැව, කොඩිගලගම, වදාකඩ ආදී ගම්මාන රැසක අලි වැටවල් සම්බන්ධ තත්ත්වය ද එය ම ය.

ඉහත ගම්මාන ආවරණය කරමින්, කිලෝ මීටර් දොළහක පමණ දුරක් විහිද යන අලි වැට සඳහා විදුලි සැපයුම ලබා දී ඇත්තේ, එක් ස්ථානයකින් පමණක් වන අතර, අලි වැට හරහා ගම්මාන වෙත දිවෙන මාර්ග හේතුවෙන් අලි වැට ඛණ්ඩනය වන ස්ථානවලින් එහාට නැවත විදුලි සැපයුමක් නොමැති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති.

තත්ත්වය එසේ තිබිය දී, අලි වැට ඉදි කර විකිණීමේ සමාගම්වලට අයත් වෙළෙඳ ප්‍රචාරක පුවරු ප්‍රදේශයේ තැන් තැන්වල ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබිණි. වත්මන් වනජීවී අමාත්‍යවරයා ද මැදිහත්ව වන අලි තර්ජනයට ලක්ව සිටින ජනතාවගෙන් යම් මුදලක දායකත්වය සමඟ රජයේ ප්‍රතිපාදන ද යොදවන බව කියන අලි වැට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡාවක් ඇති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති.

ඒ අනුව ඉදිරියේ දී ජනතාව මුහුණ දී ඇති අනතුරට පිළියම මුදලට විකිණීමේ ව්‍යාපාරයන් ඇති වීමේ පෙරනිමිති පහළ වෙමින් තිබෙන්නේ යැයි සිතිය හැකි ය.

පහළ මල්වතු ඔය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මධ්‍යම නුවරගම් පළාතේ, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමලේ, බෝගොඩ ප්‍රදේශයේ දී පහළ මල්වතු ඔය ජලාශය සඳහා මුල්ගල තබනු ලැබ ඇත්තේ, පසුගිය රජය විසිනි. වාර්තා වන තොරතුරුවලට අනුව මල්වතු ඔය ජලාශයට යට වන භූමිය හෙක්ටයාර 1,880ක ප්‍රමාණයකි. එම භූමිය වන අලින් ගැවසෙන තෘණභූමි කලාපයක් වන අතර, නෙළුම්ගල, සඳමල්එළිය, දෙමටමල්ගොඩ, තන්තිරිමලේ යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ය. වත්මනෙහි එම භූමියෙහි ජීවත් වන පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් දෙදහසක් පමණ වන බව ම.නු.ප. ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, සුමිත් කුලතුංග පවසයි.

ඒ අනුව ඉහත ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟුණහොත්, අවතැන් වන ජනතාවට වෙනත් ප්‍රදේශයන්හි වාසස්ථාන හිමි වනු ඇතත්, එම ප්‍රදේශයෙහි ජීවත් වන වන අලින් ඇතුළු අනෙකුත් ජීවීනට සිය වාසභූමි අහිමි වනු ඇත. මොරගහකන්ද ජලාශය ඉදි කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වූ වන අලින් ලග්ගල, පල්ලේගම, ඇළහැර මෙන් ම නාඋල නගරය දක්වා ම ආක්‍රමණය කරමින් තිබෙන තත්ත්වය ඇස්මානයේ තිබිය දී ඉහත ජලාශය හේතුවෙන් ආසන්න ගම්මානවල ජනතාවට මුහුණ දීමට සිදු වන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත.

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කොට ගත් ඉහත ප්‍රදේශවාසීන් මේ වන විට ද හේන් ගොවිතැන අත්හැර දමා ඇත්තේ, වන අලින්ගෙන් එල්ල වන තර්ජනය හේතුකොටගෙන ය. තමන් මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ සිට වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දක්වා දැනුම්වත් කර ඇතත්, අර්බුදයට සාර්ථක විසැඳුමක් මෙතෙක් ලැබී නොමැති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති.

සිය ගම්මාන ආරක්‍ෂා වන පරිදි අලි වැටක් ඉදි කර දෙන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත්තේ, පහළ මල්වතු ජලාශයට ඉහත ගම්මාන යට වන බැවින්, අලි වැට ඉදි කිරීම කළ නොහැකි බව ප්‍රකාශ කරමිනි.

තන්තිරිමලේ, මහවිලච්චිය කොට්ඨාසය තුළ වන අලි ප්‍රහාර හේතුවෙන් මෑත කාලයේ දී පුද්ගලයන් දස දෙනකු පමණ මිය ගොස් ඇති අතර, වන අලින් හතර දෙනකුට පමණ දිවි අහිමි වී තිබේ.

රට පුරා ප්‍රදේශ ගණනාවක ජනතාව වසර ගණනාවක් පුරා මුහුණ දෙන අලි – මිනිස් ගැටුමට මෙතෙක් පැවැති කිසිදු රජයක් සාර්ථක විසැඳුමක් ලබා දීමට සමත් වී නැත. ඒ වෙනුවට ජනතාව ආරක්‍ෂා කිරීමේ මුවාවෙන් ඉදිරියේ දී අවදානමට මිලක් නියම කරමින්, වෙළෙඳ සමාගම් ඉදිරියට පැමිණෙනු දැකිය හැකි වනු ඇත. අර්බුදය විසඳනු වෙනුවට එම අර්බුදය විකුණාගෙන කෑමේ උත්සාහයන් ක්‍රියාත්මක වනු ඇත.

විදුලිය සහිත අලි වැටක් ඕනෑ

බුලත්සිංහල වනරතන හිමි

“අවට ගම්මාන රාශියක ජනතාව වන අලි උවදුරෙන් පීඩාවට පත් වෙලා සිටිනවා. මූලික ම දේ තමයි, නියම ප්‍රමිතියෙන් යුතු අලි වැටක් නැතිකම. අලිමංකඩ වහලා, ගම්මාන ඉදි කරලා, මේ කරලා තියෙන වැරැද්ද දැන් නිවැරැදි කරන්න පුළුවන් ද කියන්න බැහැ. නියම ප්‍රමිතියෙන් යුත් අලි වැටක් ඉදි කරලා, ප්‍රදේශයේ ජනතාවට අලි වැට ආරක්‍ෂා කිරීමේ වගකීම පවරන්න ඕනෑ. ජනතාව ජනතාවගේ යුතුකම ඉෂ්ට කරන්න ඕනෑ. ඒකට පාලකයෝ තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නත් ඕනෑ.”

ස්ථිර විසඳුමක් අවශ්‍යයි

නැ.නු.ප. ප්‍රාදේශීය සභා ජවිපෙ මන්ත්‍රී

කුමුදු ගුණවර්ධන

“මේ ප්‍රශ්නය වන අලින් සහ මිනිස් ප්‍රජාව සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් ම නොවෙයි. පරිසරය හා බැඳුණු ප්‍රශ්නයකුත් වෙනවා. වන අලින්ගේ පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයන් නිර්මාණය වෙන කොට තම පැවැත්ම වෙනුවෙන් ඒ සත්තුත් එතෙක් අනුගමනය කරපු ක්‍රමවේදයන් වෙනස් කරන්නේ නිරායාසයෙන් මයි.

“මිනිසුන්ගේ ආරක්‍ෂාවට අලි වැටක් වාගේ ම වනජීවීන්ගේ පැවැත්මට පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීමත් ආණ්ඩුව සතු පැහැර නොහැරිය හැකි වගකීමක්. නමුත්, මෙතෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් ඒ වගකීම ඉෂ්ට කරලා නැහැ.”

බලධාරීන් නිහඬයි

ම.නු.ප. ප්‍රාදේශීය සභා ජවිපෙ මන්ත්‍රී

සුමිත් කුලතුංග

“දවසින් දවස ප්‍රදේශයේ ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කරමින් වර්ධනය වෙමින් තිබෙන වන අලි තර්ජනයට සාර්ථක විසැඳුමක් දෙන්න කිසිදු පාලකයෙක් මෙතෙක් සමත් වෙලා නැහැ. පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත්, මේ ගැටලුව තවත් වර්ධනය වෙන බව සහතිකයි. දැනටමත් මෙම උවදුරට මුහුණ දී සිටින අපේ රටේ ප්‍රදේශ බොහොමයක මිනිස් ජීවිත වාගේ ම වන අලින්ගේ ජීවිතත් නැති වුණු අවස්ථා බොහොමයක් වාර්තා වෙනවා. කාලයක් පුරා සිදු වන මේ විනාශයට ස්ථිරසාර විසැඳුමක් අවශ්‍යයි.”

සටහන හා සේයා රූ

කිත්සිරි කොඩිතුවක්කු

Leave A Reply

Your email address will not be published.

1 × 1 =