“ලෝකය” විග්‍රහ කරන “මොනාලිසාගේ මිසර ගමන”

කෙටිකතා හතකින් සමන්විත වන්නේය යි පටුනෙහි සඳහන් කර ඇති නමුත් කෙටිකතා අටකින් යුතු “මොනාලිසාගේ මිසර ගමන” කියැවීමි. කියවා කල්පනා කළෙමි.

සයිමන් නවගත්තේගම නම් කෘතහස්ත ලේඛකයාගේ “සංසාරාරණ්‍යය අසබඩ” කියැවීමෙන් අනතුරුවද මේ අයුරින්ම බොහෝ වේලා කල්පනා කළ බව මතකය. ඒ මහා කලපනාවෙන් අනතුරුව, වාමාංශික පක්ෂයක උන්නතිය උදෙසා සිය අවංක ශ්‍රමය වගුරුවන ජ්‍යෙෂ්ඨයකුට ඇමතුමක් ගෙන “අය්යේ මේක පක්ෂය ගැනම ලියාපු පොතක්නේ” යි කීවෙමි. එහෙත් ඒ පිළිබඳ දේශපාලනික හෝ සාහිත්‍යාත්මක විචාර කියවීමක් ඉන් පසු හෝ ඊට පෙර හෝ සිදුව ඇති බවක් නොදැක්කෙමි.

රශ්මිකගේ මේ කෘතිය පිළිබඳ වුවද කෘතියේ අන්තර්ගතය පිළිබඳ සිදු කරන ලද සැබෑ බර තක්සේරුවකින් යුතු විවරණයක් සිදුවූ බවක් මතක නොමැත්තෙන් (එය එසේ සිදුවී ඇත්නම් කමන්න) සාහිත විචාරකයකු නොවන නමුත් මේ අසම්පූර්ණ සටහන මෙසේ එකතු කරන්නට සිතුවෙමි.

කෘතියේ අවසාන භාගයේ එන ‘අන්දර මරිකට්ටා, සාක්ෂියක් නැති ඝාතනයක්’ බඳු කතා, අපූර්වත්වයකින් යුත් තේමා රැගත් ඒවා වූ නමුත් මගේ කල්පනාව දිගින් දිගටම නතර වූයේ කෘතියේ මුල් භාගයේ එන ‘අර්ධ රූප, හං(ස)කුසු, මොනාලිසාගේ මිසර ගමන, සහ X ගේ කතාව යන කතා කිහිපය මතම ය.

රශ්මික මේ කතා කිහිපය මගින් අප හමුවේ තබන්නේ සංකීර්ණ “ලෝකයකි”. “ලෝකය” යන්න, සමාජ දේශපාලනික අර්ථයෙන් මෙන්ම ” සිත” පිළිබඳ වූ කියැවීමක් ලෙසද විග්‍රහ කර ගත හැකිය. ඒ, ” චිත්තේන නීයතී ලෝකෝ” යන බෞද්ධ දාර්ශනික ඉගැන්වීම අනුවය. ඒ සිත පිළිබඳ වූ කියැවීම සෙසු විග්‍රහයන් හා මිශ්‍රව නමුත් ඒවා අතික්‍රමණය කර පෙනී සිටීමේ ලක්ෂණයට මම වඩාත් ප්‍රිය කරමි.

මෙහි ‘අර්ධ රූප’ නම් කෙටිකතාව ගෙතී ඇත්තේ චිත්‍ර ශිල්පියකු හා තරුණ මාධ්‍යවේදිනියක වටාය. ඔවුන් දෙදෙනා මුහුණ පානු ලබන යථාර්ථය ඉක්මවූ අත්දැකීම් ඔස්සේ කතුවරයා අප ඉදිරියේ පුද්ගල “ලෝකය” නිර්මාණය කරයි. මෙහි එන ඇතැම් චිත්‍ර හා පුද්ගල චරිත පෙනී සිටින්නේ සංකේතීය අර්ථයෙනි. අශෝක හඳගම නම් ජ්‍යෙෂ්ඨ සිනමාවේදියාගේ “අක්ෂරය” සිනමා සිත්තම මගින් කුළු ගන්වන ලද පීතෘත්වය පිළිබඳ සංකීර්ණතාව මෙහිද හමු වෙයි. චිත්‍ර ශිල්පියාගේ පියා පිළිබඳ සංශයෙන්ද මාධ්‍යවේදිනියත් නොදන්නා, ඇගේ ඕපපාතික ගර්භයේ විමතියෙන්ද මේ පීතෘත්වයේ යථාර්ථය මෙහි ප්‍රශ්න කෙරෙයි. යම් සමාජ සම්මුතීන්ද ඒවා පිළිබඳ සන්තානමය කියවීම්ද ප්‍රශ්න කිරීමට හෝ නැවත කියැවීමකට පාඨකයා රැගෙන යාමට කතුවරයා උත්සාහ දරා ඇත. අප වනාහී “අර්ධ” නැතහොත් අපරිපූර්ණ මිනිසුන් ය. මිනිසාට පරිපූර්ණත්වය උදා කර ගත හැක්කේ කවරක් මගින්ද? මිනිසා විසින් මෙතෙක් හඳුනා නොගත් සෙසු අර්ධය හඳුනා ගැනීමෙන්ද ? නැතහොත් පවතින අර්ධයම පූර්ණත්වය යි සිතා ගැනීමෙන්ද? මෙහි එන සිතුවමක් අපරිපූර්ණ ලෙස මාධ්‍යවේදිනිය දකින නමුත් එය පරිපූර්ණ සිතුවමකැයි චිත්‍ර ශිල්පියා කියයි. මේ සෑම සංකේතීය නිරූපණයකින්ම කතුවරයා අප ඉදිරියේ යථාර්ථාවබෝධය පිණිස වන මාවත් කිහිපයක්ම විවර කරන බැව් හැඟේ.

‘හං(ස)කුසු’ මෙහි එන මා වඩාත් ප්‍රිය කරන කතාවයි. හංස – උකුසු යන්න හංසකුසු වී ඇත. “(ස)” යෙදීම කතාවේ සමුච්ඡයාර්ථයට යම් උත්ප්‍රාසයක් එක් කරන්නේය යි හැඟේ. මෙහි හංසයා යනු සාමය, බුද්ධිය බඳු මිනිස් සන්තානයේ යහ ලක්ෂණය ලෙසද උකුස්සා යන්න එහි ප්‍රති පක්ෂය ලෙසද නිරූපණය වේ.

තමා වයස අවුරුදු 40ට පෙර මිය යන්නේය යි දැඩි විශ්වාසයක එල්බගත් තරුණ රියදුරකුගේ හා සැබෑ ජීවිතයේදී මුණ නොගැසුණු කාන්තාවක හා (රියදුරාගේ පෙම්වතිය) ඇතිකර ගන්නා ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳ සිහිනයක අතරමංවූ ප්‍රධානියකුගේ ජීවන චර්‍යාවන් පිළිබඳ විශද කරන ‘මොනාලිසාගේ මිසර ගමන’ නම් කෙටිකතාවද පුද්ගල “ලෝකය” වෙත එල්ල කරන්නේ කදිම ආලෝක ධාරාවෙකි. ඉතා සංකීර්ණ මනෝභාවයන් විදාරණයට සුදුසු කතා ආකෘතියකින්ද යුතු මේ කෙටිකතාව තද උණ සහිත අවස්ථාවක දකින විකාරරූපී සිහිනයක් වැන්න. එහෙත් ඒ සිහිනය මිනිස් චෛතසිකයේ ගූඪ හා අඳුරු අහුමුළු ඉසවු හාරා අවුස්සා ප්‍රඥාව අවුළුවන්නකි.

“X ගේ කතාව” දී ද මේ විකාරරූපී සන්දර්භයට සරිලන ආකෘතික නඩත්තුව සිදු කරන කතුවරයා එහි කතා නායකයාට මුණ ගස්වන්නේ X නම් කාන්තාවකි. ඈ X වන්නේ අවිනිශ්චිත ද පුද්ගලානන්‍යතාවකින්ද තොර වන බැවිනි. සැබෑ ලෙසම X යනු කල්පිතයක්ද? නැතහොත් යථාර්ථයක් ද? යථාර්ථයටද කල්පිතයටද නැති පුද්ගල සබඳතාවන්හි අත්දැකීම් අප අප තුළද නොමැත්තේද? X හා රමණය කරන කතා නායකයා ඒ සම්භෝගී මිහිර සැබෑ ලෙසම විඳ ගන්නේ ඈ X වීමේ හේතුව නිසාම නොවේද? පුද්ගල අනන්‍යතාවෙන් තොර අවස්ථාවකදී ප්‍රේමය එහි සරු ඵල ලබන්නේ නොවේද? මේ, මෙම කෙටිකතාව කියවන පාඨකයා තුළ නිතැතින්ම පැන නැගෙන ගැටලු ය. එහෙත් ඒ සංකීර්ණතාවන් අතික්‍රමණය කරමින් පාඨකයා “ලෝකය” පිළිබඳ කියැවීමෙන් ඥාණනය උදා කර ගන්නේය.

කලකට පසු මනැසට අර්ථවත් ව්‍යායාමයක් ලබා දුන් කෙටිකතා කිහිපයක්ම කියැවීමි.රශ්මික ඔබට සුබ පතමින් මේ අසම්පූර්ණ කෙටි සටහන නිම කරමි.

– රෝහිත බ්‍රහ්මචාරී

Leave A Reply

Your email address will not be published.

thirteen + 17 =