මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව පාරිසරික විචාර දෘෂ්ඨි කෝණයකින් විමසීම සාරාංශය

මෙම අධ්‍යනයේදී බලාපොරොත්තු වන්නේ කතුවරයා විසින් මිනිස් හැඟීම් පරිසරය ආශ්‍රයෙන් විදහා දක්වන ආකාරය පිළිබඳ විමසා බැලීම ය. එමෙන්ම මානව කේන්ද්‍රීය චින්තනය තුළින් දුරස් කරන ලද මිනිසා සහ පරිසරය අතර සම්බන්ධය කතුවරයා මතුකරන ආකාරය, දේවවාදය විසින් – මිනිසා පරිසර පද්ධතියේ සත්වයෙක් නොව එය බලාගැනීම සඳහා පත්කළ නියෝජිතයන් ලෙස කරන ලද අර්ථ දැක්වීම – මතුකරන ලද පරිසරය පාලනය කිරීමේ සංකල්පය යන සංකල්පයන්ට වෙනස්ව යමින් කතුවරයා විසින් බත්තලංගුණ්ඩුවේ ජනතාව ගේ ජීවිතය පරිසරය මඟින් ඉස්මතු කෙරෙන ආකාරය, පරිසරය සංකේතාත්මකව යොදාගනිමින් මිනිස් ජීවිතය සමඟ එය සමපාත කරන ආකාරය කෘතිය විසින් අවධාරණය කෙරෙන කාරණා මෙහිදී අවධානයට ලක්වෙයි.

පාරිසරික විචාරය

සාහිත්‍යය තුළ පාරිසරික දෘෂ්ඨි කෝණයෙන් විචාරය කිරීම මෑතකාලීනව බොහෝ වේගයෙන් වර්ධනය වූ මාතෘකාවකි. විශේෂයෙන්ම වර්තමානය වන විට Ecological හෙවත් පරිසරවේදී නවකතා යනුවෙන් වෙනම ශානරයක් ලෝකය පුරා වර්ධනය වී පවතී. පරිසරය කෙරෙහි මිනිසාගේ අවධානය වැඩි වැඩියෙන් රඳවා ගැනීමට මෙම කෘති ඉවහල් වන අතරම එයින් ගොඩනැගෙන පාරිසරික සාහිත්‍ය විචාරය ලෝකය තුළ නව දැක්මක් නිර්මාණය කරනු ලබයි. පාරිසරික විවාරය ආරම්භ වූ කාල වකවානුවක් පැහැදිලිව සඳහන් කළ නොහැකි වුවද මෙහි මූලික අවධිය ලෙස විලියම් රුකට් ගේ ‘Literature and ecology- An experiment in ecocriticism’ නම් ලිපිය ලෙස සැලකිය හැකි ය. මෙම ලිපියෙහි දී රුකට් මූලික අවධානය යොමු කළේ සාහිත්‍ය අධ්‍යයනය සඳහා පරිසරවේදය සහ පාරිසරික සංකල්ප යෙදීම සම්බන්ධවයි. පළමුව, පාරිසරික විචාරය යනු පරිසරය විනාශ වන යුගයක ස්වාභාවික ලෝකය සමඟ අපගේ සම්බන්ධතාව පිළිබඳ මානවවාදී අවබෝධයක් සඳහා ඇති අවශ්‍යතාවට ප්‍රතිචාරයකි. දෙවනුව, පාරිසරික අර්බුද ඇති වන්නේ මානව වර්ගයා ස්වාභාවික ලෝකයෙන් විසන්ධි වීම නිසා වන අතර එය තාක්ෂණය දියුණු වීම නිසා පමණක් නොව විශේෂීකරණය නිසාවෙන් ද සිදුවේ. පාරිසරික විචාරය යනු අන්තර් විනයයි.
‘සාහිත්‍ය න්‍යාය සහ පාරිසරික විචාරය’(නස්රුල්ලාහ්, 2017) යනුවෙන් නිබන්ධනයක් ලියන නස්රුල්ලා මැම්බ්‍රොල් මෙසේ සඳහන් කරයි.

“පාරිසරික විචාරය සාහිත්‍යය තුළ මිනිසා සහ ස්වභාවික ලෝකය අතර සම්බන්ධය විමර්ශනය කරයි. එය පාරිසරික ගැටලු, පරිසරය සම්බන්ධ සංස්කෘතික ගැටලු සහ ස්වභාවධර්මය පිළිබඳ ආකල්ප ඉදිරිපත් කරන ආකාරය සහ විශ්ලේෂණය කරන ආකාරය සමඟ කටයුතු කරයි. පාරිසරික විචාරයෙහි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ස්වභාවධර්මයට සහ පාරිසරික අංශයන්ට සාපේක්ෂව සමාජයේ පුද්ගලයන් හැසිරෙන ආකාරය සහ ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යයනය කිරීමයි. පාරිසරික විනාශය පිළිබඳ සහ දියුණුවන තාක්‍ෂණය හේතුවෙන් මෑත වසරවලදී මෙම විවේචන ආකෘතිය විශාල අවධානයක් දිනා ඇත. එබැවින් එය සාහිත්‍ය සහ න්‍යායාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයට නව මානයන් ගෙන එන සාහිත්‍ය ග්‍රන්ථ විශ්ලේෂණය කිරීමේ සහ අර්ථකථනය කිරීමේ නැවුම් ක්‍රමයක් වේ. Ecocriticism යනු “හරිත (සංස්කෘතික) අධ්‍යයනයන්”, “පරිසර විද්‍යාව” සහ “පරිසර සාහිත්‍ය විචාරය” ඇතුළු වෙනත් නාම ගණනාවකින් හඳුන්වනු ලබන චේතාන්විතවම පුළුල් ප්‍රවේශයකි.”

බත්තලංගුණ්ඩුවේ පාරිසරික එළඹුම

1990 දශකයේ මුල භාගයේ සිට සාහිත්‍යකරණයේ නියැළෙන මංජුල වෙඩිවර්ධන ප්‍රකට වන්නේ කවියෙකු ලෙසිනි. කෙසේ වුවද 2007 වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත්කරන්නට යෙදෙන ඔහුගේ කුළුඳුල් නවකතාව වන බත්තලංගුණ්ඩුව ඔහුගේ ගද්‍ය රචනය පිළිබඳව හැකියාව පාඨක ලෝකයට ඉදිරිපත් කළ සුවිශේෂි සංධිස්ථානයකි. බත්තලංගුණ්ඩුව ගැන විවිධ විචාර ප්‍රවේශයන් ඉදිරිපත් ව තිබුණ ද පාරිසරික දෘෂ්ඨි කෝණයෙන් එය පිළිබඳව යම් අධ්‍යයනයක් සොයාගන්නට නොහැකි විය. එනිසාම මෙම සුවිශේෂි කෘතිය පාරිසරික දෘෂ්ටි කෝණයකින් අධ්‍යනය කළ යුතු බව තීරණය කළෙමි.
බත්තලංගුණ්ඩුවේ මුල් ඡේද කිහිපයම ඉතා ප්‍රභල ලෙස පරිසරය ගැන කතිකාවක් සියුම් ලෙස අප හමුවේ තබයි.

“කල්පිටි කලපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදිවන ඇඟමැලි කඩාගත් කලපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මීය චලනයකි. කෙළිදෙලෙනි.
හිමිදිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.
වයඹදිග සතර දිග්භාගයට උදෑසන උදා වුව අහස මඳදුරු ය.
කලපුවට හිරුරැස් ගිලිහුණද ආකාසේ අඳුර ගිලිහී නොයයි. පෙරඹර බොහෝ ඈත ය. හිරු නැගෙන තැන සිට කෙතරම් ඈතට කිරණ විහිදුවන්නේ වුව එළිය පතිත වන්නේ මෑත බිමට ය. අහස මත්තේ අංශුවෙන් අංශුව බෝවී බෝවී එළිය වැතිරෙන්නේ සුනංගු පියවරෙන් පියවර මනිමිනි. “ – පිටුව 01 (වෙඩිවර්ධන මංජුල, බත්තලංගුණ්ඩුව)

කෘතියේ මේ පළමු ජේද කිහිපයෙන්ම කතුවරයා පාඨක සිතෙහි චමත්කාරජනක චිත්‍රයක් මවයි. එනම් මේ පරිසරයේ ඇති අපූර්වත්වය ගැන ය. අඬුලුහුඩුකම් නැති රිද්මීය චලිතයකි, කෙළිදෙලිනි යන්න එය ඉතා මැනවින් අප සිත් තුළ සනිටුහන් කරන්නට සමත් වෙයි. කිසිවෙකුගේ බලපෑමක් නැති පරිසරය තමන්ට සිත්සේ කෙළිදෙලෙන් කාලය ගත කරයි. හිරු රුස් පවා එකවර කඩා නොපැන පියවරෙන් පියවර සුනංගුව පැමිණෙන්නේ එයට ආශිර්වාද කරන්නාක් මෙන් ය. සියල්ල ඉතා මැනවින් සිදුවෙද්දී ඊළඟ ඡේදියෙහි මෙලෙස කියවෙයි.

“හෝරාවකට පමණ පෙර ඈතට නික්ම ගිය ඩෝරාව ඈතින් තිතක් ව මතුවේ. දෑසට පෙනෙන්නේ එහි වේගයයි. කනට වැටෙන්නේ කළපුවේ වේදනාවයි. තව මොහොතකින් කළපු දිය රළ රිද්මය කැඩී සුන් වී යනු ඇත. ඉක්බිති වෙනත් රිද්මයකි.”

ඈතින් මතුවන ඩෝරාවේ වේගයට කළපුව වේදනා විඳින ආකාරය කනට වැටෙන බව කතුවරයා පවසයි. එයින් මතුකරන්නේ කුමක්ද? මෙතෙක් ඉතා සංසුන්ව කෙළිදෙලෙන් පැවති පරිසර පද්ධතියට මිනිසාගේ ආගමනයයි. මිනිසා විසින් තැනූ යන්ත්‍රයක ආගමනයයි. එහි වේගයෙන් කළපු දිය රළ රිද්මය කැඩී සුන්වී යනු ඇත. කතුවරයා ඉතා මැනවින් මිනිසාගේ ආධිපත්‍යය තුළ පරිසරට අත්වන වේදනාව සටහන් කර තිබේ. ඉක්බිති වෙනත් රිද්මයකි. එනම් මිනිසාගේ උවමනාවට තැනෙන රිද්මයකි. එය පරිසරයේ කැමැත්තට සිදුවන්නක් නොව මිනිසාගේ උවමනාවට අනුව සකස් වූවකි. මෙය දේශපාලනිකව විග්‍රහ කරන්නේ නම් යම් බලවත් නොවන ජාතියක් මත බලසම්පන්න ජාතියක අතපෙවීම, ඔවුන්ගේ කැමැත්තට ඔවුන්ව පාලනය කිරීම ආදී ලෙස ද විස්තර කළ හැකි ය. පරිසරය සහ මිනිසා යනු වෙනස් කොටස් දෙකක් නොව මේ සමස්ත පද්ධතියේම කොටස් වේ. එහෙතේ මිනිසා තුළ යම් අධිකාරීවාදී බලයක් නිර්මාණය කරන්නට මානව කේන්ද්‍රීය චින්තය, දේව සංකල්පය සමත්ව ඇත. තමා පරිසරයට වඩා උසස් බව, එය පාලනය කිරීම තමන්ට පැවරී ඇති බව, එනයින් පරිසරයට තමා කැමති දෙයක් කළ හැකි බව විශ්වාස කරන මානව ප්‍රජාවක් විසින් ලෝකයට උරුම කර දී ඇති විනාශය දෙස බලන විට එය වටහා ගත හැකි ය. මංජුල වෙඩිවර්ධන සිය කෘතියේ පළමු ඡේද කිහිපයෙන්ම මෙකී කාරණය අපට සමීප කරන්නට, ඒ ගැන සිතන්නට ඉඩ සලස්වයි.

වසංගතය නිසා ලෝකය අගුළු දමා තිබූ කාල සීමාවෙහි තිරගත කරන ලද චිත්‍රපටයක් වූ The year Earth Changed චිත්‍රපටයේ මෙලෙස පවසයි.
“2020 මාර්තු, මාරාන්තික වෛරසයක් ලෝකය පුරා පැතිර යයි. එක් රාත්‍රියකින්. අපේ ජීවිත හිටිවනම නැවති ඇත. එහෙත් අප නැවතුනු විට…

ස්වාභාවික ලෝකයේ අපූර්ව සිදුවීම් සිදුවන්නට පටන් ගෙන තිබේ. පිරිසිදු වාතය. පිරිසිදු ජලය. දශක ගණනාවකින් අපි දැක නැති ආකාරයෙන් සතුන් සමෘඬ වන්නට පටන්ගෙන ඇත. අපගේ දැඩි අත ගැසීමකින් තොරව දේවල් සිදුවන්නේ කෙසේද යන්න බැලිය හැකිය. එය සමානුපාතය පිළිබඳ ගෝලීය වීරකාව්‍යයේ අත්හදා බැලීමකි. මෙය පෘථිවිය වෙනස් වූ වසරයි. නිරෝධායනයෙන් පැය කිහිපයකට පසුව, අපි සියල්ලෝම නිහඬතාවය අවධානයට ලක් කළෙමු. ලෝකයේ රථවාහන තදබයේ විලාපය 70% කින් අඩු වූ පසුව, නව නාදයක් අසන්නට හැකිය…කුරුලු ගීතය…..!

දැන් තල්මස් මවුන්ට තම දරුවන් තනිකර මුහුදේ ඈතට කෑම සොයා යාමට හැකිය. මන්ද සංචාරක නෞකා. බෝට්ටුවල විලාපයෙන් තොරව ඔවුන්ට තම දරුවා සමඟ සන්නිවේදනය කළ හැකි නිසාවෙනි. මෙනිසාම වෙනදාට 7% පමණ වන තල්මස් මසුන්ගේ ජීවිත ප්‍රයාමය මේ වසරේ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

චීටාවන්ට තම කුඩා පැටව් ළඟින්ම තබාගෙන නොසිට ගොදුර ලබා ගැනීමට සහ ඒ ගොදුරු ළඟට පැටවුන් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ සංචාරකයන් හා ඒ වාහන වලින් ඇති කරන අධික ශබ්දය අවම වී යාම නිසාය. එනිසා 7000ක් පමණ තරම් කුඩා වූ ලෝක චීටා ජනගහනය වර්ධනය වීමට මේ වසර ඉටු කළ මෙහෙය ප්‍රශස්තය.

වාතය දුෂණය වීම අවම වීමත් සමඟම නිරෝධායනයෙන් දින 12කට පසුව ජලෙන්දාර් හි සිට කිලෝමීටර් 200 දුරින් පිහිටි හිමාලය කන්ද ඔවුන්ට දර්ශනය වී ඇත. අනුරාශ් ගේ මෙම ඡායාරූපය ලෝකය පුරා ක්ෂණිකව පැතිර ගියේය.
ගිම්හාන නිවාඩුවේ වෙරළ තීරයන් ජන ශුනයවීම නිසා වඳ වී යන කැස්බෑවන්ට නැවත ජීවය ලැබී තිබේ.”
අපගේ බලපෑම තුළ ස්වාභාවික ලෝකයට සිදුවන වෙනස්කම් ගැන සංවේදී වන ලෝකයක්, මානව පරපුරක් අපි විසින් නිර්මාණය කළ යුතුව ඇත. බත්තලංගුණ්ඩුව නවකතාව තුළ ඒ සඳහා යොමුකරන තවත් බොහෝ අවස්තා තිබේ. මෙම අධ්‍යනයේ අරමුණ ඒවා එකින් එක විග්‍රහ කර බැලීම ය.

– රශ්මික මණ්ඩාවල

ඉරිදා ලංකා පුවත්පත

මතු සම්බන්ධයි

Leave A Reply

Your email address will not be published.

3 × two =