පොහොර හිඟය හේතුවෙන් අර්තාපල් වගාවේ අස්වනු අඩු වීම නිසා වැය කළ මුදලවත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව බණ්ඩාරවෙල අර්තාපල් ගොවීහු පවසති. නුවරඑළිය දිස්ත්රික්කයේ අර්තාපල් වගාවල අස්වනු නෙළීම මේ දිනවල දී සිදු වුව ද, එම අර්තාපල් වගාවලින් නිසි අස්වනු ලබා ගැනීමට නොහැකිවී තිබේ.
ගොවීහු විශාල පිරිසක් කාබනික පොහොර යොදා අර්තාපල් වගා කර ඇතත්, එම අර්තාපල් වගාවල අස්වනු ඉතාමත්ම අඩු වීමත්, ලැබුණු අස්වැන්න ද පණුවන් කා දැමීමත් නිසා කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් මෙලෙස දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ඔවුහු පවසති.
රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කිරීමේ දී අස්වනු අඩු වී පාඩු ලැබීමට සිදු වුවහොත්, ඒ සඳහා වන්දි ලබාදෙන බවට කෘෂිකර්ම ඇමැතිවරයා පැවසුව ද, මේ වන තුරු කිසිදු නිලධාරියකු තම වගාවන් බැලීමට පවා නොපැමිණි බවත් මෙම ගොවීහු චෝදනා කරති.
“මෙම කන්නයේ දී අර්තාපල් වගා කිරීම සඳහා අපිට රසායනික පොහොර බෙහෙත් කිසිවක් තිබුණේ නෑ. අපි අර්තාපල් වගා කිරීම සඳහා විශාල වියදමක් දැරුවා. වගා කරන ලද අර්තාපල් වගාවල අස්වනු මේ දිනවල දී නෙළනවා. නමුත්, කියන්නත් කනගාටුයි. මෙම වගාවල කිසිදු අස්වැන්නක් නෑ. එකට එකක අනුපාතයක් විතරයි තියෙන්නේ. ඒ හැදුණු අලගෙඩිත් ජිල්බෝල වගේ. ඒවටත් පණුවො විදලා. මෙම අර්තාපල් කාටවත් විකුණන්නත් බෑ“ යනුවෙන් එම ගොවීහු වැඩිදුරටත් පවසති●