රංගනයක ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන ‘යමක්’ තිබේ

ANTIQUE කඩයක මරණයක් නාට්‍යයේ අවසන් තත්පරයේ ගත් මේ නිසල රූපයේ කළු සුදු එකක් මුහුණු පොතේ බෙදා හැරියාට පසු ඒ ගැන සංවාදයක් ගොඩ නැගෙමින් තිබෙන බව පෙනෙනවා. රංගනය යනු කොතරම් අපූර්ව අභ්‍යාසයක් ද යන්න මේ නිමේෂය පැහැදිලි කර දෙනවා.

මේ නාට්‍යයේ කූඨප්‍රාප්තියයි. අවසන් මොහොතයි. හෙල්ලක් (ප්‍රේක්ෂකාගාරයට) විසිකරන්නට සැරසෙමින් සිටින මේ ‘මිනිසා’ ගේ ඇස් වියරුවෙන් දිලිසෙනවා. හදවත වේදනාවෙන් බරවෙලා බව කේන්තියෙන් වෙවුලන මුහුණේ මස් පිඬු තුලින් පෙනෙනවා. ශරීරයේ නහර තුල කේන්තියෙන් කැකෑරෙන උණුසුම් රුධිරය සංසරණය වන බව දැනෙනවා. බෝම්බයක් මෙන් පුපුරා යන්නට සුදානම් විශාල ශක්තියක් මේ ශරීරය තුල කැටි ගැසී ඇති බව දැනෙනවා.

හරි නම් ඊළඟ තත්පරයේදී ඔහු අත ඇති හෙල්ල ප්‍රේක්ෂකාගාරය උඩින් පියඹා ගොස් කාගේ හෝ පපු කුහරයක් විනිවිද යා යුතුයි. එසේ වන්නේ නැහැ. ඒ වෙනුවට සියලු විදුලි පහන් නිවී ගොස් ශාලාවත් වේදිකාවත් වසාගන අඳුර පැතිරෙනවා. තම සිරුර තුල අර මහා ශක්තියක් දරා සිටි වියරු මිනිසා වෙනුවට ‘සෞම්‍ය ලියනගේ’ හෙල්ලත් රැගෙන සිනාසීගන අඳුරේම ( ප්‍රේක්ෂකයිනට ) නොපෙනෙන්න ට වේදිකාව පසුපසට ඉවත් වෙනවා.
ඊට මොහොතකට කලින් අප දුටුවේ බොරුවක් ද?
ඒ වියරුව, කේන්තිය, වේදනාව, උමතුව ව්‍යාජයක් ද ? එය ව්‍යාජයක් නම්, කෙනෙකුට තම මනසත් ශරීරයත් සමඟ මේසා විශාල ව්‍යාජයක් මවා පෑ හැකිද?
මගේ අනුමානය නම් එය ව්‍යාජයක් නොවන බවයි.
එසේ නම් අප දුටුවේ ඇත්තක් ද ?
අප දුටුවේ ඇත්තක් නම්, ඊළඟ නිමේෂයේ හෙල්ල ඇනී ප්‍රේක්ෂකයෙකු මිය යාමට හෝ බරපතල ලෙස තුවාල වීමට තිබිණි. නාට්‍යයේ තරුණයා අත් අඩංගුවට ගැනීමට වේදිකාවට කඩා වදින බොරු පොලිස් කාරයින් වෙනුවට ඇත්ත පොලිස් කාරයින් පැමිණ අප සියලු දෙනාම අත්අඩංගුවට ගනු ඇත.
එසේ නම් අප දුටුවේ ඇත්තක් නොවේ ද? එය ඇත්තක් ද නොවන බව කාටත් පැහැදිලි යි.

රංගනයක ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන ‘යමක්’ ඇත. සැබෑ නළුවා සමස්ත රංග කාර්යය තුල ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන අවකාශයක සවින්ඥානකව හැසිරෙයි. එය අතුරේ යනවා වැනි අසීරු අභ්‍යාසයකි.
-අශෝක හඳගම

Leave A Reply

Your email address will not be published.

11 − 1 =