“අනුරාධා මෙහි කතුන් හරහා කවර වේදිකාවක වුව පසුපසට ඇද දැමෙනා කාන්තාවන්ගේ හඬ අවදි කරන්නීය”

‘නාරි සූත්‍රය’- අනුරාධා නිල්මිණි

දුම්රිය හැල්මේ කොළඹින් පිටතට ඇදෙයි. මම මුහුදට පිටුපා එහි අසුනක හිඳ සිටිමි. පිට හරහා වදින දැඩි හිරු රැස් ය. වෙරළත දැන් කිඹුල් භීතිකාවය. මට, පෙර කරන ලද මගේ පරිවර්තනයක නම සිහිපත් වෙයි. ‘මුහුදේද සිටිත් කිඹුළෝ’
මම මා ඉදිරිපස හිඳිනා මගීන් දෙස බලමි. කිහිප දෙනෙක් ජංගමය සමග යුහුසුළුව සිටිති. සෑම කතක්ම පාහේ දැඩි නින්දකය. පෙම්වත් යුවලක් පමණක් අනාගත සැලසුම් සදති.

ඉදින් මම අනුරාධා නිල්මිණිගේ නව කවි එකතුව කියවන්නට ගනිමි. ඒ සමග මගේ සිතට ලක්ශාන්ත අතුකෝරලගේ කවියක් කඩා වදියි.

වැඩ ඇරී
වැඩට යති
ගැහැණු

මම කියවීම අරඹමි. මටද නොදැනීම කියවීමේ වේගය වැඩිවෙයි. මට මීට පෙර මෙවන් වේගයකින්ම කියවූ පොතක් සිහිපත් වෙයි. ඒ රත්නායක තිලකරත්නගේ සිතුමිණි අඩවියයි.

අනුරාධා සිය කෘතියට තබා ඇති නම නාරි සූත්‍රයය. එහි අපට හමුවන කාන්තා චරිත ගණනාවකි. එය එක්තරා ආකාරයක චරිතාපදානමය කියවීමක් ලෙසද කෙනකුට ගත හැකිය. සිය ජීවිතයේ ලත් කටුක අත්දැකීම් ගැන ඒ කාන්තාවෝ කතා කරති. ඒ කතා තුළ ගෘහස්ථ ජීවිතය, කුටුම්බ වගකීම්, ලිංගික අතවර, දේශපාලන කාර්යයන්, ගොදුරු බවට පත්වීම්, සූරාකෑමට යටත්වීම,ප්‍රේමය සහ එය යළි අහිමිවීම, චිත්ත පීඩාවන්හී කටුකත්වය, සටන්කාමීබව, යටත් නොවීමට දරන උත්සාහය, සමාජ ක්‍රමය කෙරේ වන අපුල ආදී විවිධ මානයන් හමුවෙයි. මුලින්ම අපට හමුවන්නේ හිටපු අමාත්‍ය බදූර්දීන් ගේ නිවසෙහි මෙහෙකාර ඉරණම කරතබාගෙන මියගිය ඉෂාලිනී නම් යෞවනියයි. වතුකරයේ අන්ත දුක්විඳ ඇය නගරයට එවනු ලබන්නී තම ලේ මස් දියකර මුළු පවුලක බඩවියත සරි කරනු පිණිසය. එහෙත් ඇයට සිදුවන්නේ දින ගණනාවක් පුරා පුවත් මවනා, දේශපාලන කටගැස්මක්ව මියෙන්නට පමණි. එදා ඇයගේ සිරුර කරතබාගෙන ගිය මාධ්යම ඇතුළු කිසිදු තක්කඩියෙක් අද ඇය ගැන සිහිපත් කරන වගක්වත් නැති. දැන් ඇය ආර්ථික වටිනාකමක් අහිමි යල්පිනූ සිද්ධියක් පමණි.

ඉදින් ඇගෙන් ඇරඹෙන මේ චාරිකාව විවිධ චරිත හරහා දිග ඇදෙන්නේය. ලාංකික මෙන්ම විදෙස් කතුන් අපට හමුවන ඒ චාරිකාවෙහි ගාන්ධි ගේ බිරිඳ මාක්ස්ගේ බිරිඳ මෙන්ම විජේවීරගේ බිරිඳද සිටින්නෝය. එසේම ඔත්තුකාරියකැයි ගර්හාවට ලක් කර සමරා දැමුණු මාතාහාරි මෙන්ම මදිවදනී සහ මනම්පේරිද සිටින්නෝය. ඒ අතර සමූහ දූෂණයට ලක්කතර මරා දැමුණු ක්‍රිශාන්ති කුමාරස්වාමි මෙන්ම පකිස්ථානයෙ බෙනාසීර් ද සිටින්නෝය.

මේ සැම කෙනෙක්ම පාහේ අපට ඉදිරිපත් කරනා කතාවක් තිබේ. එය එක් අතකින් චෝදනා පත්‍රයකි. එසේම හෘදයාංගම ඉල්ලීමකි. සියළු වාද බේද මැද අමතක කර දමනු ලබනා පාවිච්චි කරනු ලැබ ඉවත ලන අත පිසිනා කරදාසියක් බවට පත්වන කාන්තාව දෙස විවෘත මනසින් බලන්නැයි විධානයකි. මට ඒ කියවාගෙන යද්දී ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි ගේ උත්තම ආලයක කතාවක් සිහිපත් වෙයි. එහි එන කාන්තා චරිතය විල්වවාදිනියකි. එසේම විප්ලවයේ නියමුවකුගේ පෙම්වතියකි. ඇය වෙතැති විප්ලවීය ජීවගුණය පෙම හමුවේ යටපත් කරන්නැයි, ඇගේ වැඩි වගකීම දේශපාලන කමිටුවලට සහභාගි වීම නොව තමන් සමග සිටීම යයි පෙම්වතා කියයි. ඇය සිය විප්ලවවාදී ජීවගුණය රැකගෙන අරගලයට සහය දීමට දරුනු අභ්‍යන්තරික අරගලයක යෙදෙන්නීය. මේ ‍වාමවාදී මෙන්ම දක්ෂිණාංශික යන කවර කඳවුරක වුව කතුන් මුහුණ දෙන පොදු තත්වයකි. ඉදින් අනුරාධා මේ කතුන් හරහා කවර වේදිකාවක වුව පසුපසට ඇද දැමෙනා කාන්තාවන්ගේ හඬ අවදි කරන්නීය.

අනුරාධාගේ කවි කියවන විට මගේ ඇස් ඉදිරියේ තිස්සකුට්ටිගේ වැහැරුනු වම්බටු කරල කුනුව යන ආකාරය දිස්වෙයි. ඇගේ චෝදනා පත්‍රය එතරම්ම බලවත්ය. මගහැර යානොහැකිය. එසේම ඇය ගේ කවි බස එහිලා කරන මෙහෙය ඉතා විශාලය.

දුම්රිය වැල්ල අද්දර නැවතුම් පලක නතර කරයි. වැල්ල අද්දර පැල්පත්හී කාන්තාවන් පිරිසක් උස් හඬින් රන්ඩුවකය. දුම්රියෙහි සිටිනා පිරිමින්ගේ මුහුණු සෝපහාසයෙන් ඇදවෙයි. කාන්තාවෝ බිම බලා ගනිති. දැනට වසර ගණනාවකට උඩදී ගණිකා දඩයමෙහි යෙදුන සිවිල් නිලධාරීන් දැක විලාප නගාගෙන පලා යන්නට තැත් දැරූ කාන්තාවන් මගේ සිතෙහි දිගහැරෙයි. වසර හතරින් හතර සිර දඬුවම් කාලය දිගු වන අවුන් සාන් සුකී මා ඉදිරියේ පෙනී සිටියි. කාව්‍යශේකරයේ සිට සල්ලි තියෙනව නං කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි යන නූතන ආදර්ශ පාඨ රඟ දෙයි. ඉදින් මම යළි අනුරාධාගේ කවි කරා යොමු වෙමි.
කස්තුර් බා මට මෙසේ කියන්නීය.

ඉවසුවේ කොහොමදැයි නිකම්වත් නාසනු
ගැහැනියකි නොදත් ඒ ලොව අයනු ආයනු
ලෝකයක් දන්න මහ බලවන්ත බලකණු
යට දිරාගිය ගැහැනු ඇති තවත් විමසනු
ඔව්, ඔබත් මහත්මා කෙනකු නම්
මෙතැන් සිට එය හොඳින්
සිහි තබා ගත යුතු වේ.

දහසක් බිළිඳුන්ගේ මාතාව යනුවෙන් උපහාරයට ලක් කරන ලද ලින් කියව්සෙ පිළිබඳ කියවීම කාන්තාවකට සමාජ වගකීම හමුවේ සිය ස්ත්‍රීත්වය අහිමිවන ආකාරය ගැන තියුණු විමසුමකි. චීනයට ඇය වීරවරියකි. එහෙත් අනුරාධා ඇයට ඇගේ ජීවිතය අහිමිව ගිය ආකාරය මතු කරන්නීය. අනුරාධා සිය කවිය හරහා මතු කරන කාන්තාවගේ අඳුරු ඉරණම වරෙක අප ඉදිරියට ආවේ මෙලෙසිනි.

දුහුවිලි සරොම් ඉඹ ඉඹ
ප්‍රජනන මැසිම තවම වැඩ

නාරි සූත්‍රයේදී ඇය ඉන් බොහෝ ඉදිරියට යමින් කාන්තා චරිත ගණනාවක් හරහා පොදු සාධක මතු කරන්නීය. ආගමික අන්තවාදයේ මූනිස්සම් වැලකින් සිදුරැ කරන ලද ඇෆ්ගනයේ සකියා සාකි ගේ මුවට ඇය නංවන වදන් මෙපරිදිය.

දැනගෙන හිටියෙ මම
උණ්ඩ කියන්නෙ
මල්වෙඩි නොවන
විත්තිය
කියන්නට කැමතියි
බැරි බව හිල් කරන්නට
පතරොමකින්
ඇෆ්ගන් ගැහැනුන්ගෙ
හදවතේ යකඩ බිත්තිය

සකියා සාකි සමග මා ඉදිරියේ සැමියා විසින් මරා දමන ලද ඇෆ්ගන් කිවිඳිය නදීමා අන්ජුමාන් කිවිඳිය පෙනී සිටියි. සැබැවින්ම ඒ යකඩ බිත්ති වන් හදවත් ඇති ගැහැණුමය.
මේ ‍නෙරූඩාගේ සයනයෙහි දියව යන්නට බල කෙරුණු ඒ අප්‍රකට කතගේ හඬයි.

අඟුරක් කිරි දියක පොවා ලිහිල් කර
මුගුරක් නැගෙනු වැනි කය තුළ වරින් වර
සුඟුරක් ලෙසින් ඒ රමණයට ඉඩ හැර
අඟුරක් මිය ගියා මළ මුහුද කෙළවර

අනුරාධා ලෝකයටම පිලිකුල් චරිතයක් වූ හිට්ලර්ට පෙම් බැඳි ඊවාගේ අවසන් මොහොත මෙසේ ප්‍රතිනිර්මාණය කරන්නීය.

මම තමයි ඒ
ඊවා ඇනා පෝලා හිට්ලර්
කවමත්
මහත්මියකුගෙ සිහින දකිමින්
සයනයිඩ් සයනයක
තනිව නිදන මෙනවිය

අනුරාධා සිය කවියෙන් මතු කරන විවිධ භූමිකා සියල්ල ගත් විට එහි සමුදයාර්ථය වනුයේ පුරුෂ ලෝකයක් තුළ නොතකා හැරුණු සහ නොකා හැරෙන කාන්තා ජීවිත වල පොදු කතන්දරයමය. ඇය එය ඉදිරිපත් කරනා නව්‍ය විලාශය කියවන්නා එක පැහැර බැඳගන්නට සමත්ය. ඇය සිය කවියෙහි සමස්තයම මෙසේ පද කිහිපයකට ගොනු කර දමා ගසන්නීය.

කොතැනින් පටන් ගත්තත්
අන්තිමට ඔබ කැමති
දකින්නට මගෙ නිරුවත
හැබැයි මම කියන්නෙ
හුඟාක් ලස්සන
නරක ගෑනුන්ගෙ
නිරුවතට යටින් තියෙන
හදවත

– චූලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

three + fifteen =