රවී – මෛත්‍රී වලිය හෙළි කරන පැටිකිරිය

මේ දවස්වල දේශපාලන පොරපිටිය නැවත උණුසුම් ය. එයට ප්‍රධාන හේතුව මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම ය. පහුගිය කාලය පුරාවට ම ඔහු හිටියේ නිහඬව ය. ඒත්, හිටපු ගමන් ආවේශ වූවාක් මෙන් දිගට හරහට නෙළන්නට පටන් ගත්තේ ය. මුලින් ම නෙළුවේ ආණ්ඩුවට ය. ආණ්ඩුවේ පොහොර තීන්දුවට ය. ඒ නිසා ම මුලින් ම පටලවා ගත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ය.

අලුත්ගමගේ කෘෂිකර්ම ඇමැතිවරයා ය. කෘෂිකර්මය ගැන විවේචනය කරද්දී, මහින්දානන්දව විවේචනය නොකරම බැරි ය. ඒ අර්ථයෙන් පළමු ප්‍රහාරය එල්ල වූයේ ඔහුට ය. මහින්දානන්ද ප්‍රතිඋත්තර බැන්දේ මෛත්‍රීපාලගේ ගෙවල් තුනක් එකට මූට්ටු කිරීමේ සිද්ධිය පාදක කරගෙන ය. එනම්, ජනාධිපති ලෙස සිටි ගෙදරට තවත් ගෙවල් දෙකක් එකට යා කොට සෑදීම පිළිබඳව ය.

අහම්බයෙන් කඩාවැටුණ මේ පාඩමට එහා ගිය දෙයක් මෛත්‍රීපාලගේ ආවේශ වීම තුළ ඇත්තේය. ආණ්ඩුව දැන් ජනතාවට එපා වී අවසන් ය. ජනතාව ඉන්නේ හෙට අනිද්දා ම ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ය. පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ජනතාවට ඇති භය නිසා ය. ඡන්දය කල් දාන්න බලපෑ හේතුවක් කියා ගන්න බැරි වී ඇත්තේ ඒ නිසා ය. ආණ්ඩුව ජනතාවට එපා වෙන කොට ඇතුළේ ඉන්න බොහෝ අය තමන් සුදනන් යැයි කියන්නට උත්සාහ ගන්නෝ ය. ඇතුළේ ඉඳන් ම ආණ්ඩුව විවේචනය කරන්නේ ඔක්කෝට ම වඩා අවස්ථාවාදීන්ය.

පැරැදුණා ම පොළොන්නරුවට ගිහින් කුඹුරක් කොටාගෙන ඉන්නවා යැයි කියපු මෛත්‍රීපාල කොළඹ හතේ ප්‍රධානතම නිවාසයක් හිමි කර ගත්තේය. ඒ විශ්‍රාමික ජනාධිපතිවරයාට හිමි නිවාසය ලෙස ය. ඒ නිවාසය ලබා ගැනීමේ කතාව ලොකු කතාවක් ය. එහෙත්, මේ කතාව එළියට ආවේ මෛත්‍රීපාලගේ කට ඇවිස්සීමෙන් පසුව ය.

කට ඇරියොත් හිරේ?

ඊට පස්සේ ආණ්ඩුවේ බොහෝ කරුණු විවේචනය කරන්නට පටන් ගත්තේ ය. ඊට ප්‍රතිඋත්තර දුන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් හරහා ය. තිස්ස කුට්ටිආරච්චි, දිලුම් අමුණුගම වැනි අයවලුන් හරහා ය. දිලුම් කිව්වේ, “එයා ගැන අපි කට ඇරියොත්, එයාට ඉන්න වෙන්නෙ කොහෙ ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් නේ…” යනුවෙන් ය. ඒ කිව්වේ, මෛත්‍රී ගැන ආණ්ඩුවේ අය කට ඇරියොත්, මෛත්‍රීට ඉන්න වෙන්නේ හිරගේ ඇතුළේ යන්න ය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව සෘජුව ම ඇත්තේ, මෛත්‍රීට ය. දිලුම් කිව්වේ ඒ ගැන විය යුතු ය. මෛත්‍රීපාල පහුගිය කාලය පුරාවට ම නිහඬව හිටියේ පාස්කු ප්‍රහාරය යොදාගෙන ඇතුළට දාවි යන බිය නිසා යැයි යන්න ප්‍රසිද්ධ කාරණාවකි. ඒත්, දැන් කට ඇරියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන්ටත් ඔප්පු කළ හැකි බරපතළ කරුණු ඇතිව ද යන්න සැකසහිත ය.

සමහර අය කියන්නේ, පාස්කු ප්‍රහාරය මෙහෙයවපු අය පිළිබඳ සියලු තොරතුරු මෛත්‍රී දන්නා බවය. කාදිනල් උන්නාන්සේ ඇතුළු බොහෝ පිරිසක් මෛත්‍රීලාට එරෙහිව නඩු දාන්න යැයි කියන්නේ ද ඒ නිසා බව කියැවේ. උසාවියේ දී මෛත්‍රීපාලට තමන්ගේ ගැලවීම උදෙසා හෝ ඇත්ත කියන්නට සිදු වන නිසා ය. උසාවියේ දී අහන හරස් ප්‍රශ්න මඟින් සත්‍යය හෙළිදරවු කර ගත හැකි බව ඔවුන්ගේ අදහසය.

රවීගේ ෆයිල් හත

කොහොම වුණත්, මෛත්‍රීපාලගේ ශබ්දයේ අඩුවක් සිදු වී නැත. දිගට හරහට හැමෝට ම නෙළන්නේය. රාජපක්‍ෂලාට ද, යූ.එන්.පී.යට ද නෙළන්නේ ය. තමන්ට කැබිනට් මණ්ඩලයක් නොතිබුණු බව කිව්වේය. යූ.එන්.පී.ය දිගින්දිගට ම කකුලෙන් ඇදපු බවක් ද කිව්වේ ය. මොනවා හරි දෙයක් කළේ තමන්ගේ හයියෙන් බව පුන පුනා කියන්නේ ය.

මෛත්‍රීපාලගේ ආවේගයත් එක්ක රවී කරුණානායක හිටපු ගමන් කරළියට ආවේ ය. ඒ මෛත්‍රීපාලගේ චෝදනාවලට ප්‍රතිඋත්තර දෙන්නටය. රවී ෆයිල් හතක් ගෙනහැර පෑවේ ය. එහි පළමුවැන්න දෙදහස් දහහතර කාලයේ දී පිටරටින් ආපු ඩොලර් සල්ලි වගයක් ගැන ය. ඒ කියන්නේ, මෛත්‍රීපාල ජනාධිපති වෙන්නට පෙර ‘එල්කාඩෝ’ නමැති පෞද්ගලික ආයතනයට ආපු ඩොලර් වගයක් ගැනය.

එල්කාඩෝ ආයතනයේ හිමිකරුගේ දරුවකු මෛත්‍රීපාලගේ දරුවකු හා විවාහයක් වූ බවට කතාවක් ද තිබේ. ඥාති සම්බන්ධය ගැන කියැවෙන්නේ එසේ ය. කොහොම හරි පිටරටින් එල්කාඩෝ එකට ආපු සල්ලි ගැන මහින්දලා චෝදනාවක් කළේ ය. අන්තිමේ දී ඒ ගැන නඩුවක් ද දැම්මේ ය. රවී කියන්නේ, ඒ නඩුව බලයට ආ පසු යට ගසා ගත් බව ය. මෙහි ඇත්ත නැත්ත දන්නේ ඒ ගොල්ලන් ය. කොහොම වුණත්, චෝදනාව බරපතළ ය. මෛත්‍රීපාල ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත.

ඒත් එක්ක ම ලංකාවට යකඩ ගෙන්වීමේ දී බදු අඩු කර දෙන්න යැයි කියූ බවක් ද කියැවේ. යකඩ ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනාට ඒ සහනය දෙන්න යැයි කියූ බව රවී කියන්නේ ය. එය එසේ වූවා නම්, එය ද බරපතළ චෝදනාවකි.

එක්තරා පෞද්ගලික ආයතනයකට ටෙන්ඩර නොමැතිව ව්‍යාපෘතියකට අවසර දෙන්න යැයි නියෝග කළ බව ද කියයි. සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට එලෙස අවසර දෙන්න කියූ බව කියයි.

අමතක නැති ‘පෙර වැරදි’

අන්තිමට මේ ඔක්කො ම එකතු කරලා කියැවෙන්නේ මෛත්‍රීපාල කියන්නේ, ගුණමකුවකු බව ය. ඒකට උදාහරණයට ගන්නේ මහින්දත් එක්ක ආප්ප කාලා එළියට ආපු එක ය; රනිල් එක්ක එකට ඉඳන් මහින්ද ආපහු අගමැති කරපු එක ය; අවුරුද්දක් යන්න කලින් චන්ද්‍රිකාට පහර දෙන්න පටන් ගත්ත එක ය. අද වෙන කොට ආවේශ වෙලා මහින්දලාට, රනිල්ලාට ඔක්කොට ම පහර දෙන එකත් එක්ක ය.

සුදු ඇඳගෙන හිටියාට මෛත්‍රීපාල කියන්නේ, ගුණමකුවකු යැයි රවී හෙළිදරවු කරන්නේ ය. මාධ්‍යවේදියෙක් ප්‍රශ්න නඟන්නේ, ආණ්ඩුව ඇතුළේ ඉන්න කොට ඕවා එළියට දැම්මේ නැත්තේ ඇයි කියා ය. එකට ආණ්ඩු කරන කොට ඇතුළේ ප්‍රශ්න එළියට දාන්න බැරි බව ඇත්තක් ය. ඒත්, දැන් එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැත. ඒ නිසා මෛත්‍රීපාල කරපුවා වාගේ ම රනිල් වික්‍රමසිංහලා, රවී කරුණානායකලා කරපුවා එළියට දැමීමත් දැන් කළ හැකි ය. එය කළ හැක්කේ මෛත්‍රීපාලට ය.

ජනතාව බලාගෙන ඉන්නේ ඒ ටිකත් එළියට එනකම් ය. එකට කරපුවා දන්නේ එකට හිටපු අය ම ය. කොහොම හරි ජනතාවට එක දෙයක් තේරුම් යන්නේ ය. හොරු හොරු එකතු වෙලා හොරකම් කරපුවා ම කවදා හරි එළියට එන බව ය. දැන් මේ වෙන්නේ ඒක ය. පරක්කු වෙලා හරි එහෙම එළියට එන එක අනාගතයට වැදගත් ය. ආයෙත් වතාවක් ඔය වාගේ කට්ටිය බලයට ගෙන නොඑන්නට මේ ටික ම ප්‍රමාණවත් ය. ඉගෙන ගන්න ඇති හොඳ ම පාඩම ඒක ය.

අවස්ථාවාදීන්ගේ සද්ද බද්ද

අහම්බයෙන් කඩාවැටුණ මේ පාඩමට එහා ගිය දෙයක් මෛත්‍රීපාලගේ ආවේශ වීම තුළ ඇත්තේය. ආණ්ඩුව දැන් ජනතාවට එපා වී අවසන් ය. ජනතාව ඉන්නේ හෙට අනිද්දා ම ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ය. පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ජනතාවට ඇති භය නිසා ය. ඡන්දය කල් දාන්න බලපෑ හේතුවක් කියා ගන්න බැරි වී ඇත්තේ ඒ නිසාය.

ආණ්ඩුව ජනතාවට එපා වෙන කොට ඇතුළේ ඉන්න බොහෝ අය තමන් සුදනන් යැයි කියන්නට උත්සාහ ගන්නෝ ය. ඇතුළේ ඉඳන් ම ආණ්ඩුව විවේචනය කරන්නේ ඔක්කෝට ම වඩා අවස්ථාවාදීන්ය. අවස්ථාවාදීන්ගෙන් ජනතාවට වෙන විපත්තිය බැරිකමටත් වඩා හානිදායක ය. බැරිකම එන්නේ හොරකමත් එක්කය. හොරකමයි, බැරිකමයි දෙකම ජනතාවට හානිකර ය. එහෙත්, එය තේරුම් ගත හැකි ය. ඊට වඩා භයානක අවස්ථාවාදීකම ය. එය තේරුම් ගන්නට බොහෝ කාලයක් යන්නේ ය. එතකොට වෙන්න ඕනෑ දේ වෙලා අවසන්ය.

මේ දවස්වල ගිලෙන නැවෙන් එළියට

පැනගන්න බොහෝ අය විවිධ උත්සාහ ගනිති. හොඳ විමසිල්ලෙන් හිටියොත්, ඒ කවුරු කවුරුන් ද යන්න වටහාගත හැකි ය. අන්තිමට අවස්ථාවාදියෝ ඔක්කොම එකට එකතු වන්නේ ය. ජනතාව ගොනාට අන්දවන්න තවත් උප්පරවැට්ටියක් ගෙන එන්නේය. පරිස්සම් විය යුත්තේ ඒ උගුලෙන් ය. එහෙම නොවුණොත් දන්නෙ ම නැතිව ආයෙත් උගුලක වැටෙන්නේ ය.

ඔය බැණගන්න අයට බැණගන්න දීලා සිද්ධ වෙච්ච දේවල් එළියට ඇදගන්න එක මොළයට හොඳ ය. ඒ මඟින්වත් මේ දෙගොල්ලන්ගෙ ම පැටිකිරිය තේරුම් ගත හැකි ය. ආයෙත් ඒ වළේ නොවැටෙන්නට තීන්දු ගන්නට මේ බැණගැනිල්ල ජනතාවට වාසිදායකය●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

fourteen + five =