සටන් නළුවකුගේ භූමිකාවෙන් වැසීගිය දැවැන්ත සිනමා පෞරුෂය

26

පසුගිය දින තම ජීවිත රංගනයෙන් සදහටම සමුගන්නා ලද ප්‍රකට සිනමා නළුවකු , සටන් අධ්‍යක්ෂකවරයකු හා අධ්‍යෂකවරයකු වූ රොබින් ප්‍රනාන්දු ( 1937 – 2022 ) මහතා වෙනුවෙන් මෙම සටහන තබමි.
ටයිටස් තොටවත්ත මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද චණ්ඩියා 1965 – චිත්‍රපට තුළින් සිනමා රංගනයට පිවිසි රොබින් ප්‍රනාන්දු මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය ( වර්ෂ 1960-1980 ) නියෝජනය කළ ජනප්‍රිය රංගවේදියකු වන්නේ ය.
මෙරට සිනමාවට සැබෑ සටන් කලාව හදුන්වා දුන්නේ රොබින් ප්‍රනාන්දු මහතා විසිනි. ඒ බව ඔහු විසින් සටන් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට නිරීක්ෂණය කර බලන කල්හි මැනවින් අවබෝධ කරගත හැකිය. ඔහු තමාට
ලැබෙන ඕනෑම චරිතයකට තම සාධාරණය හැකි උපරිම අයුරින් ඉටු කළේ ය. ඊට උදාහරණ රාශියක් ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට තුළින් පෙන්වා දිය හැකිය. ඒවා මෙසේ ය.
හාරලක්ෂේ – 1971 , සිරිපාල හා රන්මැණිකා – 1977, වීර පුරන්අප්පු – 1978, අපේක්ෂා – 1978, රක්තා – 1980, අංජානා – 1981 , චුට්ටේ – 1983, හස්ති වියරුව -1983, රතු මකරා – 1983 , මුහුදු ලිහිණි – 1983, රණ දෙරණ – 1984 , සුර දුතියෝ – 1985 , සප්ත කන්‍ය- 1993 .
රොබින් ප්‍රනාන්දු මහතාගේ සිනමා රංගනය තුළින් මා දකින විශේෂත්වය නම්, ඔහු චරිතය තුළ තම රංගන රිද්මය ආරම්භයේ සිට අවසානය දක්වාම එකසේ පවත්වාගෙන යෑමට සමත් වීමයි. එවැන්නක් කිරීමට මෙරට සිනමාවේ සමත් නළු නිළියන් ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුවෙනි.
මම පෞද්ගලිකව රොබින් ප්‍රනාන්දු මහතා නොහඳුනමි. එසේම කවදාවත් හමුවීද නොමැත. එබැවින් තිරයෙන් පිටුපස ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කිසිවක් නොදනිමි. මා ඔහු පිළිබඳව තොරතුරු ලබාගන්නා ලද්දේ ඔහු ඉතා ළගින් ඇසුරු කරන ලද නළුවන් හා ක්ෂේත්‍රයට විවිධාකාරයෙන් සම්බන්ධ වූවන් කීපදෙනෙකුගෙනි.
ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා ඉහළ පෞරුෂයක් තම ක්ෂේත්‍රය තුළ ද ඉන් පිටතදී ද රඳවා ගනිමින් ජීවත් වූ මහත්මයෙකි. එසේම සැබෑ බෞද්ධයකි. සාමාන්‍යයෙන් ඔහු රිදී තිරයේ චණ්ඩියෙකු වුවද සබෑ ජීවිතයේ දී ඉතා අහිංසක චරිතයක් බව ඔවුහු කියති. කෙටියෙන් කිවහොත් ඔහු රිදී තිරයේදී කොපමණ තම එදිරිවාදීන් සංඛ්‍යාවක් සමගින් ගුටිබැට හුවමාරු කර ගත්තද, සාමාන්‍යය ජීවිතයේදී කිසිදු මිනිසෙකුට අතක් උස්සා හෝ පහරක් ගසා ඇත්තකු නොවන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
මෙරට සිනමාවේ බොහෝ අධ්‍යක්ෂකවරුන් නළු නිළියන්ගේ රංගන ධාරිතාව හෝ රිද්මය ( Action capacity or Rethyam ) හදුනා ගැනීමේදී දක්වන්නේ ඉතා මඳ අවධානයකි. එසේම ඉතා මඳ දක්ෂතාවයකි. එමගින් මෙරට අති දක්ෂ නළු-නිළියන්ට සිදුවූයේ ඉමහත් අසාධාරණයකි. එසේම එමගින් බොහෝ නළු-නිළියන් එක් එක් රාමු තුළට කොටුකර තැබීමද සිදුවිය. රොබින් ප්‍රනාන්දු මහතා එම අසාධාරණයට ලක්වූවන්ගෙන් ප්‍රමුඛයෙකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට රොබින් ප්‍රනාන්දු මහතා හමුවන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද වීර පුරන් අප්පු -1978 චිත්‍රපටය තුළිනි. එය අධ්‍යකෂකවරයාගේ මුල්කාලීන චිත්‍රපටවලින් ඉතාමත් අසාර්ථක චිත්‍රපටයක් වන්නේ ය. මෙම රංගනය රොබින් ප්‍රනාන්දු මහතාට තවත් වාණිජමය චිත්‍රපටයක රංගනයක් වූවාට නම් කිසිදු සැකයක් නොමැත.
අතීතයේ දී මෙරට ඇතැම් චරිතාංග නළු නිළියන්ගේ රංගන ධාරිතාවන් අපේ අධ්‍යක්ෂකවරුන් විසින් සොයාගන්නා ලද්දේ අහඹු සිදුවීම් ලෙසිනි.
උදා – ‘ගම්පෙරළිය’ – 1964 චිත්‍රපටය තුළින් ගාමිණී ෆොන්සේකා මහතා, ‘වැලි කතර’ – 1971 චිත්‍රපටය තුළින් ජෝ අබේවික්‍රම මහතා , ‘විරාගය’ – 1993 චිත්‍රපට තුළින් සනත් ගුණතිලක මහතා, ‘කැඩපතක ඡායා’ – 1989 චිත්‍රපටය තුළින් විජය කුමාරතුංග මහතා ද ‘සත් සමුදුර’ – චිත්‍රපටය තුළින් දෙනවක හාමිනේ මහත්මිය, ‘එයා දැන් ලොකු ළමයෙක්’ – 1977 චිත්‍රපටය තුළින් මාලනී ෆොන්සේකා මහත්මිය, ‘දඩයම’ – 1983 චිත්‍රපට තුළින් ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය, ‘මල්දෙණියේ සිමියොන්’ – 1986 චිත්‍රපටය තුළින් අනෝජා වීරසිංහ මහත්මිය , ‘පවන රළු විය’ – 1994 චිත්‍රපටය තුළින් අයිරාංගනී සේරසිංහ මහත්මිය , ‘පවුරු වළලු’ – 1999 චිත්‍රපටය තුළින් නීටා ප්‍රනාන්දු මහත්මිය ද උදාහරණය සහිතව පෙන්වා දිය හැකියි.
එනමුත් ලෝක සිනමාවේ මෙම තත්වය අපේ සිනමාවට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ය. බටහිර සිනමාවේ ඕනෑම අධ්‍යක්ෂකවරයකුට ඕනෑම ධාරිතාවක වූ නළුවකු හෝ නිළියක් තමගේ චිත්‍රපටයේ චරිතයට ඉතා මැනවින් නතුකරගැනීමේ හැකියාව ඇත්තේ ය. ඊට කදිම උදාහරණයක් විශ්ව සිනමාවෙන් පෙන්වා දිය හැකිය. හොලිවුඩ් පුරවරයේ ඉතා ජනප්‍රිය නළුවකු වූ මාලන් බ්‍රැන්ඩෝ ( Marlon Brando ) ආරම්භයේ සිට හැත්තෑව දශකයේ ආරම්භ වත්ම හොලිවුඩ් සිනමා තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැගුණේ වාණිජමය සිනමාධාරාවේ ජනකාන්ත නළුවකු වශයෙනි. එනමුත් ඔහුගේ රංගනය එක් තීරණාත්මක රංගනයක් තුළින් උඩු යටිකුරු විය. ඒ ඇමෙරිකානු ප්‍රකට අධ්‍යක්ෂකවරයකු වූ ප්‍රැන්සිස් ෆෝර්ඩ් කැපෝලා ( Francis Ford Cappola ) විසින් අධ්‍යක්ෂණය කරන ලද The Godfather- 1972 චිත්‍රපටයට තම රංගන දායකත්වය ලබාදීම තුළිනි. කෙටියෙන් කිවහොත් කැපෝලා විසින් එක් චිත්‍රපටයකින් මාලන් බ්‍රැන්ඩෝ ලොව අග්‍රගන්‍ය චරිතාංග නළුවකු බවට පත් කළේ ය. එපමණක්ද නොව එම චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ කළ අද්විතීය රංගන වෙනුවෙන් 1973 වර්ෂයේදී පවත්වන ලද ඔස්කාර් සම්මාන උළෙල ( Oscar Awards- 1973 ) වසරේ විශිෂ්ටතම නළුවාට හිමි සම්මානයද මාලන් බ්‍රැන්ඩෝ විසින් දිනාගන්නා ලදි. වර්තමානයේ වුවද ලෝක සිනමාවේ අද්විතීය රංගන භූමිකාවන් විමර්ශනය කරන කල්හි එම රංගනයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
මෙම සටහනට තිත තැබීමට පෙර මෙයද සටහන් කර තැබිය යුතුය. එනම් මෙරට සිනමාව තුළ තම රංගන කෞෂල්‍යය භාවිතා වූ නළු – නිළියන් හා තම රංග කෞෂල්‍යය අවභාවිතා වූ නළු – නිළියන් රාශියක් වේ. ඒ අතර රොබින් ප්‍රනාන්දු මහතා ඉදිරියෙන්ම සිටින බව ඉතා කණගාටුවෙන් වුවද සදහන් කිරීමට සිදුවනු ඇත.
සිනමාරංගවේදී රොබින් ප්‍රනාන්දු මහතාණෙනි…. ඔබට උතුම් නිර්වාණ සුවය අත්වේවා යයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි…… !!
– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Previous article‘ලියනාඩෝ ඩාවින්චිගේ’ මොනාලිසා සිතුවමේ සොරකම…
Next articleපෝර ද ගූ ද තිබ්බේ කියලවත් නොදැකපු, නොබලපු නැවකට ඇ:ඩොලර් මිලියන 6.9ක් ගෙවපු රටක මිනිස්සු හැටියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here