“සුකුමාල” කෘතියෙහි මනස්කාන්ත පරිසරය වාග් චිත්‍ර නංවන්නේ, බස අඹරවමින්

14

වැස්සත් එක්ක, අව්වත් එක්ක, ලෙඩ රෝග උවදුරුත් එක්ක මිනිස්සු කරපු යුද්දෙට තමයි අපි ඉතිහාසය කියන්නෙ. එහෙම නැතුව විජය රජ්ජුරුවො තම්බපන්නියෙන් ලංකාවට ගොඩබැස්ස එකට නෙමෙයි”
(දීප්ති – දියකැටපහණ : අශෝක හඳගම)
පොඩි කාලේ ඉඳන් ඉතිහාසය ඔලුවට පෙරා කොටා ඇති තැනින් මුදවා, ඉහත කී උපුටනය වැනි සිතීමක් වෙත එන්නට අපිට ම තර්ක කරමින් ආයේ හිතන්නට පොළඹවන කතාවක් “සුකුමාල”. කතුවරයා ලියූ “සිවගිරියෙන් සීගිරියට” කෘතියෙන් ගෙන එන නව අදහස් සහ රස පද්ධතීන්ගේ ඇමිණීමත් සාක්කි සහිත ව සිදුවිය හැකි ලෙසින් ඔප්පු කිරීම් වැනි ම දෙයක් මේ පොතේදිත් සිදුවෙනවා.
සිංහයාගෙන් පැවත ආ කතාන්දරය, මිත්‍යා, එක්තරා ගොතාපු, වෙන්න බැරි කතාවක් මට්ටමට තිබියදී, ‘සුකුමාල’ පොතෙන් අපට එය විශ්වාස කළ හැකි මට්ටමකට හැඩගැස්සෙනවා. සිංහයා හුදු තිරිසනෙක් නොව, එවැනි හැඩිදැඩි ලකුණු සහිත පරම්පරාවක, ගෝත්‍රයක, මිනිසෙක් ය යන්න ගෙන එන නිසා, මහාවංශයේ සවැනි පරිච්ඡේදයේ එන කතාව වෙන ලෙසකින් කියවන්නට ලැබෙනවා.
මේ සිංහ කතාව, කවියට, නාඩගමට, නාට්‍යයට වස්තු විශය වුණා. කිරම ධම්මානන්ද හිමි කළ “සියබස්මල්දම” නම් ආඛ්‍යාන කාව්‍යයෙත්, “සිංහවල්ලි” නාඩගම, “සිංහබාහු” නූර්තිය, “සිංහවල්ලි කතාව” සේ ම සරච්චන්ද්‍රගේ “සිංහබාහු” නාට්‍යයට ද පාදක වෙනවා. පසුව, ගණනාත ඔබේසේකර ද මේ කතාවේ සිංහබාහු ලෙන බිඳ ලා මව් ද සොයුරිය ද සමඟ පලා ඒම, ගර්භාෂයෙන් මිදී උපත ලැබීමක් වැනි සංකේතීය අර්ථ දැක්වීමකින් ගෙනඑනවා ඔහුගේ ලිපියක. සුජිත් අක්කරවත්තට මීට වෙනස් අදහසක් සහිතයි. ඒවගේම, අර පෙර කී පොත්වල සුප්පාදේවි නැතිනම් වඟු රජ දියණිය කාමාශක්ත, එක්තරා නොහික්මුණු ආකාරයේ හොඳ නැති කාන්තාවක්ය යන්නක් හැඟවෙන ලෙසක් කිව්වත්, සුකුමාල පොතෙන් එවැන්නක් සිදුවන්නේ නැහැ.
ආරම්භක පරිච්ඡේද කිහිපය යන තෙක්, අපට පෙනෙන්නේ, යුද්ධ – රමණ – උපත්තිය – මරණ යන රටාව චක්‍රයක්, වට්ටෝරුවක් ලෙසින් එකපිට එක සිදුවන බවක්. නමුත් ටික දුරක් යද්දි, මේටික එක හැලියක ලා පිසෙන බව පේන්න ගන්නව. එක සමාජයකින් තවත් සමාජයකට, තවත් පරම්පරාවකට, තවත් ශිෂ්ටාචාරයකට යද්දි යන්න වෙන්නේ මොනවා මතින් ද කියල ‘සුකුමාල’ කියනව. ලංකාව හා සමාන්තරව ඉන්දියාවේ ඒකාලෙ සිදු වුණු දේ කියන නිසා බොරු කතාවක් කියල හිතෙන්නෙ නැහැ. හුදෙක් කතාව කියාන යනවාට වඩා, කතාව පැවතුණු භූමිය සහ පසුබිම සැකසීම සවිමත්.
නමුත්, කාව්‍යමය භාෂා රටාව නිසා ඇතැම්විට එක ම කොටස වැඩි වෙලාවක් වර්ණනා කරන බවකුත් දැනෙනවා. පුනරුක්තිය වගේ ම අනවශ්‍ය දික්ගැස්වීම් ඇතැයි හැගෙන තැන් හමුවෙනවා. ඉක් ඉක්මණින් සිදුවීම් හඹා යන බවකුත් පෙනෙනවා. නමුත්, මනස්කාන්ත පරිසරය වාග් චිත්‍ර නංවන්නේ, බස අඹරවමින්. රෑ සීගිරිය දකින අවස්ථාවට ජීවය ලැබෙන්නෙ ඒ බසින්. රසවත් බව හා ම විශ්වසනීය බව රැකගැනීම ඉතිහාස කතාවක් නිර්මාණයෙදී වැදගත්. මෑතකාලීන ව කියැවූ “චක්‍රවර්තී”, “බැමිණිතිකාලය” සහ “සංසක්කාරී” මේ කරුණේදී සිහිවෙනවා.
අනෙක් අතින්, කතුවරයා චරිතවල දෙබස්, සිතිවිලි අතරින් මතුවෙනවා. මේ සිංහබාහු දවස නොව, අද දවස යැයි සිතෙන තරම්.
” රට ම යටත් තම පියාගේ තනිකඩ ත්‍රස්තවාදය තමාට පරාජය කළ හැකි නම් ජනතාව බියෙන් මුදවාලූ රජ තමා වන්නේය. සිංහබාහුට සිහින පෙනේ”
විජයව රටින් නෙරපීමේ පුවත, ඇස් ඉස් මස් ලේ කවා හේතුප්‍රත්‍යයන් සහිත කරන කතුවරයා, වරද කළේ විජය නොව, නව අදහස් තිබූ තරුණ විජයව පලවා හැරි සිංහබාහු බව පවසන්නේ මෙලෙසින්.
” අරුමැසිවාදය සිංහබාහු තම රටින් අතු ගා දැම්මේය. නිදහස්වාදයේ නවීකාරක සිතුම් පැතුම් තම දේශයෙන් පළවා හැරියේය”
කතාව ආරම්භ වන්නේ, වඟු රජු දූ සුසීමා මැඳුරෙන් පලා ආ මොහොතින්. කතාව අවසන් වන්නේ, සිංහල යනු හුදු ආර්ය, වෙන ලේ හා මුසු නැතිය ආකාරයෙන් නිතර නිතර උඩ එන යක්ඛ පුත්‍ර මොරගැසීම මෙහි ප්‍රශ්න කරවමින්. “ජාන පූර්විකාවේ බහුජාන සුසැඳිය” ලෙසින්. කතාවේ අවසානය නවකතාවකින් මිස සැබෑවට ම සිදුවීමක් ගැන සිහින දැකීමට පවා අපට මේ වත්මන් මොහොතේ හැකියාවක් නැහැ. රජවරු තවදුරටත් පාලකයන් ලෙස හොයන සමාජය ගැන මහාචාර්ය මර්ලින් පීරිස් කියූ පහත වැකිය සිහිවෙනවා.
‘’රජකුට වහලුන් වෙමින් අපි මුල ඉඳලා හිටියෙ. ශ්‍රී වික්‍රම රාජසිංහ නෙමෙයි දෙවන එලිසබත් දක්වාම අපි ඉන්නෙ රජවරු යටතෙනෙ. එක්තරා අතකට, ලොව කිසිම ජාතියකට ඉඳලා නැති තරමට අපි රජවරුන් යටතේ ඉඳලා තියෙනවා. ඉතිං අපි ළඟ ඒ නින්දා සහගත වහල්භාවය තාමත් තියෙනවා. ඒ නිසා අපි තවමත් හොයන්නෙ රජවරු’’
– ඩිල්ශානි චතුරිකා දාබරේ

Previous articleත්‍රීමලේ තෙල් ටැංකි ජාතික සම්පත ඉන්දියාවට පාවාදීමේ ගිවිසුම හකුලා ගනු! ජවිපෙ විරෝධතාව
Next articleරජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස 65 කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here