“සුමිහිරි පානේ පදමට ගහලා…හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” කොමියුනිස්ට් ඇඟවීම් සහිත ගීතයක්

26
ඩෙස්මන්ඩ් ද සිල්වා ගැන මට කියන්නට විශේෂ කිසිවක් නැත. ඔහු ගැන මා එතරම් දෙයක් දන්නේද නැත. නමුත්, ඩෙස්මන්ඩ් ගයන මේ ගීතය මගේ ප්රියතම ගීත අතුරින් එකකි. එය ලියා ඇත්තේ හියුගෝ ෆර්නෑන්ඩෝ ය.
මා දැන් ලියන්නට යන්නේ ඩෙස්මන්ඩ්ගේ (සහ හියුගෝගේ) “සුමිහිරි පානේ” ගීතය ගැන මා ලියම්දෝ නොලියම්දෝ කියා කලක් තිස්සේ සිතමින් සිටි අදහසකි. ඒ අදහස මසිත පැන නැගුණේ මාද සුමිහිරි පානේ පදමට ගැසූ දිනකය. එක් අතකට ඩෙස්මන්ඩ් අපෙන් සමුගත් දිනයේ මෙය නොලියා සිටියහොත් යළි කෙදිනකවත් මා අතින් එය නොලියවෙනු ඇත.
මගේ අදහස ආත්ම-මූලික (subjective) අගතීන්ගෙන් යුක්ත යැයි යමෙකු කිව හැකිය. මට එය එසේ නොවේ යැයි කිව නොහැකිය. කලාව පිළිබඳ ඕනෑම කියවීමක් ආත්ම-මූලිකය. එබැවින්, මේ සුමිහිරි පානේ ගීතය මට දැනෙන විදිහයි.
මේ ගීතය ජීවිතය සහ මරණය ගැන කිසියම් සාංදෘෂ්ටික දැක්මක් ඉදිරිපත් කරයි. අද ජොලි කරන්න, නැත්නම් මේ මොහොතේ ජීවත් වන්න, යැයි එය අපට යෝජනා කරයි. ඒ අතරම මරණය ඕනෑම මොහොතක පැමිණිය හැකි බව සිහිපත් කරයි. එබැවින්, එය පැහැදිලිවම හෙට දවස වෙනුවෙන් ධනය ගොඩ ගසා තැබීමේ දර්ශනයට විරුද්ධ තැනක පිහිටන ගීතයකි. ඒ වෙනුවට එය අපට කියන්නේ “නොකා නොබී ලෝබකමට වස්තු සෙවීම” නිරර්ථක වෑයමක් බවයි. බර වචනයෙන් කිව හොත්, එය මැක්ස් වේබර් කතා කළ “ප්රොතෙස්තන්ත ආචාර ධර්මය නොහොත් ධනවාදයේ සාරය” හාස්යයට ලක් කරයි. “කාලය යනු මුදල් බව මතක තබා ගන්නැයි” කියූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන්ගේ දර්ශනයට එරෙහිව යමින් මේ ගීතය අපට කියන්නේ “ඉරිදට බොන්න, සඳුදට කන්න, සෙනසුරාදට නටන්න, ඕන දවසක මැරෙන්න කියාය. නැත්නම් බෝතලය සමග යකා නටා පසුවදාට ඔබේ කාර් එක විකුණා දමන්න කියාය.
ගීතය අප ඉදිරියේ මවන පරිසරයද පැහැදිලිවම පවුල නමැති ධනවාදී අවකාශයෙන් පිටත පවතින්නකි. මේ යුගයේ ධනය ගොඩ ගැසීමට ප්රධානතම උත්ප්රේරකය සපයන්නේ පවුලයි. (ධනවාදයේ ප්රධාන දෘෂ්ටිවාදී උපකරණ කට්ටලය වන්නේ පවුල සහ පාසැල යැයි කීමේදී ලුවී අල්තුසර් බොහෝ දුරට නිවැරදි යැයි මම සිතමි).
නමුත්, මේ ගීතය මවන බාර් එක නමැති අවකාශයද ධනවාදී වෙළඳපලට අයත් එකක් නොවේදැයි යමෙකු විමසිය හැකිය. එය ඇත්තකි. අප බාර් එකට වී සුමිහිරි පානේ පදමට ගසන විට බාර් එක ලාභ සමුච්චනයේ යෙදෙයි. එසේ වුවද, ඒ අතරම එය සමාජයීය අවකාශයක්ද වේ. තැබෑරුම් යනු පවතින ක්රමයට එරෙහි සමාජ සංවාද කළ හැකි තැනකි. දහනම වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල්භාගයේ ලොව පැවති විශාලතම මාක්ස්වාදී සංවිධානය වූ ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ක්රියාකාරීන් තැබෑරුම් තුළ බොහෝ වැදගත් දේශපාලන සංවාද කළ බව මම කියවා ඇත්තෙමි. ඒ පක්ෂයට නම් තමන්ගේම බාර්ද තිබිණ.
මට මේ ගීතය අප ඉදිරියේ මවන අවකාශයේ ප්රධාන ගැටළුව වන්නේ එය වෙළඳපල අවකාශයක් වීම නොවේ. එය පිරිමි අවකාශයක් බව හැඟවෙන සංකේත ඉදිරිපත් වීමයි. “කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී” යැයි කියන විට (විෂමලිංගික විශ්වයක් තුළ) එවැන්නක් ගම්ය විය හැකිය. නමුත්, අවශ්ය නම් යමෙකුට එය “කළු කොල්ලයි සුදු කොල්ලයි” යනුවෙන්ද ගායනා කළ හැකි නොවේද? කෙසේ ගායනා කළද එය අප තුළ ජනනය කරන්නේ පුද්ගලික හිමිකාරත්වය මත පදනම් නොවූ ලාලසාවකි. එහි කිසියම් කොමියුනිස්ට් ඇඟවීමක් දකින්නට මම ප්රිය කරමි.
ගීතයේ භාවිතා වන සංකේත ඉහළ මධ්යම පන්තික හැඟවුම්වලින් යුක්ත බව සැබෑය. එය අපට සාමූහික විමුක්ති මාර්ගයක් යෝජනා කරන්නේද යන ප්රශ්නයද අපේ වාමාංශික මිතුරන් විමසිය හැකිය. මේ ගැන මට කියන්නට ඇත්තේ මේ ගීතයෙන් මා ජාත්යන්තර කොමියුනිස්ට් තේමා ගීතයේ වැනි අරුතක් අපේක්ෂා නොකරන බවයි.
කුඩා කල සිටම මා රස විඳි ගීත ගණනාවක් ගායනා කිරීම වෙනුවෙන් ඩෙස්මන්ඩ් ඔබට ස්තූතියි!
– සුමිත් චාමින්ද
09/01/2022
Previous articleOPPO 2021 සාර්ථකව නිම කරයි
Next article‘ලියනාඩෝ ඩාවින්චිගේ’ මොනාලිසා සිතුවමේ සොරකම…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here