දහමේ හඬ

අලු‍ත් කුලී ගෙදරකට විතැන් වුණු මනමේ කුමාරිට තිබුණු ලොකු ම අවුල යකඩ කටේ සද්දෙට උදේ පාන්දර ම දෝණියන්දැගෙ අවදි වීම. එතැන ඉඳලා එකදිගට අවදි වෙලා ඉන්න සිඟිත්ති හන්දා වැඩක් පොළක් කරගන්න විතරක් නෙවේ කන්තෝරුවට යන්න පිටත් වෙන එක පවා ලෝක යුද්ධයක් වෙලයි තිබුණෙ.

කන්තෝරුවට ගොඩවෙලා මේ ගැන හිත හිතා ඉන්න අතරෙ දී රාධා කුමාරි ළඟින් වාඩි වුණේ “මොක ද මේ ගැඹුරු කල්පනාවක ?” කියල අහගෙන.

“ස්පීකරෙන් මහ සද්දෙට ඇහෙන ගාථා සද්දෙට ළමයා උඩ ගිහින් ඇහැරෙනවා. හවස නං තව ඉවසතෑකි. උදේට තමා අවුල.” කියලයි කුමාරි උත්තර දුන්නෙ.

“අපිටත් ඔය ප්‍රශ්නෙ තිබුණා. දැන් නෑ.  මිනිස්සුන්ට බලහත්කාරයෙන් දහම අස්සවන්නෙ මොකට ද? වුවමනා අය පන්සල් ගිහින් වතාවත්වල යෙදෙනවා. තවත් අය ගෙදර ඉඳන්. එහෙව් එකේ මොන එහෙකට ශබ්ද දූෂණය කරලා මිනිස්සුන්ට හිරිහැර කරනව‍ ද මන්දා. මේක බලහත්කාරයක්. බැරි ද කම්ප්ලේන් කරන්න.”

උදුම්බරා කියද්දී, ප්‍රමිල කිව්වෙ “මිනිස්සුන්ව සන්සුන් කරල සුමගට ගන්න මේ හැටියට උත්සාහ කරද්දී, විරෝධය පළ කිරීම ම අපාගත වෙන වස

වැරැද්දක්” කියලයි.

“ගාථා පාඨ සද්දෙට දාලා මිනිස්සුන්ව සන්සුන් කරන්න බෑ හලෝ නො සන්සුන් වෙනවා මිසක්… බුදුහාමුදුරුවොවත් අනුමත කරන එකක් නෑ ඔය වගේ සිල්ලර වැඩ. බුදු දහමෙ තියෙන සහනශීලීත්වය කියන කෑල්ල නෑ නෙ එතන.” රාධා කිව්වෙ සද්දෙට.

“දැන් ආණ්ඩුවෙන් ම කියල නෙ තියෙන්නෙ රතන සූත්‍රය සද්දෙට දාන්න කියලා. මේ මේ රෝග බිය පහවෙලා යන්න.” ලක්ෂ්මී කිව්වෙ හැඟීම්බරව.

“පහ වෙයි ඔහොම යනකොට…” ඡන්න කිව්වෙ උදුම්බරා දිහා බලාගෙන.

“ඇත්ත දහම නැති වෙන කොට දහම විදියට උඩට එන්නෙ ඔය වාගේ සිල්ලර කෑලි තමයි. මං දන්න ඉස්කෝලෙක ලොකු ඉස්කෝලෙ මහත්තයා මේ දවස්වල ෆන්ඩ්‍ස් හොයනවා ඉස්කෝලෙ ඉස්සරහ  සමාධි පිළිමයක් හදන්න. උ‍න්නැහැගෙ අරමුණ  දරුවන්ගෙ ආධ්‍යාත්මික සංවර්ධනය කිරීම. ඒකට සෙට් වුණු ආදි ශිෂ්‍ය ප්‍රජාවත් වැඩේට සපෝට් කරනවා. පැන්සලක් ගන්න සල්ලියක් නැති ළමයි දහස් ගාණක් ඉන්න දූවක පිළිමයක් වෙනුවෙන් ලක්ෂ ගාණක් වියදම් කරනවා. මේ දූවෙ මිනිස්සුන්ගෙ ඔළුව වැඩ කරන විදිය…” පබා කිව්වෙ බොහොම සන්සුන්ව.

“මොකක්…? ආධ්‍යාත්මික සංවර්ධනේ කරන්න පිළිමයක් හදනවා. කවුද හලෝ එයාව ප්‍රින්සිපල් කරල තියෙන්නෙ. හරිම පටු චින්තනයක් නෙ. ඒ පැත්තෙ පන්සල් හෙම ඇත්තෙ ම නැද්ද? ඕවායින් වෙන්නෙ ළමයි ගෝත්‍රිකයො වෙන එක.” කියලා ඇහැව්වෙ රාධා.

“හරි ඉතින් මිනිස්සුන්ගෙ තින්කින් කැපෑසිටි එක බලලා රස්සාවල් දෙන සිස්ටම් එකක් මෙහෙ නෑ නෙ. කටපාඩම් කරලා දෙන පේපර්ස් ටිකට පැය ගාණෙදි හරියට ම උත්තර ටික ලියා ගත්ත නං ඒක නෙ සුදුසුකම. මෙහෙ ඉන්න බහුතරයක් පොලිසි මේකර්ස්ලත් එහෙම තමා…” කියලයි ප්‍රමිලා කිව්වෙ.

“මේ කන්තෝරුව ඇතුළෙ තැන් කීයක නං බුදුපිළිම තියෙනව ද? සමහර අය වැඩ කර ගන්න එන අයට අමතන හැටියෙන් ම ප්‍රදර්ශනය වෙනව නෙ ආධ්‍යාත්මික සංවර්ධනෙ තරම. අර  ප්‍රින්සිපල් පව් අනේ…” සීතා කතාවට හවුල් වුණේ ෆයිල් මිටියක් ලිහන ගමන්.

“මෙහෙ බහුතරයක් ආමිසය පළමු කොටගෙන ඉන්නෙ තමන්ගෙ හිත රවට්ට ගන්න. තමන්ගෙ වාසියට දහම දරන අය තමා මෙහෙ වැඩියක් ම ඉන්නෙ. මෙලොවත් බවබෝග සම්පත් ලබල, දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සුව බලාගෙන. අදහන්නෙ ම ලබා ගන්න මිසක් අතාරින්න නෙවේ. දේශපාලන සෙට් කොහොම ද? අවභාවිත වෙන දේවල් අතරෙ වැඩියෙන් ම අවභාවිත වෙන්නෙ බුදුන්ගෙ දහම” කියල රාධා කිව්වෙ, පරිගණක තිරේට මූණ ඔබා ගන්න ගමන්.

“ඇත්තට එහෙම නො කරන සෙට්  ඇත්තෙ ම නැද්ද…?” කුමාරි ඇහැව්වෙ රාධා දිහාට හැරිලා.

“නෑ වගේ තමයි. විශ්වීය‍යි කියල හිතන අයත් අභ්‍යන්තරයෙන් ගෝත්‍රිකයි. ඕවා ගැන වධ වෙන්න එපා. ළමයා නිඳි කර ගන්න විදියක් ගැන බලන්න.” ඡන්න කිව්වෙ කුමාරිට.

 

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

seventeen − seventeen =