පෝර ද ගූ ද තිබ්බේ කියලවත් නොදැකපු, නොබලපු නැවකට ඇ:ඩොලර් මිලියන 6.9ක් ගෙවපු රටක මිනිස්සු හැටියට

84

පුරුදු විදිහටම බලන රෑ 7 ප්‍රවෘත්ති. මනුස්සයෙක් වෙලඳසැලකින් බඩු හොරකම්කරලා එලියට එද්දි එතන ත්‍රීවිල් පාක් එකක් ළඟදි බඩුටික වැටිලා. පස්සේ එතන ත්‍රීවිල්රියදුරෙක් ඒ මනුස්සයා එක්ක ගේම ඉල්ලලා. ඒ මනුස්සයා ළඟ තිබ්බ පලතුරු කපන පිහියකින් අර ත්‍රීවිල් රියදුරාව කපලා. වටේ පිටේ මිනිස්සු පිරිලා ඒ මනුස්සයට ගහනවා. ඒ මනුස්සයා කියනවා ගහන්න එපා. ගැහුවොත් කපාගන සියදිවි නසාගන්නවා කියලා.
කොහොමහරි ඒ මනුස්සයා එයාගෙම බෙල්ල කපාගන්නවා. ලේ පෙරාගන වැටිලා සෑහෙන වෙලාවක් එතන ඉන්නවා. කවුරුත් රෝහලකට එක්කගන යන්නේ නෑ. එතනම මැරෙනවා.
ඒ මනුස්සයට වයස අවුරුදු හතළිස් ගානයි. ගියමාසේ හොස්පිට්ල් ඇඩ්මිට්වෙලා හාට් පේශන්ට් කෙනෙක් විදිහට.
හොරකම් කරලා තියෙන්නේ බේබි සබන් කැටේකුයි පවුඩර් එකකුයි කොලෝන්ග් එකකුයි.
මේක වෙන්නේ ලංකාවේ . අද….
හිතට බරගතියක් දැනුනද…. නොදැනුනත් ප්‍රශ්නයක් නෑ. කාටම හරි හිතට බරගතියක් දැනුනනම් ඒකට හේතු සිය ගණනක් තියනවා වගේම නොදැනුනානම් ඒකටත් හේතු දාස් ගණනක් ඇති. කාටම හරි මේ පුවත බලලා හිතට වරදකාරී හැඟීමක් ඇතිවෙනවා හා සමානවම ඒ මනුස්සයව වටකරගන පහරදීපු මිනිස්සුන්ටත් ඒ වෙලාවේ “හොරෙක් අල්ලලා සමාජයට යහපතක් කරනවා” කියන සමාජ ශෝධක හැඟීමක් තියෙන්න ඇති. ඒත් සිද්ධනොවියයුතු සිදුවීම් ගණනාවක් මැද්දේ සිදුනොවිය යුතුම දේ සිද්ධවෙලා.
ඒ මනුස්සයා මැරිලා….
බේබි සබන් කැටේකටයි, පවුඩර් ටින් එකකටයි, කොලෝන්ග් බෝතලේකටයි මනුස්සයෙක් මැරිලා.
බඩු හොරකම්කලාට ඒ මනුස්සයට බැනපු, රංඩුවුන , පහරදුන්නු මිනිස්සුන්ට මේ වෙලාවේ ඇතිවෙන හැඟීම ගැන හිතන්න මට ඕනකමක් නෑ. මේ සිදුවීම් මාලාව මේ ආකාරයේ අවසානයක් දක්වා දුරදිග නොගොසින් නිමාකිරීමේ බලය , හැකියාව තිබිලාත් එසේ නොකරපු අදාල ආයතනයේ ආරක්ශක අංශ සාමාජිකයන්ට මේ වෙලාවේ ඇතිවෙන හැඟීම ගැන හිතන්න මට ඕනකමක් නෑ. විනාඩි හතලිස්පහක් තිස්සේ රුධිරය වහනයවන රෝගියෙක්ව රෝහලකට ඇතුලත්කිරීමට අසමත්වුන අදාල ප්‍රදේශයේ පොලීසියේ රාජකාරි කරන මහත්වරුන්ගේ මේ වෙලාවේ හැඟීම ගැන හිතන්න මට ඕනකමකුත් නෑ
ඒත් සබන් කැටේකට, පවුඩර් ටින් එකකට මනුස්සයෙක් මැරෙනවා කියන දේ ගැන හිතන්න මට ඕන. පොල් ගෙඩියක් හොරකම් කලාම හොරාව ගස් බැඳලා පහරදෙන මිනිස්සු ගැන මට හිතන්න ඕන. පොල්ගෙඩියක් හොරකම් කලාට හොරාට දාස් ගණන් දඩ ගහලා මාස ගාණන් හිරේට නියමකරන රටේ නීති පද්ධතියගැන මට හිතන්න ඕන.
ඒ හොරෙක්ගේ මානසිකතත්වය අවබෝධකරගන නිබන්ධන ලියන්නවත් “හොරකමට විරුධව නැගීසිටින මහජන බලය ” පිළිබඳව පත්තරපිටු පුරවන්නවත් “ධනවාදයෙන් කුණුවුන සමාජයට අවශ්‍ය සමාජවාදය ද” කියලා දේශන පවත්වන්නවත් “මේ මරණයට මේ ලිපිය කියවන ඔබත් ලියන මමත් දෙගොල්ලන්ම වගකියන්න ඕන” කියලා අඬන්නවත් නෙමෙයි. එකම එක හේතුවක් නිසාමයි. ඔය ඉහත සඳහන් කරපු හැමදේම සිද්දවෙන්නේ;

  • පෝර ද ගූ ද තිබ්බේ කියලවත් නොදැකපු , නොබලපු නැවකට ඇමරිකන් ඩොලර් මිලියන 6.9ක් ගෙවපු…

*ඩොලර් බිලියන 2.5ක ණයක් ගන්න ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් ගෙවන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත්වුන…
*සංයුතිය වෙනස්කිරීමෙන් පස්සේ රට වටේම සිද්දවුන ගෑස් අනතුරු ගැන බල්ලෙක්වත් වගකීම බාර නොගත්තු…
*පාර්ලිමේන්තු සැසිවාර නොපැවත්වෙන කාලසීමාවක රටේ මිනිස්සුන්ට දැණුවත්වීමට කිසිම අවස්ථාවක් ලබානොදී රටේ සම්පත් විකුණන්න ගිවිසුම් අත්සන් කරපු…
රටක මිනිස්සු , නීතිපද්ධතිය, මාධ්‍ය මේ වගේ සිල්ලර හොරකම් ඉස්සරහා වීරයෝ වෙන විදිහ මට හිතාගන්න බැරි නිසයි. මිලියන, බිලියන ගණන් හොරකම්කරන එවුන්ව මල්මාලා දාලා පිලිගන්න රටක පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක් හොරකම්කරන එකාට සලකන පරස්පර හැසිරීම මට තේරුම්ගන්න බැරි නිසයි.
මතක්වෙන්නේ එකම එක කවියක් විතරයි.
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා නිදියන්නේ
ඔවු. අපි ඔක්කොම නිදියමු. මොකද හැකිලෙන්නෙයි පුප්පන්නෙයි කවුද කියලා අපිට හිතන්න තියනනිසා.
– ජගත් කැලුම් විජේවර්ධන (කටුස්සා)

Previous articleසටන් නළුවකුගේ භූමිකාවෙන් වැසීගිය දැවැන්ත සිනමා පෞරුෂය
Next articleජොසේ සරමාගෝ මරණින් වසරකට පසුව නිකුත්වූ Skylight ‘පියැසි කවුළුව’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here