වැලිකඩ ඝාතන 26කට ඝාතකයෙක් නෑ !

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතන සිදුවීමේදී 26 දෙනෙකුගේ ඝාතනවලට වගකිවයුත්තෙකු නොමැති වීම බරපතළ තත්ත්වයකි.

මේ සිදුවීමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරිණි. ඒ අතරින් 8 දෙනෙකුගේ ඝාතනවලට වගකිවයුතු බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීවට සහ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කොට තිබිණි. පසුගිය 12 වැනිදා එම නඩුවේ තීන්දුව ලබාදුන් අතර, එහිදී එක් ඝාතනයකට අදාළ ව එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කෙරිණි. නෙවමාල් රංගජීව නිදොස් කොට නිදහස් කෙරිණි.

පුවත්පත මුද්‍රණයට යන තුරු මීට අදාළ සම්පූර්ණ නඩු තීන්දුව ලැබී නොතිබූ අතර, ඒ පිළිබඳ සම්පූර්ණ ලිපියක් ලබන සතියේ ‘ලංකා’ පුවත්පතෙ හි පළ වේ.

2012 වසරේ නොවැම්බර් 09 සහ 10 දින දෙකේදී වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව මගින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් 2019 වසරේදී මීට අදාළ නඩුව පවරනු ලැබිණි. ඒ නෙවමාල් රංගජීවට සහ එමිල් රංජන් ළමාහේවාට එරෙහිව ය.

මේ නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනිණි. එම නඩුවේ තීන්දුව ය, පසුගිය 12 දා ප්‍රකාශයට පත්කෙරුණේ.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙය ඒකමතික තීන්දුවක් බවයි. නඩුවේ පළමු විත්තිකරු වූ නෙවමාල් රංගජීව යන අය ව සාක්ෂිකරුවන් විසින් සෘජුව හඳුනාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය. මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ බන්ධනාගාරයේ සේවය කළ කුඩාබණ්ඩාර යන අයගේ සාක්ෂිය පදනම් කරගනිමින් නඩුවේ දෙවැනි විත්තිකරු වූ එමිල් රංජන්ට මරණ දඬුවම ලබාදීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබිණි. කුඩාබණ්ඩාරගේ සාක්ෂියෙන් කියවුණේ කළු තුෂාර නමැති බන්ධනාගාර රැඳවියා පැහැරගෙන රැගෙන යන අයුරු තමන් දුටු බවයි. ඒ අනුව එමිල් රංජන්ට එල්ල වූ 33 වැනි චෝදනාවට ඔහු වරදකරු විය.
මේ නඩුවේ තීන්දුව පසුගිය 06 දා ලබාදීමට නියමිතව තිබුණද, නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත්, එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලය අවශ්‍ය බව විනිසුරුවරුන් සඳහන් කිරීම නිසා තීන්දුව ලබාදීම 12 දාට කල් තැබිණි. 12 වැනිදා පස්වරු 1.30ට තීන්දුව ලබාදීමට මුලදී නියමිතව තිබුණද, විනිසුරුවරුන් පැමිණියේ එදින පස්වරු 5 පසුවී ය.

Leave A Reply

Your email address will not be published.

10 + 10 =