සමහරුන්ට ඕනේ විධායක ජනපති ක්‍රමය තියාගන්න

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපට බලයක් ආවොත්, දහනව වැනි සංශෝධනය අහෝසි කරන්න පුළුවන් කියා ගෝඨාභය මහත්තයා කියා තිබුණා. එහෙම වෙනවා ද නැද්ද කියන එක අපි කතා කරලා තීන්දු කරන්න ඕනෑ. අඩු-වැඩි එකඟත්වය ඇතිව හෝ අඩු-වැඩි විරෝධයක් නැතිව අපට යම් යම් දේවල් තීන්දු කරන්න වෙනවා. එහෙම තීන්දු කරන්න අවශ්‍ය වුණා ම අපි තීන්දුව ගන්නවා.

■  ඔබ මේ ආණ්ඩුව ගොඩනැඟීමේ ප්‍රධාන කොටස්කරුවෙක් නේද?

ඔව්. නිහතමානීව ඔව්.

■  ඔබට ඇමති තනතුරක් ලැබුණේ, ඊට කෘතගුණ සලකන්න බව කීවොත්, ඒ ගැන ඔබේ මතය මොකක්ද?

මම හිතන්නේ, අපි ඔක්කෝට ම සාමුහිකව වගකීමක් තිබෙනවා. ඒ වගකීම අපි අපි අතරේ වෙන වෙන ම බෙදා ගැනීමකුත් තිබෙනවා. ඒ අනුව මට ජලසම්පත් මණ්ඩලය ගැන වගකීමක් ලැබී තිබෙනවා.

■  ඔබ ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධව සිටි බව අපට මතකයි. ඔබ තවමත් එහෙමද?

ඔව්.

■  එහෙම නම්, මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද?

පුළුවන්.

■  ඒ කොහොමද?

මේ ආණ්ඩුව බලයට පත් කළේ එක පැත්තකින් වාමාංශික බලවේග. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග. එක පැත්තකින් ජාතික බලවේග. ආදී බලවේග රාශියකින්. ජාතික බලවේග අතර තමයි, එක්තරා විදියකට සිංහල බෞද්ධ බලවේගයේ කොටස් ඉන්නේ. මේ බලවේග කීපයක එකතුවකින් තමයි, අධිරාජ්‍යවාදී බලයට යට වූ පැවැති ආණ්ඩුව අප පරාජය කළේ.

■  දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ අදත් පක්‍ෂපාතීද?

ඔව්. අපි නේ ඒක හැදුවේ. දහනව වැනි සංශෝධනය හැදුවේ අපි නේ.

■  එහෙම නම්, දැන් මේ ආණ්ඩුවේ බලවතුන් කතා කරන්නේ, දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය පොඩිපට්ටම් කරන්න නේද?

ඔව්. ඒක ඒ ගොල්ලන්ගේ අදහස. වෙනස් අදහස් අපි අතරේ තියෙන්න පුළුවන්. සමහරුන්ට ඕනෑ විධායක ජනාධිපති ක්‍රමය තියාගන්නයි. අපි වාගේ අයට ඕනෑ ජනාධිපති ක්‍රමය අවසන් කරන්නයි. පාර්ලිමේන්තු ක්‍රමයකට සම්පූර්ණයෙන් එකතු වෙන්නයි. ඒ අප අප අතරේ තිබෙන වෙනස් වෙනස් මතයි.

■  එතකොට ඒ මත සියල්ල සමපාත කරන්නේ කොහොමද?

අමාරුයි, අමාරුයි. ඒවා ගැන විවාදයකින් පසුව අවශ්‍යතාව ක්‍රියාශීලීව බල කරන විට ඒ අනුව කාට කාටත් පෙළගැහෙන්න වෙනවා.

■  මෙම තත්ත්වයට විරුද්ධව ඔබ හීනි කෙඳිරිලි හඬක් නඟන බවයි ජනතාවට පෙනෙන්නේ. ඒ ගැන ඔබ මොකද කියන්නේ ?

මම ජනාධිපති ක්‍රමයට හා ඒ බලයට එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. අපි කියන්නේ, පාර්ලිමේන්තු ක්‍රමයක් අවශ්‍යයි කියලයි. පාර්ලිමේන්තුවට බලය පැවරීම අවශ්‍යයි කියලයි.

■  පොහොට්ටු පක්‍ෂයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම බව ඔබ කියා තිබුණා නේද?

ඔව්. ඔව්. මහින්ද මහත්තයා කියා තිබෙන්නේත් ඒකයි.

■  එහෙම නම්, ආණ්ඩුව පිහිටුවූ වහාම ඒ පක්‍ෂයේ අය දහනව වැනි සංශෝධනය අහෝසි කරන්න කතා කරන්නේ ඒ ප්‍රතිපත්තියට පයින් ගහලාද?

කවුරුවත් එහෙම අහෝසි කරන කතාව කිව්වේ නැහැ. අපට බලයක් ආවොත්, දහනව වැනි සංශෝධනය අහෝසි කරන්න පුළුවන් කියා ගෝඨාභය මහත්තයා කියා තිබුණා. එහෙම වෙනවා ද නැද්ද කියන එක අපි කතා කරලා තීන්දු කරන්න ඕනෑ. අඩු-වැඩි එකඟත්වය ඇතිව හෝ අඩු-වැඩි විරෝධයක් නැතිව අපට යම් යම් දේවල් තීන්දු කරන්න වෙනවා. එහෙම තීන්දු කරන්න අවශ්‍ය වුණා ම අපි තීන්දුව ගන්නවා.

■  ඒ අය එකඟතාවකට පැමිණියේ නැත්නම්, ඔබ වැනි අය මොකද කරන්නේ ? එවැනි තත්ත්වයක් යටතේ ඔබට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද?

ඒක තීන්දු කරන්න පුළුවන් වෙන්නේ, එදාට පවතින තත්ත්වය අනුවයි.

■  ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඒකාධිපති ගමනක් යන්න සූදානම් වන බවට කෙනකු යෝජනා කළොත්, ඔබ මොකද කියන්නේ ?

තවම එහෙම පෙනෙන්න නැහැ නේ ද? කාටත් පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක්. තරුණ, තරුණියන් පාරට ම ඇවිත් තාප්ප, බිත්ති පින්තාරු කරනවා. අපේ වැඩ කරන ජනතාවගේ සංවිධාන ඇවිත්, ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. ඔවුන්ගේ ඉල්ලීම්වලට වඩා මේ ආයතන බේරා ගැනීමට කටයුතු කරන්නේ කොහොම ද කියන දේට ඔවුන් මැදිහත් වෙනවා. ඒකාධිපති ගමනකට වඩා ඒවායේ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් සිදු වෙමින් පවතිනවා.

■  ඔබ කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනැඟෙයි කියලාද?

විශේෂයෙන් ම මා කියන්නේ, මේ ආණ්ඩුව සාර්ථකව මෙරට ජනවරම, ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කිරීම පැත්තෙන් ඉදිරියට ගෙන යන බවයි. ජනතාවට තිබූ බදු බර පීඩනය අඩු කළා. මෙරට දුප්පත් ජනතාවට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් යොදනවා. සුළු ව්‍යාපාරික ජනයාට ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථකව කරගෙන යාමට අත දීමක් කරලා, මෙරට රාජ්‍ය ආයතන සේවකයන් සහයෝගයෙන් ප්‍රයෝජනවත් ඵලදායී තැනකට ගෙනැල්ලා, මේ රට සමෘද්ධිමත්භාවය කරා ගෙන යන ගමනක් මට පේනවා.

■ සංවාද සටහන

  පද්මා වේරගොඩ ආරච්චි

Leave A Reply

Your email address will not be published.

sixteen + seven =