නව වසර

නව වසර උදාවෙන එකත් ඉවසන්න පුළුවන්. සුබ ප්‍රාර්ථනා තමයි ඉවසන්න බැරි.” ඡන්න කිව්වෙ අලු‍ත් වගේ පෙනුණු පරණ සාරියක් ම ඇඳගෙන කන්තෝරුවට ගොඩවුණු  රාධගෙ කනට කිට්ටු වෙලා. ප්‍රශ්න මූණක් එල්ල‌න් ඡන්න දිහා බලපු රාධාට ආයෙ ම ඡන්න කිව්වෙ, “අවුරුද්ද සුබවත්, හැපීවත් නැති බව දැන දැන ම ඒක කියන්නත් බෑ. කියනවුන්ට කරුණු පැහැදිලි කරලා අවුරුද්දෙ මුල් ම දවසෙ ඒකලගෙ හිත කඩන්නත් බෑ” කියලයි.

ඒ කියන කොට ම උදුම්බරා ආවෙ, “කිරිපිටි පෝලිම්වල ඉන්න නොවන සුබ නව වසරක් වේව‍ා !” කියාගෙන. ඡන්නත් කට ඇරලා “එසේ ම වේවා !” කිව්වෙ සද්දෙට.

ඒ එක්ක ම ආව සීතා කියාගෙන ආවෙ, “ගෑස් පෝලිම් නැති, ගෑස් ටැංකි නොපිපිරෙන නව වසරක් වේවා !” කියලයි. “එළවළු ටිකක් කන්න පුළුවන් සුබ නව වසරක් වේවා !” ප්‍රමිලා කියාගෙන ආවෙ එහෙම.

ඡන්නගෙ කට කනට ගියේ, සුබ ප්‍රාර්ථනය ගැළපෙන පරිද්දෙන් නිර්මාණශීලීව වෙනස් කිරීමේ හැකියාව ගැන හිතලයි.

කල්‍යාණි එනකොට ම උදුම්බරා කිව්වෙ, “සිමෙන්ති පෝලිම් නැති, නිසි මිලට ම සිමෙන්ති ලැබෙන සුබ අලු‍ත් අවුරුද්දක් වේවා !” කියලයි.

මූණ නොරොක් කර ගත්තු කල්‍යාණි කිව්වෙ,

“සිමෙන්ති කොට්ටෙ ගහලා තියෙන ගාණටත් වඩා වැඩි ගාණක් දීලා, අපේ තෝරා ගැනීමේ අයිතිය පැත්තකට දාලා හාඩ්වෙයාර්කාරයගෙන් ම ගල්, වැලි, මෙකී නො කී හැමදේම අපේ සල්ලි දීලා අර ගන්න වෙච්චි කාලයක් මේක. ඒ අසාධාරණකම් බලන්න පාරිභෝගික අධිකාරිත් නෑ මොකෙක්වත් නෑ. ඒ තියා අපේ සල්ලි දීලා අපිට ගන්න වෙලා තියෙන්නෙ, අපි කැමැති බ්‍රෑන්ඩ් එක නෙවේ. හාඩ්වෙයාර්කාරයගෙ බ්‍රෑන්ඩ් එක.” කල්‍යාණි කියවාගෙන යද්දී, උදුම්බරා කිව්වෙ, “ඔක්කොම බල්ලා මාක් වෙච්චි එකේ සිමෙන්තිවල මාක් ගැන ළතවෙන්න එපා” කියලයි.

‍අලු‍ත් අවුරුද්දක් උදා වුණා කියලවත් කිසි සුබවාදී හැඟීමක් නැතුව කියැවෙන පසුපෙළ සෙට් එකේ  කටකැඩිච්චි කතා ගැන ඉදිරි පෙළ සෙට් එක ම හිටියෙ සෝකබරිත වෙලා. ඉවසන්න ම බැරි තැන ලක්ෂ්මි කිව්වෙ, “ඒ‍‍‍ ඇත්තො ඉන්න රටක් ඉතුරු කරලා දුන්නා මදෑ. අනෙක් හැම ප්‍රශ්නෙ ම ගෝලීය ප්‍රශ්න නෙ. ඒක තේරුම් ගන්න බැරි තරම් මේ මිනිස්සු මෝඩයි නෙ” කියලයි.

“ඒක නේන්නං… පුළුවන් හැටියට සල්ලිත් අච්චු ගහලා සල්ලි ගොඩ වැඩි කරල දෙන්නත් මාන්සි ගන්න  එකේ මේ මිනිස්සු නං බොහොම ගුණමකු වර්ගයක්.” ඡන්න කිව්වෙ උදුම්බරා දිහාට හැරිලා ඇහැක් වහන  ගමන්.

පරක්කු වෙලා දුවගෙන ආව සුන්දරී කිව්වෙ, “ රජයෙ සේවකයන්ටයි, පෙන්ෂනර්ස්ලටයි රුපියල් පන්දහක් දෙන්න යනව” කියලයි.

“ඒක නෙ කියන්නෙ. දැන් මේ දෙස්දෙවොල් තියන උන්දැලා මේක ගන්නෙ නැතුව ඉඳී ද  දන්නෙ නෑ” කිව්ව ලක්ෂ්මී බැලු‍වෙ පසුපෙළ දිහා.

සාරි පොටින් මූණ වහගත්තු රාධා, උදුම්බරාගෙ කනට එබිල කිව්වෙ, “ඇත්තට ම මේක එපා කියලා කියන්න තමයි තියෙන්නෙ. විළිලැජ්ජාවෙ බෑ. පාරට බැහැල ඉවරයි. රජයේ සේවකයො විතර ද කන්නෙ කියලා අහද්දි” කියලයි.

“රජයේ සේවකයො විතරක් නෙවෙයි, මැති ඇමැත්තලත් ඔය කන්නෙ හොඳට.” උදුම්බරා කියද්දී රාධා කිව්වෙ, “උන්දැලගෙ ලැජ්ජා නහරෙ කපල” කියලයි.

“දැන් ඉතින් කවුරුත් තම තමන්ගෙ යුතුකම් ඉටු කරනව හොඳයි. පන්දහකුත් අරගෙන ගහනව නෙවෙයි වෙන වෙන අයට කතිරෙ.” ඡන්න කියද්දී, “ප්‍රමිලා ඇහැව්වෙ වැඩි කරන්න සල්ලි දීලා තියෙන්නෙත් හැබෑට අර ජෙට් එක දීපු මිතුරුතුමා ම ද” කියලයි.

 

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

eighteen + thirteen =