“ආණ්ඩුව අමතක කරල මගෙ ඇස් දිහා බලන්න රුක්මණී – ව්‍යවස්ථාව අමතක කරල මගෙ ඇස් දිහා බලන්න රුක්මණී…”

– ගැලූ ලේ විලවුන් බහාලුම – තක්ෂිලා ස්වර්ණමාලි –

අකුරේ, කවියේ හැඩතල, රූපය, දෘශ්‍යමය බව ඇසුරින් සැකසෙන සංයුක්ත කවි, කියැවීමට මෙන් ම බලා රස විඳීමට ද සහෘදයාට අවස්ථාවක් සකසයි. කවියක ශබ්ද රටාවන්ගෙන් මිදී, රූප රටා වෙත පිවිසීමට අවස්ථාවක් සකසයි. සංයුක්ත කවි, චිත්‍ර කවි, රටා කවි ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් අපට පළමුව හමුවූයේ සුනිල් ආරියරත්න ලියූ “නූතන පද්‍ය කාව්‍ය සංහිතා” වෙන්‍ ය. “සිංහල සංයුක්ත කවිය” නමින් ජනක මහබෙල්ලම ‘වටමඩල’ අතිරේඛයට කලෙකට ඉහත දී ලියූ ලිපියක දී හඳුන්වා දෙන්නේ, සාම්ප්‍රදායික කවියේ තිබූ සෘජුකෝණාස්‍රාකාර දෘශ්‍ය ආකෘතිය, පළමුව නිසඳැස් කවියෙන් ඛණ්ඩනය වී, අනතුරු ව නිසඳැස් ආකෘතික සීමා පවා ඛණ්ඩනය කළ බවයි. මහගමසේකර, අජිත් තිලකසේන, ජනක මහබෙල්ලන සේ ම, මේ සම්බන්ධයෙන් යම් හැරවුමක් කීරිමට මහනුවර- මාතර යුග ද ඉවහල් වන්නට ඇත. ගජමන් නෝනාගේ ඇතැම් දුෂ්කර කවි බන්ධන සේ ම, ඇතැම්විට සාම්ප්‍රදායික පද්‍ය සාහිත්‍යෙයේ පවා, කවියේ ස්වභාව වෙනස් කිරීමට යම් උත්සාහ ගත් තැනක් දෙකක් හමු වේ(එක ම අකුර හෝ, අකුරු දෙකේ කවි, දසපද හෑල්ල).

“ගැලූ ලේ ලූ විලවුන් බහාලුම” සංයුක්ත කවිය යළි කවිය මත ඇතිරවීමකි. මෙහි එන කවිවල දෘශ්‍ය රූප චිත්‍ර මෙන් නැරඹිය හැකි වන්නා සේ ම අතිශය වත්මන් දේශපාලනික මොහොත මත රැඳෙයි. තක්ෂිලා කවියෙන් සුරුවම් බානා අයෙකු නොවේ. ඈ මින් පෙර ලියූ කවිවල, නවකතාවල මෙන් ම මෙහිදීත් තමා පය ගසන බිම ගැන, තම ස්ථාවරය නොපැකිළව පවසයි. ගෑස් පුපුරන, වැව් ඉවුරු ඩෝසර් වන, අම්ලවැසි වහින, ලේ වැගිරෙන රටක හිඳිමින් ඈ හිමාලයේ සීතල ගංගා ගැන කවි නොලියයි. රෝමය ගිනි ගනිද්දී නීරෝ මෙන් වීණා වැයීමට නොයයි. කාව්‍යකරණයේ යෙදෙන කාන්තාවක් නම් සුලලිතව අහිංසකව ලිවිය යුතු යැයි නොසිතා, ඇතැම්විට පුරුෂමූලික සමාජය සහ සැබෑව ප්‍රශ්න කරවන, කවි ලියූ අනෝමා රාජකරුණා, සුරේඛා සමරසේන, තක්ෂිලා ස්වර්ණමාලි ඇතුළු පිරිසකගේ කාව්‍ය නිර්මාණ සංවාද තලයට නොඑන්නේ ද එනිසා විය හැකිය.

තිලකසේනගෙන් පසු ජනක මහබෙල්ලන මෙන් කිවිඳියන් විශයෙහි තක්ෂිලා ස්වර්ණමාලි නොබියව පියවරක් තබයි. මේ කාව්‍ය සංග්‍රහයේ සිරස් රේඛා, තිරස් රේඛා, දියරැළි, කතිර, කුරුස, ජනේල, රාමු, ගොඩනැගිලි, නගින පඩි, බහින පඩි, දම්වැල්, ඉණිමං, ලියුම් ආකාරයේ හැඩ දරන කවි ය. මේ රූප පවා සංකේතාත්මකය.

මේ කාව්‍ය සංග්‍රහයෙහි එන කවි ලියා උපුටා දැක්වීම හෝ කළ නොහැක්කේ, දෘශ්‍ය රූපයට හානි වන බැවිනි. එහෙත් මේවායින් එකක් දෙකක් ගැන හෝ ලිවීම අවැසිය.

වමේ සිට දකුණට පිටුවක මැද සිට තිරසට දිවයන රේඛාවක මෙසේ දැක්වෙයි.

“සර්අපිවඩෝසර්කළාසර්අපිවඩෝසර්කළාසර්අපිවඩෝසර්කළාසර්අපිවඩෝසර්කළා”
එහි අනෙක් පිටේ එලෙසින්ම මෙවැන්නක් ඇත.

“සර්වඩෝසර්කරන්නඕනෑමටසර්වඩෝසර්කරන්නඕනෑමටසර්වඩෝසර්කරන්නඕනෑමට”
හරි හතරැස් කොටුවක් ලෙසින් ලියූ කවිය පහත දැක්වේ. පාලකයන්ගෙන් ජනතාවට සිදුවන සියලු ප්‍රශ්න, පීඩන ගැන නොතකා අමතක කර ලා මට ප්‍රේම කරන්නැයි පෙම්වතා ඉල්ලයි. එසේ කළ හැකිද?

“ආණ්ඩුව අමතක කරල මගෙ ඇස් දිහා බලන්න රුක්මණී
ව්‍යවස්ථාව අමතක කරල මගෙ ඇස් දිහා බලන්න රුක්මණී
අයවැය අමතක කරල මගෙ ඇස් දිහා බලන්න රුක්මණී
ඔයාව අමතක කරල මගෙ ඇස් දිහා බලන්න රුක්මණී”

අවුල් රටක, අවුල් සමාජයක අවුල කුටුම්භයට ද කාවැදෙන සැටි … පහත කවිය මදුරු දඟරයක් නැතිනම් චක්‍රයක් ලෙස එකතැන රවුමේ යන හැඩයකට අකුරු අමුණා ලියූවකි.

” හරි අවුල් නංගි මේ කතාවෙ උඹ කොතනද මට හොයාගන්න බෑ. උඹ ඉල්ලන මොකවත් මගේ ළඟ නෑ. උඹ අහන මොකවත් මං දන්නෑ. හරි අවුල් නංගි මේ කතාවෙ මං කොතනද මට හොයාගන්න බෑ. හරි අවුල් නංගි මට උඹ කොතනද හොයාගන්න බෑ”

බර්ටෝල්ඩ් බ්‍රෙශ්ට් ලියූ කවි තරම් තත්‍ යුගයට ඔබින නිර්මිතයක් තක්ෂිලා ගෙන එයි. ඇතැම් කවිවලදී රූපමය පක්ෂයට වැඩි නැඹුරුවක් පෙන්වන අතර, ඇතැම් කවි කතාන්දරයක් සේ ය. ඇතැම් කවි ශබ්ද රටාවක් ඉල්ලයි. තවත් ඒවා අර්ථ රසයෙන් හී තුඩු අනී.
“දකුණු අර්ධ ගෝලයට උණුහුම් ලු දෙසැම්බර ය. ඉතින් මක් වෙනව ද? මං ඔහේ එනවද? “

– දිල්ශානි චතුරිකා දාබරේ

Leave A Reply

Your email address will not be published.

10 − 7 =