හැරලානන්දය : හැරල්ඩ් පීරිස් නම් දෘෂ්‍ය කලාවේ දැවැන්ත අනුග්‍රාහකයා

ජීවිතය යනු අපි එදිනෙදා අත්විඳින අකෘතඥතාවයන්, මිත්‍රද්‍රෝහිකම්, ඊර්ෂ්‍යා මදමානාදිය පමණක් ම නොවන බව පෙන්වන ඇතැම් සියුම් ආලෝක කණිකා අප වටා සැරිසරයි. ඒවා බොහෝ විට අප වෙත එන්නේ කරුණාවේ හා මිත්‍රත්වයේ දෑත් දිගු කරමිනි. මෙන්න මේ ආලෝක කණිකා නැතිවීම සමාජයක පරිහානිගත බව කියාපායි.

43 කණ්ඩායම, අපේ කට්ටිය, මහජන කලා මණ්ඩලය, සොළොස්මාන නිර්මාණ කුණ්ඩලිය, නව රංග සභා, වැනි සත්පුරුෂ එකතු, ලංකාවේ අතීත කලා සංස්කෘතික වපසරිය පුළුල් කළේය. අපට ඒ යුගයේ කලාවේ ස්වරූපය දැනගත හැක්කේ එකී ව්‍යායාම නිසාය. ඒ හා බැඳුණු හෝ නොබැඳුණු ඇතැම් දැවැන්ත පුරුෂයෝ ද සංස්ථාමය චරිත බවට පත්ව ඒ කාර්යයට ම දායකත්වය සැපයූහ. කලා සංස්කෘතික අතීතයේ එලෙස හමුවෙන දැවැන්තයෙකි ලයනල් වෙන්ට්ඩ්. කලා ක්ෂේත්‍රීය නිපුණතාවයන් ගණනාවක් ද හිමිව සිටි ඔහු බොහෝ කලාකරුවන්ට උදව් උපකාර කළේය. විසිවන සියවසේ මුල් භාගයේ ඔහු පෑ ආනුභාවය හේතුවෙන් අවම වශයෙන් ලංකාවේ චිත්‍ර ශිල්පය, බටහිර සම්භාව්‍ය සංගීතය හා ඡායාරූප ශිල්පයට හැඩරුවක්, ස්ථාවරත්වයක්, අභිමානයක් හා කලාකරුවාට අභිමානවත්ව වැජඹිය හැකි වපසරියක් නිර්මාණය කර දුන්නේය. ඒ සඳහා ලයනල් වෙන්ට්ඩ්ට බලපෑවේ ඔහු සතු සමාජ සබඳතා ධනය හා දැනුම ය. දේශපාලන බලය සමඟ ගනුදෙනු කරන්නට තිබූ බලපුළුවන්කාර කමය.

මේ පූර්විකාව මවිසින් ගෙනහැර පාන්නේ විසිවන සියවසේ 70 දශකයේ සිට අද දක්වා විශේෂයෙන් ලංකාවේ චිත්‍ර හා මූර්ති ශිල්පයටත් ඊට අඩු වැඩි වශයෙන් සංගීතය හා නාට්‍ය ක්ෂේත්‍රයටත් වෙන්ටඩ් ආකාරයේ අනුග්‍රාහකත්වයක් පෑ හැරල්ඩ් පීරිස් නම් වූ බහුශ්‍රැතයා පිළිබඳ කතිකාවක් නිර්මාණය කිරීමට ය. ඔහු හැටේ දශකයෙන් ආරම්භ වී ලංකාවේ කලා සංස්කෘතික වපසරිය පමණක් නොව දේශපාලන සමාජය ඇතුළත් සෘජුකෝණාස්‍රයේ දිගු මුලු යාකරන ලද විකර්ණයක් බඳුය.
නිපුණයන් හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ නිදහස් ආරයන්ට ඉඩ දෙමින් ඒවා වැඩි වර්ධනය කොට මනා අවස්ථා සැලසීම හැරල්ඩ් පීරිසුන්ගේ ක්‍රමවේදයයි. චිත්‍ර ශිල්පය හා මූර්ති ශිල්පයම පමණක් උදාහරණ ලෙස ගතහොත් ජගත් වීරසිංහ, චන්ද්‍රගුප්ත තේනුවර, කරුණාසිරි විජේසිංහ හා සරත් චන්ද්‍රජීව ආදි දැවැන්තයන්ට චිත්‍ර මූර්තිමය ක්ෂේත්‍රයේ සිය මහා පරිමාණ සමාරම්භක සටහන් තැබූවේ හැරල්ඩ් පීරිස් අනුග්‍රහයෙනි.

හැරල්ඩ් කලාකරුවෙකි. ඔහු චිත්‍ර ශිල්පය, ප්‍රචාරණ ශිල්පය ආදියට බුහුටිකම් දක්වයි. එහෙත් ඒවා තුළ බැරෑරුම්ව ස්ථානගත නොවී ඔහු චිත්‍ර හා මූර්ති කලාව අවධාරණයට ලක් කරමින් සමස්ත ලාංකීය කලාව වෙත ආනුභාවයක් පෑමට සමත් වූවෙකි.

ජගත් වීරසිංහ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි ටික කලකින් වාගේ හැරල්ඩ් සමග එක්වේ. එකල ආරම්භ වූ අප ජගත් සමග වූ ඇසුර නිසා බොහෝ සිදුවීම් සිදුවන ආකාරය දැක බලා ගැනීමට අපට හැකියාව ලැබුණි. 88-89 ධවල භීෂණයෙන් කම්පිත වූ මනසින් මෙහෙයවුණු ජගත් ගේ තේමාවන් තෝරා ගැනීම් හැරල්ඩ් අනුමත කළා ද නැද්ද යන්න මම නොදනිමි. එසේ මා සැක කරන්නේ හැරල්ඩ් පැවැති රාජ්‍ය තන්ත්‍රයට බද්ධ වී සිටීම නිසාය. එහෙත් හැරල්ඩ් ජගත්ගේ එකී ‘ කාංසාව’ ප්‍රදර්ශනය මහා පරිමාණ රසික ආකර්ෂණයක් බවට පත් කිරීමට සියලු අංශයන්ගෙන් ම සමන්විත ක්‍රියාදාමයක් දියත් කළේ විශ්මිත ලෙසය. ඔහු ප්‍රදර්ශනය වෙනුවෙන් කලාභවන සිය වියදමින් යළිත් පින්තාරු කළේය. ජගත්ගේ කැමැත්තට කිසිදු බාධාවක් නොකරමින් ඔහු සිය සංවිධාන ශක්තියෙන් දශක ගණනාවක් මතක හිටින ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. ජගත් විද්වතෙකු දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ලෙස මහා පරිමාණ පුරවැසි සමාජයේ කොටස්කරුවකු වීමට කාංසාව ප්‍රදර්ශනයේ මහා පරිමාණ බව ද හේතු වී යැයි මම සිතමි.

චන්ද්‍රගුප්ත තේනුවර සෝවියට් දේශයේ සිට ලංකාවට පැමිණි විගසම වාගේ එවැනිම ප්‍රාතිහාර්යයකට ලක් වූයේ හැරල්ඩ්ගේ සංවිධායකත්වයෙන් යුතු In space of time චිත්‍ර ප්‍රදර්ශනය හේතුවෙනි. සම්භාව්‍ය රුසියානු චිත්‍ර කලාවේ සෘජු ආභාෂයටට ද ලක් වී යැයි හැඟෙන ආකාරයේ සිතුවම්වලින් සමන්විත In space of time සිට බැරලිසම් චිත්‍ර දක්වාත් එතැන් සිට මහජන අරගලකරුවකු දක්වාත් ආ ‘චන්ද්‍රගුප්තාගමනයේ’ උල්පත එකී චිත්‍ර ප්‍රදර්ශනය යයි හඟිමි.

මේ චිත්‍ර ප්‍රදර්ශන දෙකත් කරුණාසිරි විජේසිංහගේ ‘වන රේඛා’ වැනි ප්‍රදර්ශනයකුත් සංවිධානය කරන අවධියේ හැරල්ඩ් ඩී.බී. විජේතුංග අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ය. ඔහු මේ අගනා වැඩ කටයුතු සඳහා සිය තනතුරේ හැකියාවන්ද පුද්ගල සබඳතා ද මැනවින් පාවිච්චි කළේය. ඔහු සරත් චන්ද්‍රජීවගේ ‘විස්මිත මැටිකම් ප්‍රදර්ශනය’ට සකලාකාර අනුග්‍රහයන් දක්වන විට ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා ය. එපමණක් නොව එකී ආණ්ඩුවේ හැඩරුව තීරණය කරන දෙදෙනාගෙන් කෙනෙකු ලෙස පුවත්පත්වල හැරල්ඩ් ගැන ඕපාදූප පළවූ යුගයකි. චන්ද්‍රජීවයන්ගේ ප්‍රදර්ශන වනාහි ලංකාවේ මූර්ති ප්‍රදර්ශන ඉතිහාසයේ දැවැන්ත කඩඉමක් ලෙස මම සිතමි. එක්තරා සීමිත රසික කවයකට පමණක් සීමා වූ මූර්ති ප්‍රදර්ශන නම් වූ කලා ප්‍රපංචය මහා පරිමාණ මහජන හා ප්‍රභූ රසික මණ්ඩපයක් වෙත නිරාවරණය වූයේ එමගිනැයි මම සිතමි. එය ප්‍රදර්ශනයක සීමාවෙන් ඔබ්බට ගොස් මූර්ති කලා ප්‍රදර්ශන මංගල්‍යයක් කිරීමට සමත් වූයේ හැරල්ඩ්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය නිසාය. මෙම ප්‍රදර්ශනය විවෘත වූයේ රුසියානු මහා මූර්ති ශිල්පී හා ඒ විෂයෙහි පරප්‍රාප්ත උගතෙකු වූ මහාචාර්ය කරබැලැන්කෝ අතිනි. එයම සරත් චන්ද්‍රජීවයන්ට රුසියාවේ සුරිකෝව් විශ්වවිද්‍යාලයේ සිය ඉදිරි අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව පෑදීය.

අද දවසේ ඌන සංවර්ධිත ලංකාවේ කලාවේ ස්වරූපය, කලාකෘතිය නිර්මාණය කරන කලා කරුවාගේ බැරි පුළුවන්කම් මත රඳා පවතින්නකි. එය සාහිත්‍යය, චිත්‍ර ශිල්පය ඇතුළු සකල කලාවන්ට ම බලපාන්නේ ය. අතීතයේ 43 කණ්ඩායමට අයත් ගොනුවේ චිත්‍ර ශිල්පීන්ගේ කෘතීන් එදාත් අදත් ලාංකීය කලාවේ බලවත් පදාසයක් නියෝජනය කරන්නේ ලයනල් වෙන්ට්ඩ් වැනි කලා අනුග්‍රාහකයකු ගේ මැදිහත් වීම හා ඒ කලාකරුවන්ගේ උසස් ආර්ථික හැකියාවන් හා පුළුල් ක්ෂේත්‍රයක පැතිරුණු මානව සබඳතා නිසා ය. නිදහසින් පසුව ඒ පරපුරේ ආනුභාවය ක්‍රමයෙන් හීන වී ගිය අතර 70 දශකයෙන් පසුව වේගවත් පරිහානියකට ද ලක්විය.

සෝලියස් මැන්දිස්ගේ කැලණි විහාර චිත්‍ර නිර්මාණ හා බොරැල්ල ගෝතමි විහාරයේ ජෝර්ජ් කීට් ඇඳි චිත්‍ර නිර්මාණයන්ට අමතරව ඒ හා පරිමාණ දැවැන්ත චිත්‍ර කර්මාන්තය බෙල්ලන්විල විහාරයේ සෝමබන්දු විද්‍යාපති අතින් නිමවූ සිතුවම්ය. එම කාර්ය සංවිධානයෙන්ද ඒ චිත්‍ර ලෝප්‍රකට කිරීමේ කටයුත්තේ දී ද මූලිකත්වය ගන්නේ හැරල්ඩ්ය. චිත්‍ර කර්මාන්තය නිමා වූ පසු ඒ චිත්‍ර ඇතුළත් අගනා කෘතිය සෝමබන්ධු සිතුවම් බිතුසිතුවමකට සීමා නොකොට ලොව සැරිසරන්නක් බවට ඔහු විසින් පත් කළේය.

හැරල්ඩ් කොළඹ ගැමියෙකි. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අවදියේ සිට ඔහු කලාව හා සමාජ ව්‍යාපාර ඇසුරේ ජීවත් විය. සුගතපාල ද සිල්වා ප්‍රමුඛත්වය දැරූ අපේ කට්ටිය ගොනුවේ බොහෝ නාට්‍යවල ද, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, සඳ කිඳුරු වැනි නාට්‍යවල ද හේ කලා අධ්‍යක්ෂණය ඇතුළු විවිධ භූමිකා ඉටු කළේය.

60 දශකයේ ආරම්භ වී 60 -70 දෙදශකය පුරා, සිංහල කලා ව්‍යාපාරයට මහඟු මෙහෙවරක් ඉටු කළ සංස්කෘති සඟරාව 80 දශකයේ දී නැවත ආරම්භ කරමින් හැරල්ඩ් එහි සම සංස්කාරකවරයෙකු හා ප්‍රධාන සම්බන්ධීකාරකයා බවට පත්විය. කීර්තිමත් ආරම්භයක්ද, ලංකාවේ මුද්‍රිත පුවත් සඟරා ඉතිහාසයේ ස්වකීය අනන්‍යතාවයක් තැබූ දෙසතිය සඟරාවේ ප්‍රථම පිටු සැලසුම් ශිල්පියා වූයේ හැරල්ඩ්ය. ඒ ආරම්භක සම්ප්‍රදාය අදටත් දෙසතිය තුළ සුරැකිව තිබේ.

හැරල්ඩ් උසස් අධ්‍යාපනය ලබන්නේ 1960 ගණන්වල ආරම්භ වූ කනිෂ්ඨ විශ්වවිද්‍යාල (Junior University) නම් ආයතනයේ සමාරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසිනි. එහි ආරම්භක අධ්‍යක්ෂකවරයා වූයේ ආචාර්ය එඩ්වින් ආරියදාසය. එම කණිටු විශ්වවිද්‍යාල සම්ප්‍රදාය අහෝසි වී ගියත් එදා ඒවා සක්‍රීය වූ යුගයේ ප්‍රායෝගික හා න්‍යායික දැනුම යන අංශ දෙකම සමානව ලත් විද්‍යාර්ථීන් එමඟින් බිහිවිය. ඉංග්‍රීසි, ජනමාධ්‍ය ආදී විශේෂිත විෂයයන් ගණනාවක් මේවායේ ඉගැන්විය. ආචාර්ය ආරියදාස අවමගුලේදී ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනි ඒ විශ්වවිද්‍යාල ආකෘතියේ යහපත්කම ගැන උදාහරණ ලෙස ගෙන හැර පෑවේ හැරල්ඩ් පීරිසුන් ය.

පසුකාලීනව හැරල්ඩ් තම දැනුම විශ්වවිද්‍යාලයයන් වෙත ප්‍රදානය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයෙකු හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨ මණ්ඩල සාමාජිකයෙකු වෙමිනි.

2021 දෙසැම්බර් 21 වනදා හැරල්ඩ් සිය 75 වන ඡන්ම දිනය සමරයි. අධ්‍යාපනය හා ලාංකීය කලාවේ විවිධ ඉසව් වෙත සිය දැනුම හැකියාව හා අනේකවිධ අනුග්‍රහයන් ඔහු විසින් ලබාදුනි. ඔහු ලත් තනතුරු හා උසස් ගණයේ සමාජ මට්ටම නිර්ලෝභීව ඒ ක්ෂේත්‍රයන් වෙත පෙරළා පුද කළේය.

සාහිත්‍යකරුවෙකු ලෙස මම ද ඔහුගෙන් වෙසෙස් ආධාර උපකාර හා අනුශාසනා ලබා ඇත්තෙමි. මම ඔහු සතු හා බොහෝ අය තුළ නැති දෙයක් දකිමි. ඒ ඔහු අනුග්‍රහය දක්වන කලා කෘතියක් වේවා, කලා කටයුත්තක් වේවා, එය යෝජිත පටු සීමාවෙන් ගලවා පුළුල් වපසරියකට ගෙන යාමට ඇති හැකියාවය. ඒ කෘතිය හිමි කලාකරුවාගේ දක්ෂතා හඳුනා ගනිමින් ඔහුව උසස් මට්ටමකට ගෙන ඒමට සියලු දිරි දීමය.

හැරල්ඩ් ලංකාවේ කලා ක්ෂේත්‍රයේ අනන්‍යතා ලකුණක් තැබූවෙකි. අවම වශයෙන් ඔහු චිත්‍ර මූර්ති කලාවට කළ මෙහෙවර ඉතිහාසයේ සටහන් විය යුතුම ය.

– චන්ද්‍රරත්න බණ්ඩාර

 

Leave A Reply

Your email address will not be published.

1 × 3 =