ජොසේ සරමාගෝ මරණින් වසරකට පසුව නිකුත්වූ Skylight ‘පියැසි කවුළුව’

40

1922 වර්ෂයේ නොවැම්බර් මස 16 වන දින අසින්හාග නම් ගම්මානයේ උපත ලද ජොසේ සරමාගෝ යොවුන් වියේ සිටම සාහිත්‍ය කටයුතු වල නියැලුණු පුද්ගලයෙකි. ඔහුට මුල්වරට පෘතුගාලය තුළ අවධානයක් යොමුවූයේ ඔහු විසින් ලියා 1980 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද “Raised from the Ground” කෘතිය නිසාවෙනි. “Baltasar and Blimunda”, “The year of the Death of Ricardo Reis”, “The Stone Raft”, “The Gospel According to Jesus Christ” සහ “The History of the Siege of Lisbon” යන ඔහු විසින් රචනා කරන ලද කෘති තුළින් ඔහු පෘතුගාලය තුළ පමණක් නොව ලොව පුරාම ප්‍රචලිත විය. ඔහු 1988 වර්ෂයේදී නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය. තවත් කෘති ගණනාවක් සාහිත්‍ය ලෝකයට තිළිණ කළ ඔහු 2010 වර්ෂයේ ජූනි මස 18 වැනි දින සදහටම මෙලොවින් සමුගත් නමුත් ඔහුගේ මරණින් වසරකට පසුව ඔහුගේ කෘතියක් ප්‍රකාශයට පත්විය. එය “Skylight” නම් කෘතියයි.
එම කෘතිය පසුපස වූ කතාව ජොසේ සරමාගෝගේ සිත රිදවූ සේය. ඔහු Skylight කෘතිය ලියා නිමකොට ප්‍රකාශකයෙකු වෙත යවා ඇත්තේ 1953 වර්ෂයේදී වූවත්, එය ප්‍රකාශනයට පත් වන්නේ ඔහුගේ මරණින් මතුවය. වසර තිස් ගණනක් පුරාවටම ප්‍රකාශකයා එම අත්පිටපත ප්‍රතික්ෂේප හෝ ප්‍රකාශනයට තෝරාගත්තාද යන වග දැන්වූවේ වත් නැත, නැතහොත් අත්පිටපත නැවත ජොසේ වෙත භාරදීමක් හෝ සිදු නොකලේය. එය ඔහුගේ සිත තැවුලට පත්කිරීමට හේතුවක් විය. එයට හේතුවූයේ ඔහුගේ කෘතිය ප්‍රකාශනය නොකිරීම නොව, පිළිතුරක් අපේක්ෂාවෙන් බලාසිටින ලේඛකයාට කුඩා සටහනකින් වත් පිළිතුර නොදැන්වීමයි. එය ඔහුට හැඟුනේ එකිනෙකාට ගරුත්වයක් හෝ නොදැක්වීමක් ලෙසිනි. ඉදින් ඔහු පිටපත වසර තිස් හයක කාලයකට පසු නැවත ඔහු අතට පත්වීය. ප්‍රකාශකයා එය ප්‍රකාශයට පත්කිරීමට ඉල්ලා සිටියද, වසර තිස් හයක් එය ප්‍රකාශන ආයතනයේ ලාච්චුවක ලතවෙමින් සිට එයට පසු ප්‍රකාශනයට පත් කිරීමක් ජොසේට අවැසි නොවීය. එය ඔහුගේ ජීවිතය පවතින තුරුම ප්‍රකාශයට පත් නොකරන්නට ඔහු තීරණය කොට ඇතිසේය. නමුත් ඔහුගේ මරණින් වසරකට පසු ඔහුගේ බිරිඳ විසින් එය ප්‍රකාශයට පත් කළේය.
කෘතිය පිළිබඳ පවසන්නේ නම්, මෙම කෘතියට වස්තු විෂය වී ඇත්තේ 1940 වර්ෂය යන කාලයේ ලිස්බන් නුවර, තට්ටු නිවාසයක ජීවත් වන, ජීවත් වීමට මහත් සේ පොර බඳන පවුල් හයකගේ ජීවන කතාන්දරයකි. එකිනෙකට වෙනස් පවුල් හයක ජීවන තතු පෙනෙනවාට වඩා සංකීර්ණ සහ ගැඹුරු නිර්ණායක තුළින් ජොසේ තමන්ගේ තරුණවියේ කෙලෙස දුටුවාදැයි පාඨකයන්ට පුදුම උපදවන සුළුය. ජීවිතයේ එදිනෙදා ජීවිකාව කරගනිමින් නොනැසී පවතින ලෙස ගෙවාදමන මිනිසුන්ගේ ජීවන අන්දරයේ පිටත ලෝකයාට නොපෙනන කොටස ඉතා සංකීර්ණය. එය ගණිකා වෘත්තිය, ලිංගික බලහත්කාරය සහ ගෘහස්ත අපයෝජනය වැනි ඉතාම ගැඹුරු මෙන්ම සංකීර්ණ මාතෘකා වෙත එක එල්ලේම යොමුකරවා ඇත. අඟහිඟකම් සහ නොරිස්සුමෙන් ඇලලී ගොස් ඇති ජනයාගෙන් පීඩිත වූ හදවත් තුළින් නැගෙන සුසුමින්, තට්ටු නිවාසය සෑම විටම පිරී පවතිනවා සේය.
මෙම කෘතිය එදා මෙන්ම අදටද වලංගුය. මිනිසුගේ සිතුවිලි වර්ෂ වල ඉලක්කම් තුළින් වෙනස් වී නොමැති බැව් අපට හඬනගා පවසනවා මෙන් ය. ජීවිත වල ඇති දුක්බර මෙන්ම තේරුම් ගත නොහැකි සිතුවිලි ගොන්නක් අතර ආර්ථික පීඩාවන්ගෙන්ද වැසී ගිය මිනිස් මනස් එකිනෙකා කෙරෙහි විටෙක වෛරයෙන්, විටෙක ආදරයෙන්, විටෙක නොරිස්සුමෙන්, විටෙක වංචාසහගත ලෙස සහ විටෙක බලය පතුරුවා හරින ආකාරයෙන් ක්‍රියාත්මක වීම පුදුම උපදවන සුළුය. සෑම මිනිසෙකුගේම තේරුම් ගත හැකි මෙන්ම නොගත හැකි කොටසක් පවතිනවා සේ එම සංකීර්ණ හැඟීම් ජොසේ සරමාගෝ විසින් පාඨකයන් ඉදිරියට රසවත් ආකාරයෙන් ගෙනැවිත් ඇත.
රසවත්, සංකීර්ණ මෙන්ම ගැඹුරු වූ මෙම කෘතියේ සාර්ථක පරිවර්තනයක් “පියැසි කවුළුව” නමින් සුභාෂිණි චතුරිකා පරිවර්තිකාව විසින් සිංහල පාඨකයන්ට ලබාදී ඇත. එමෙන්ම සිත්ගන්නා සුළු කවරයකින් පොත හැඩ කොට ඇත්තේ දිනිඳු සිරිවර්ධන විසිනි. කවරයද පොත මෙන්ම සිතෙහි ගැඹුරින් තැන්පත් වන ආකාරයකින් යුතු අලංකාර කවරයකි. “පියැසි කවුළුව” නොකියවූ සැම සෙමෙන් මෙන්ම පැහැදිලි මනසකින් කියවිය යුතු කෘතියකි.
– නයෝමි හේවාවසම් (fb)
Skylight | Jose Saramago ‘පියැසි කවුළුව’ | සුභාෂිණි චතුරිකා
සුභාවි ප්‍රකාශකයෝ
මිල රු.750/-

Previous articleපෝර ද ගූ ද තිබ්බේ කියලවත් නොදැකපු, නොබලපු නැවකට ඇ:ඩොලර් මිලියන 6.9ක් ගෙවපු රටක මිනිස්සු හැටියට
Next articleයුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගකමකට පැවරීමට එරෙහි නඩුව විභාගයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here