නීලා වික්‍රමසිංහ ගායිකාව, තානාපතිනිය සහ දේශපාලිකාව

9

නීලා සංගීතය විෂය කොට ගෙන එමගින් මහත් වූ සේවාවක් රටට කළ කලාකාරිනියකි. නියමාකාරයෙන් ස්වරස්ථානයන්හි පිහිටා සිය මිණි කිකිණි නංවන මධුර ස්වරයෙන් අඩ සියවසක් පමණ තිස්සේ ඇය මෙරට අපමණ ප්‍රේක්ෂක පිරිසකගේ ජීවිතයට ප්‍රමෝදය ගෙන දුන්නාය. මම ද එසේ ප්‍රමෝදය ලැබූ අයෙක්මි. එහෙයින්ම ඇගේ මරණය මට නම් මහා අහිමිවීමකි. ඈ සිය හැකියාවෙන් කළ සේවාව තරාදියේ එක පැත්තකටත් ඇගේ ඔලමොට්ටල කතා එහි අනෙක් පැත්තටත් දැමූ විට ඈ රටට කළ සේවාව බර වැඩිය.
නීලා ගිය දේශපාලන මාර්ගයේ ගියේ ඈ පමණක්ම නොවේ. කලාකාර බහුතරය ගියේ ඒ මගෙහිමය. මං විශ්වාෂ කරන්නේ ‘සර් ගහල හරි ගන්න තිබුණනේ’ යන කතාව නිසා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය ඇයට අහිමි විය. එමගින් ඇයට අහිමි වන්නට ඇති මුදල් කන්දරාවද අති විශාල විය හැකිය. ඇගේ එම කතාව කියා පාන්නේ ඇගේ කිතු සිරුර ගැන අබමල් රේණුවක වැටහීමක් නීලාට නොතිබූ බවයි. එවැනි කතා තමන්ගේ හිතවත් බල කඳවුර පරාජය වූ වේලේ කිීම ඇගේ අවංක කමක් සේ ද මෝඩකමක් සේද ගත හැකිය.
නුවණැත්තෝ තම කඳවුර බලයේ උපරිමය භුක්ති විඳින විට ‘සිය ‘තෘණ මූල’ නායකයා ‘ශාක්‍ය වංශයට’ යාකොට ඒ කතාවෙන් එකී නායකයා සිහි මූර්ජා වී සිටිද්දීම කොටි ප්‍රකෝටි ගණනින් ගාන කපාගෙන පරාජයේ දී ‘අපි නම් ඕවට නෑ’ වගේ හැසිරීමක් පෙන්වා ‘ඉතිහාස පාඩමක්’ කරගෙන සැනසිල්ලේ ඉඳිති.
කලාකරුවන් සියල්ල යහපත් දේශපාලනයක් දරා සිටිතැයි යන්න මිත්‍යාවකි. හිට්ලර්ට භා ඔහුගේ නාසි ව්‍යාපාරයට උදව් කළ Richard Strauss, Hans Pfitzner, Carl Orff වැනි සංගීතඥයන් පවා අපට හමුවේ. එක් අවධියක ප්‍රේමදාස රෙජීමය වෙනුවෙන් සිය කලා නිර්මාණ ඉදිරිපත් කළ කලාකරුවන් අපේ ගර්හාවට ලක් වූ අතර කාලයාගේ ඇවෑමෙන් ඔවුන් නැවතත් පිරිසිදු සමාජ ජීවීන් බවට පත්විය. ප්‍රේමදාසගේ ගම් උදාවේ ගී ගැයීම නිසා අමරදේවයන් පවා ඒ ගර්හාවට ලක්විය. එහෙත් නීලාට එසේ පිරිපහදු වීමට සැලකිය යුතු කාලයක් දෛවය විසින් ඇයට නොදුන්නාය.
අදීනත්වයත් හැකියාවත් දෙකම එක්තැන් වූ ගුණදාස කපුගේලා, සෝමතිලක ජයමහලා හැමදාමත් 3% ප්‍රමාණයේ සුළුතරයකි. ඒ 3% ට පමණක් අපේ කලා රසාස්වාදනය උදෙසා ප්‍රමාණවත් මෙහෙයක් කළ නොහැකි බවද අපි තේරුම්ගත යුතුය. මහින්ද මහතා ‘6 වන මහින්ද රජු ‘ ලෙස නම් කළ යුතු යයි කී උගත් උදවිය ද සිටි බව අප අමතක කළ යුතු නොවේ.
නීලා දේශපාලිකාවක ලෙස අප හඳුනා ගන්නේ ඔය කියන ‘සර් ගහල හරි ගන්න තිබ්බෙ’ කියන එකෙනි. ඇය තානාපතිනියක ලෙස හඳුන්වන්නේ ඇය ඉතා කෙටි කලක් කොන්සල් ධුරයක් දැරෑ නිසාවෙනි. කට නිසා අහිමි වූ සිය කීර්තියට ප්‍රති පූරණයක් ලෙස දුන් ‘කොන්සල්’ නිලය දැරීමට ඇයට වාසනාව නැති විය.
නීලා වික්‍රමසිංහගේ මියයාම මට නම් මහත් අහිමි වීමකි. ඇය පෝලියො රෝගීන් අරබයා සිය කලාත්මක ශ්‍රමය වැගිරීමද කලාකාරිනියක අතින් සිදුවූ වෙසෙස් මෙහෙවරක් ලෙස ගනිමි.
– චන්ද්‍රරත්න බණ්ඩාර
කලාකරුවා සහ නිර්මාණය එකක්ද, කලාකරුවා වෙනස් අයෙකුදැයි ප්‍රශ්නය නැවත අප හමුවේ ඇත. 2019 නොබෙල් සම්මානය හිමිකරගත් පීටර් හන්ඩ්ක, බටහිරට අනුව ස්ලොබොඩාන් මිලොසොවිච් නම් යුධ අපරාධකරුවාගේ අවමඟුලට ගොස් කතාවක් කල අයෙකි. එමෙන්ම පොතක් ලියමින් යුධ අපරාද වල බර හෑල්ලු කළ අයෙකු යැයි චෝදනා තිබේ. එහෙත් ඔහුගේ සාහිත්‍යය අතහැර යුරෝපයේ නූතන සාහිත්‍ය කතා කළ නොහැකි තරම් ප්‍රභල ය. ගුන්තර් ග්‍රාස් නොබෙල් දිනාගැනීමෙන් පසුව ඔහු මියයාමට පෙර තමා හිට්ලර් යටතේ රැඳවුම් කඳවුරක සේවය කළ බව පවසා සිය ගෞරව අවතක්සේරු කරගත්තේ ය.
ෆොන්ටමාරා ලියූ ඉග්නාසියා සිලෝනි තරුණ අවධියේ පැසිස්ට් කඳවුරට ඔත්තු සැපයූ බව මෑතකදී හෙලිදරව් වී තිබිණි. නැවතත් නීලා ගැන ද මේ ප්‍රශ්නම අපට ඇසිය හැකි ය.
– රශ්මික මණ්ඩාවල

Previous article“පොකුරු හැදෙන්නට ඉඩහැර ජනතාවට බනිනවා” – පෝට් සිටියෙන් කොවිඩ් පොකුරක්?
Next article“ත්‍රීවීලර් ඩයරීස්” මහජන ප්‍රදර්ශනයට අකැපද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here