අල්බොරාදා ලෞකික දිවියක තර්කය සොයා යෑම

“නොයෙක පැහැයෙන් යුත් දැරිවියෝ මගේ අකුළන ඇඳේ මා වෙනුවෙන් සැතපුණහ. ගැස්සෙන, පැද්දෙන සිරුරු හැරෙන්නට අන් කිසිදු ලකුණක් ඔවුහු මා වෙනුවෙන් ඉතිරි නොකළහ.”

පැබ්ලෝ නෙරුදා එසේ ලියා තිබුණේ, ඔහුගේ ‘Residence on Earth’ හෙවත් ‘පොළොව නිවහන’ කෘතියෙහි ය. නෙරුදා එසේ ලියන්නේ ලංකාවේ අත්දැකීමක් ගැන ය. නෙරුදාගේ ලංකාවේ ජීවන අත්දැකීම ‘අල්බොරාදා’ (Alborada) ලෙස සිනමා අත්දැකීමක් බවට පත්ව තිබේ. උක්ත ස්පාඤ්ඤ වදනෙහි තේරුම ‘අරුණෝදය’ යන්න ය. නෙරුදා මිය ගියේ වයස අවුරුදු 69දී ය. ඔහුගේ හැටනම වසරක ජීවිතයෙහි ඇවැතුම් පැවැතුම් නිරීක්ෂණය කරද්දී, නෙරුදා සදාකාලික අරුණෝදයක පසු වූ මිනිසකු බව හැඟෙයි. එවිට නෙරුදාගේ භෞතික සැඳෑවද අරුණෝදයක්ම වෙයි.

පැබ්ලෝ නෙරුදා අප රඳවාගෙන සිටියේ තත්ත්වාකාර පුදසුනක ය. හඳගම නෙරුදා ගැන කළ චිත්‍රපටයේ දී නෙරුදා අපගේ එම මානසික පූජාසනයෙන් බිමට තල්ලු කර දමා තිබේ. සැබැවින්ම ඔහු පූජාසනයක සිටියා නම්, නෙරුදා වැනි කවියකු බිහි නොවේ. හඳගම එම යථාව තේරුම්ගෙන නෙරුදාගේ ජීවිතය අපගේ පැරැණි කියැවීම ඉක්මවා ගිය සිනමා අත්දැකීමක් බවට පරිවර්තනය කිරීමට යත්න දරා තිබේ. එහෙත්, එක් ප්‍රශ්නයක් වන්නේ ඒ සමහර දේවල් නිශ්චිතව තීරණය කිරීමට අපට හැකියාවක් නැති එක ය. නිදසුනක් ලෙස අවවරප්‍රසාදිත ස්ත්‍රියට නෙරුදා ඒ සා බලහත්කාරයක් පෑවා දැයි යන්න එක විටම කිව නොහැකි ය. ඔහු පසුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවක ය. එහෙත්, නිර්මාණය තුළ හඳගමට එසේ සිතීමට නිදහස තිබේ. වඩා වැදගත් වන්නේ ජීවිතයක සංදර්භීය තර්කය සොයා යාම ය. නෙරුදා රැන්ගූන් පෙම්වතිය ප්‍රතික්ෂේප කරන ආකාරයටම වැළඳ ගන්නට ද ඇත. ලංකාවේ අවවරප්‍රසාදිත ස්ත්‍රිය කෙරෙහි නෙරුදාගේ ස්ථාවරය හා ආකල්පය ද ඊට වෙනස් විය නොහැකි ය. ආදරය යනු හැම විටම මාකේස්ගේ ‘කොලරා කාලේ’ එන ෆර්මිනා දාසා සහ ෆ්ලොරන්තිනෝ අරීසා ප්‍රවර්ගයේ මැරෙන තුරුම වෙනස් නොවන එකක් විය හැකි ද? ආදරය මතු වන්නේ ම සමාන්තර භෞතික ආශාවක් සමඟ නම් නෙරුදාට දැනෙන ලෞකික සංඥාව ආදරයේ යථාර්ථය විය හැකි ය. එවිට ඔහුට ආදරය කරන රැන්ගූන් තරුණිය වූ ජොසී කවුද? වෙන ආදරයක් සාක්ෂාත් කර ගත නොහැකි ඇණයක් ද? එසේත් විය නොහැකි ය.නෙරුදා පිළිබඳ ඇයගේ භෞතික ආශාව පහව යන තුරු ජොසීට ඔහුට ආදරය කළ හැකි ය. එය ක්ෂය වන දවසක් එයි. හැම විටම එකකු ආදරයේ නොනැසෙන සංකේතය බවට පත්වන්නේ ක්‍ෂය වීම දෙදෙනා තුළ එකම වර සිදු නො වන හෙයිනි. නෙරුදා ලංකාවේ අවවරප්‍රසාදිත ස්ත්‍රියට ආදරය කිරීමට හේතුව ලෙස දක්වන්නේ ද ඇය සතු නාරි ලාලිත්‍යයයි. එය ඔහු වෙන කිසිදු තැනක දී දැක නැති බව ද කියයි. ඒ අනුව නෙරුදාගේ ආදරයේ හේතුව භෞතික ය.

හැඟීම් ගවේෂණය

හඳගම ‘අල්බොරාදා’ මඟින් කරන්නේ, ජීවිතය සහ හැඟීම් ගවේෂණයකි. ඔහු අනුදත් සිනමාව තුළ මෙතෙක් දක්නට ලැබුණේ ප්‍රබල කතිකාවතක් ඉස්මතු කිරීම ය. එහෙත් ‘අල්බොරාදා’ චිත්‍රපටයේ දී හඳගම කතිකා සිනමාවේ උද්දීපනය වෙනුවට හැඟීම් ප්‍රකාශන සිනමාවක් දක්වා ගමන් කර ඇත. ඔහු එය ‘ඇගේ ඇස අග’ සිනමා කෘතියෙහි දී ද අභ්‍යාස කළේ ය. ‘අල්බොරාදා’ තුළ වැඩ කරන්නේ නෙරුදා, රත්නයියා, ජොසී, අවවරප්‍රසාදිත ස්ත්‍රිය මතු නොව අසල්වැසි කාන්තාවගේ ද හැඟීම් සමුදාය ය. අවසානයේ දී ලිංගික බලහත්කාරයට යටත් වීමෙන් පසුව පවා අවවරප්‍රසාදිත ස්ත්‍රිය තුළ විරෝධය මතු වන්නේ බලවත් හැඟීම් ධුරාවලියක් පරිද්දෙනි. ඇය මුහුදේ ගිලී යන්නේ නෙරුදාගේ ලිංගික බලහත්කාරයටත් වඩා එම ස්පර්ශය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කැරෙන හැඟීම් පෙරදැරිවය. චිත්‍රපටය අවසන් වන වර්තමාන අවධිය තුළ මෝටර් බෝට්ටුවක් ප්‍රේක්ෂක දෑස් ඉදිරියෙන් වේගයෙන් ඇදී යාම මඟින් කාලයේ කාර්මික, සංස්කෘතිකමය හා චින්තනමය පෙරළියක් ඇති වී තිබෙන බව සංකේතවත් කැරෙයි. මිය ගිය අවවරප්‍රසාදිත ස්ත්‍රියගේ වර්තමාන දිවිය චින්තන පෙරළියට යටත් ය. එවිට නෙරුදාගේ බලහත්කාරය වර්තමානය තුළ එක් අතකින් නොගිණිය යුතු ය. නෙරුදාගේ ප්‍රවේශය ආදරය ලෙසම පිළිගත යුතු ය. ආදරයේ පරිණාමය භෞතික ලෝකයේ පරිණාමයට සාපේක්ෂ ද?

මේ සියල්ලටම ‘ඔව්’ හෝ ‘නැහැ’ යන පිළිතුරු තිබිය හැකි ය. එය හරියටම නෙරුදා ජන මනසේ පූජාසනයෙන් බිම හෙළා තිබීම වැනි ය. එය ඇත්තක් විය හැකි ය. නැත්තක් ද විය හැකි ය. වැදගත් වන්නේ ඇත්ත ද? නැත්ත ද යන්න නොවේ. සිනමාව හා ඒ ඔස්සේ විදාරණය කැරෙන උත්තර හැඟීම් ධුරාවලිය හා මෙම පාත්‍රයන් අතර ගොඩනැංවෙන මානසික අරගලය ය.

මානසික අරගලය

සමාජීය ප්‍රශ්නයක් හා පුද්ගල මානසිකත්වය පිළිබඳ කාරණයක් අතර ප්‍රතිලෝමව සිදු වන ගැටුමක් රත්නයියා සහ නෙරුදා අතර දිස්වෙයි. රත්නයියාගේ ප්‍රශ්නය සාමාජීය ය. ඔහු උග්‍ර කුලවාදියකු ලෙස කරන මැදිහත් වීම ගැටෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ කාරණය වන වර්ගවාදී විරෝධය සමඟ නොවේ. නෙරුදාගේ නිදහස්කාමී පැවැත්ම සමඟ ය. නෙරුදාට සක්කිලි ළඳත්, පැට්සි නමැති තරුණියත් අතර බරපතළ අසමානත්වයක් නැත. ඔහු සක්කිලි ළඳ කෙරෙහි වෙසෙස් ආකර්ෂණයක් ඇති කර ගන්නා විට ඊට අනුලෝමව පැට්සි ඔහුගේ මනසින් ප්‍රතික්ෂේප කැරෙයි. රත්නයියාට තිබෙන ප්‍රශ්නය පැට්සි නොවේ. සක්කිලි ළඳ අස්පර්ශනීය වීම හා එවැනි ස්ත්‍රියක් සමඟ තම ස්වාමියා ඇති කර ගන්නා සම්භෝගය දරා ගැනීමට නොහැකි වීම ය. සක්කිලි ළඳ පැට්සි වී, පැට්සි අස්පර්ශනීය වුවහොත්, පැට්සි පිළිකුල් කිරීම රත්නයියා පෙළෙන සමාජීය ප්‍රශ්නයේ බරපතළකම ය. රත්නයියාට අස්පර්ශය සමාජ ප්‍රශ්නයක් වන විට නෙරුදාට ස්පර්ශය පුද්ගල නිදහස පිළිබඳ කාරණයක් වෙයි. මෙම විරෝධයෙහි පළිගැනීම රත්නයියා නෙරුදාගේ වැසිකිළියෙහි ශරීර කෘත්‍යය කිරීම දක්වා දුර දිවෙයි. රත්නයියාගේ අසූචි, වළ වැසිකිළියට වැටෙන ඉහළ කෝණය (high angle) මඟින් ඔහුගේ සාමාජීය ප්‍රතිවිරුද්ධතාවේ උච්චස්ථානය සනිටුහන් කැරෙයි.

උක්ත ගැටුමෙහි සමාරම්භක අවස්ථාව වන්නේ සක්කිලි පඩි ගත් දා ඔවුන් සමඟ තම ස්වාමියා විනෝද වීමට ගොස් පැමිණි විට රත්නයියා ඔහුට බැණවැදී, මුහුදු වැල්ලේ වැටෙන ලෙස තල්ලු කර දමන අවස්ථාව ය. කුලීනයා, අස්පර්ශිතයා ස්පර්ශ කිරීමේ ප්‍රශ්නය තම ස්වාමියා පිළිබඳ ගෞරවය පවා බිඳහෙළන්නක් බවට පත්ව තිබේ.

නෙරුදාගේ නිදහස්කාමීත්වය හා ආසියාතික ආචාරධර්ම අතර ප්‍රතිවිරෝධය ප්‍රදර්ශනය කෙරෙන වැදගත් අවස්ථාවක් මතු වන්නේ චිත්‍රපටය ආරම්භයේ දී ම නිවසින් තරමක් දුරින් පිහිටි වැසිකිළිය පාවිච්චි කරන ආකාරය ගැන නෙරුදා රත්නයියාගෙන් විමසීමේ දී ය. එහි දී රත්නයියා දොර වසා වැසිකිළියේ ශරීර කෘත්‍යය නිරූපණය කර දොර ඇරගෙන එළියට එන විට දක්නට ලැබෙන්නේ නෙරුදා පොල් ගසක් මුළට මුත්‍රා කරන දර්ශනයයි. වැසිකිළි තැනීමට පෙර ද ලංකාවේ ජනයා ශරීර කෘත්‍යය කළේ වන ලැහැබේ ය. දැනුත් වැසිකිළියේ මුත්‍රා කරනවාට වඩා එළිමහනේ සුළුදිය බෑමට පිරිමි කැමැති ය. වර්තමාන සමහර ඇවැතුම් පැවැතුම් ලාංකිකයා බලහත්කාරයෙන් තමන් මත පටවා ගෙන සිටියි. නෙරුදා යනු එක් අතකින් ලාංකිකයාගේ ආශාව තෘප්ත කරන්නෙකි. ඔහු ලංකාවට පැමිණ සහභාගි වන පළමු සාදයෙන් ඉක්බිතිව පැට්සි සමඟ රික්ෂෝවේ එන විට රික්ෂෝව තුළ ම දිගා වී ඇය සිප ගන්නා ආකාරය රික්ෂෝකරු මහත් තෘප්තියෙන් රික්ෂෝව නවතා ආපසු හැරී බලා සිටියි. ලාංකිකයා එම හැසිරීමට ආශක්ත ය. එහෙත්, ඔහුට මෙහි කිරීමට නොහැකි දෙයක් තිබේ. රත්නයියාගේ වියපත් බව හා තරමක් දැමුණු සිත නිසා පමණක් පැට්සි සමඟ රතිකෙළිය රහසේ නො නරඹා සිටිතැයි සිතිය හැකි ය.

ලාංකිකයා අකැප ය යන කෘත්‍රිම තෝරා බේරා ගැනීම ම කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි ආචීර්ණ කල්පිතයන්ට පදනම සකස් කර දෙනු ඇතැයි උපකල්පනය කළ හැකි ය. ලාංකිකයා මනසින් විවෘත වුණා නම්, රාමුගත ජීවිත පැවැත්මෙන් මිදෙන්නට ඉඩ තිබිණි. එසේ නම්, රත්නයියාට අවවරප්‍රසාදිත ස්ත්‍රිය ගැන ඒ සා වධ වෙන්නට සිදු නොවේ. චිත්‍රපටයේ අවසන් දර්ශනය වන එම ස්ත්‍රිය ප්‍රභාවත්ව ප්‍රේක්ෂකයන් දෙස ආපසු හැරී බලන දර්ශනය මඟින් භේද රහිත උත්තර මානව පැවැත්මක් හඳගම අනුමාන කරන බව සිතිය හැකි ය. සුද්දා අස්පර්ශනීය විය යුත ුයැයි විශ්වාස කරන සක්කිලි ළඳ සිය සිරුර බොහෝ වේලාවක් සේදීම මඟින් රත්නයියා සේම සමහර විට ඊටත් වඩා ස්වකීය මිනිස් අනෙකා පිළිකෙව් කරනු පෙනේ. වසර ගණනාවකට පසු හෝ එම උග්‍ර පිටුදැකීම සමනය කැරුණු ලෝකයක් බිහි වී ඇත්ද? නැත්නම් අනාගතයේ එසේ විය යුතු යැයි එම දර්ශනය මඟින් සංකේතවත් කරයි.

නෙරුදා නම් ආතුරයා

අභිචාරමය සිනමැතික සම්බන්ධයක්, චරිතයක් හා වස්තු අන්තර් සම්බන්ධයක් උදෙසා ගොඩනැඟීමේ පරිකල්පිත අවස්ථාවක් චිත්‍රපටය තුළ දක්නට ලැබෙයි. එහි සමාරම්භය වන්නේ ‘රත්නකූට රාක්ෂ’ මුහුණ පිටෙහි බැඳගත් ගැටවරයකු පසුපස බෙරහඬ ඔස්සේ නෙරුදා හඹා යන දර්ශනයයි. එම බෙරහඬ ඔහු තුළ එක්තරා තැතිගැන්මක් මෙන්ම භාවවිරේචන (catharsis) තත්ත්වයක් ඇති කරයි. සාදයේ දී හමු වන විදේශිකයන් එය නොදියුණු සංගීතයක් ලෙස අර්ථදැක්වුවත් එහි දී හඳුනා ගැනීමට ලැබුණු මිතුරා වන ලයනල් වෙන්ඩ්ට් නෙරුදාට නාදමය වූ රිද්මීය පැවැත්මක් ඒ ඔස්සේ විවරණය කර දෙයි. ශාන්තිකර්ම වතාවත මඟින් අපේක්ෂා කරන්නේ පරලොව සුගතිය නොවේ. මෙලොව දොස් දුරු කර ගැනීම ය. නැතහොත් මෙලොවදී ලබන ලාභ ප්‍රයෝජන ය. එම ලෞකිකවාදී අදහස නැවත උපතක් පිළිබඳව විශ්වාස නොකරන නෙරුදාට ගැළපෙන්නකි. නෙරුදාගේ බලහත්කාරයෙන් අවවරප්‍රසාදිත ස්ත්‍රිය පීඩාවට ලක් වීමෙන් පසු නෙරුදා සක්කිලි ළඳ භාවිත කරන ඉළපත ගෙන වැසිකිළිය සෝදයි. අසූචි පිරි බඳුන හිස තබාගෙන එම ස්ත්‍රියගේ ව්‍රතයෙන් ආතුරව මුහුද දෙසට ම ගමන් කරයි. නෙරුදා පළමු අවස්ථාවේ හඹාගෙන ගිය රත්නකූඨ රාක්ෂ මුහුණ පිටෙහි බැඳගත් ගැටවරයා මෙවර ආතුර නෙරුදා පසුපස එම නාද රිද්මයෙන්ම හඹාගෙන එයි. එහි දී නෙරුදා යටත් වන්නේ ස්වභාවවාදී දණ්ඩනයකට ය. අවවරප්‍රසාදිත, එහෙත් ශුද්ධ වූ ව්‍රතයකින් ජීවන ප්‍රතිපත්ති රැකි ස්ත්‍රියකගේ සමාධිය දැදුරු කිරීම පිළිබඳ වරදට හෘදය සාක්ෂ්‍යමය වශයෙන් වූ රෝග පීඩාව මෙහි දී නෙරුදා අත්විඳිනු පෙනේ. බෙරහඬ තීව්‍ර ලෙස ඇසෙන්නේ නෙරුදා මුහුණපාන ආතුරභාවයේ උච්චස්ථානයේ දී ය.

ආසියාතික හුදෙකලාව හා ප්‍රතිරෝධය

ලංකාවේ දී අත්විඳි හුදෙකලාව මැකී ගියේ ‘සොනටාවෙන්’ බව නෙරුදා විටෙක ලියා තිබේ. එමෙන්ම ඔහුට ලයනල් වෙන්ඩ්ට් හමුවීම මෙම හුදෙකලාවට කිසියම් ආකාරයක පිළියමක් වූ බව ද දැක්වෙයි. අවුරුදු 25ක තරුණයකු විප්‍රවාසී වූ විට ඉක්මනින් ‘හෝම් සික්’ තත්ත්වයට මුහුණ දිය හැකි ය. නෙරුදා වැනි තරුණයකු සම්බන්ධයෙන් සුරාවත්, ස්ත්‍රියත් ඒ අඩුව සපුරනු දිසේ. තරුණයකුගේ ආකල්ප ඉවසා සිටියත්, රත්නයියාට තම ස්වාමියාගේ ඇතැම් ඇවැතුම් පැවැතුම් නොරිසි ය. අසල්වැසි නිවසේ ස්ත්‍රිය නෙරුදාට දෙන සුප් බඳුන රත්නයියා පානය කරන්නේ චේතනාන්විතව ම ස්වාමියා පිටුදකින අදහසකිනි. රත්නයියා මත්පැන් පානය නොකිරීම නිසා එක් අවස්ථාවක නෙරුදා ඔහුගේ හිසට මත්පැන් වත් කිරීම ද මෙම ප්‍රතිවිරෝධය මුදුන් කළ සිදුවීමකි. තමන්ට පෞද්ගලිකව එල්ල වන පීඩාවට රත්නයියා ක්ෂණික ප්‍රතිචාර නොදක්වන්නෙකි. එහෙත්, සමාජීය වශයෙන් ඔහු සහ නෙරුදා අතර ද්වන්ද්ව අවස්ථා මතු වූ විට ඔහු ක්ෂණික ප්‍රතිචාර දක්වනු පෙනේ. නෙරුදා සක්කිලි ළඳ සමඟ සංවාසයේ යෙදීම හා සක්කිලි පඩි ගත් දා සිදුවීමෙන් පසු රත්නයියා ඒවා සම්බන්ධයෙන් සිය කෝපාග්නිය පෙරදැරි ප්‍රතිචාර දැක්වූයේ ය.

විවිධ ජන සමාජවල ඇත්තේ, පීඩාව හෝ තමන් මුහුණ දෙන සාමාජීය ප්‍රශ්නයක් ද, නැතහොත් පෞද්ගලිකව තම පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් ද යන කාරණාද්වයේ දී එකී දෙවැන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවෙයි. ගැහැනියකට තළන අවවරප්‍රසාදිත පුරුෂයාගේ ප්‍රශ්නය ‘ලෝ කාස්ට්‘ හෝ නිර්ධනභාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔහු පෙළෙන්නේ ස්ත්‍රී සැප පිළිබඳ වුවමනාව පෙරදැරිව ය. නෙරුදා සිය පන්තිය නඩත්තු නොකරයි. එක් අවස්ථාවක දී පමණක් තම ආදායම ඒ සා විශාල නැති බව කියයි. ඔහුට වුවමනා කරන්නේ ද ගැහැනියට තැළුෑ සක්කිලි තරුණයා මෙන්ම වූ සමාන දිවියකි. එය වරප්‍රසාද ගොන්නක් සමඟ ගතවන්නන් බව අපට පෙනෙයි. නෙරුදා සිතන්නේ වරප්‍රසාද ගැන නොව ජීවිතය විඳීම පිළිබඳව ය. සක්කිලි තරුණයා සිතන්නේ ද වරප්‍රසාද අහිමි පන්තියක තමන් සිටීම ගැන නොව විඳීම පිළිබඳව ය.

මැදින් බැලීම

මේ සියලු සිදුවීම් හා පුද්ගලයන් දෙස මැදින් සිට බලන චරිතයක් හඳගමට හසුවෙයි. ඒ ලයනල් වෙන්ඩ්ට් ය. ඔහුට නෙරුදා, රත්නයියා, පැට්සි, ජොසී දෙස මෙන්ම සක්කිලි ප්‍රජාව දෙස ද මැද තැනකින් බැලිය හැකි ය. එහෙත්, සියුම්ව ඒ බව ප්‍රකාශමාන වන්නට ඉඩහරිනවා විනා එය චිත්‍රපටය තුළ තීරණාත්මක කාරණයක් නොකිරීමට හඳගම වගබලා ගනී. හැම දෙනා කෙරෙහි අනුකම්පක මිත්‍රයකුගේ භූමිකාව තුළ ම වෙන්ඩ්ට් රඳවන හඳගම මේ චරිතයට තුංග මානවීය වර්ණයක් දෙයි. ඔහු සිය තරුණ වියට සාපේක්ෂව කෙළිලොල් ය. අනෙක් අතට බහුවිධ පතීන් අතරෙහිදී මිත්‍රශීලීය. ඉහළම නිර්මාණ ශක්‍යතාවකින් හා උසස් කලා රුචිකත්වයකින් හෙබි ය. දියුණු ලාංකිකයකු සිය පැවැත්ම ගොඩනඟා ගත යුතු මඟ වෙන්ඩ්ට්ගේ චරිතයෙන් ප්‍රතීයමාන වෙතැයි සිතිය හැකි ය. හඳගම නෙරුදා පිළිබඳව ලාංකික රසිකයාට තිබුණු පූජනීයත්වය සමතලා කොට විවෘතව බලන්නට සලස්වා වෙන්ඩ්ට්ට තිබුණු ගෞරවනීය තත්ත්වය වර්තමානය තුළ ජීවමාන කර ඇතැයි ද සිතිය ය.

– විමලනාත් වීරරත්න.

Leave A Reply

Your email address will not be published.

10 − 5 =